ලෝකාවබෝධසුත්තං
(ලෝකය අවබෝධ කිරීම ගැන වදාළ දෙසුම)
වුත්තං හේතං භගවතා. වුත්තමරහතා'ති මේ සුතං.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම දෙසුම වදාරණ ලද්දේ ය. මා විසින් අසන ලද්දේ ඒ අරහත් වූ සම්බුදු රජාණන් වහන්සේ විසින් මෙය වදාරණ ලද බව යි.
ලෝකෝ භික්ඛවේ තථාගතේන අභිසම්බුද්ධෝ. ලෝකස්මා තථාගතෝ විසඤ්ඤුත්තෝ. ලෝකසමුදයෝ භික්ඛවේ තථාගතේන අභිසම්බුද්ධෝ ලෝකසමුදයෝ තථාගතස්ස පහීණෝ. ලෝකනිරෝධෝ භික්ඛවේ තථාගතේන අභිසම්බුද්ධෝ. ලෝකනිරෝධෝ තථාගතස්ස සච්ඡිකතෝ. ලෝකනිරෝධගාමිනී පටිපදා භික්ඛවේ තථාගතේන අභිසම්බුද්ධා. ලෝකනිරෝධගාමිනී පටිපදා තථාගතස්ස භාවිතා.
පින්වත් මහණෙනි, මුළුමහත් ලෝකය ම තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කරන ලද්දේ ය. තථාගතයන් වහන්සේ ලෝකය හා එක් නො වී වසන්නාහු ය.
පින්වත් මහණෙනි, මේ ලෝකයේ හට ගැනීම ද තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කරන ලද්දේ ය. තථාගතයන් වහන්සේ විසින් ලෝකයේ හටගැනීම ප්‍රහාණය කරන ලද්දේ ය.
පින්වත් මහණෙනි, ලෝකය නිරුද්ධ වීම තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කරන ලද්දේ ය. ඒ ලෝක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් සාක්ෂාත් කරන ලද්දේ
ය.
පින්වත් මහණෙනි, ලෝකය නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කරන ලද්දේ ය. ලෝකය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් ප්‍රගුණ කරන ලද්දේ ය.
යං භික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස, සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා, යස්මා තං තථාගතේන අභිසම්බුද්ධං තස්මා තථාගතෝ'ති වුච්චති.
පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ මේ ලෝකයා විසින් ද දෙව්මිනිස් ප්‍රජාව විසින් ද දක්නා ලද යමක් ඇද්ද, අසනා ලද යමක් ඇද්ද, ආඝ්‍රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින යමක් ඇද්ද, පහස ලැබුවා වූ යමක් ඇද්ද, සිතින් දැන ගන්නා ලද යමක් ඇද්ද, ලබා ගත් යමක් ඇද්ද, සොයා ගත් යමක් ඇද්ද, සිතින් විමසන ලද යමක් ඇද්ද, ඒ සියල්ල ම තථාගතයන් වහන්සේ විසින් යම් හෙයකින් අවබෝධ කරන ලද්දේ වෙයි ද
එම නිසා තථාගත ය යි කියනු ලබන්නේ ය.
යඤ්ච භික්ඛවේ රත්තිං තථාගතෝ අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං අනුපාදිසේසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, යං ඒතස්මිං අන්තරේ භාසති ලපති නිද්දිසති, සබ්බං තං තථේව හෝති. නෝ අඤ්ඤථා. තස්මා තථාගතෝ'ති වුච්චති.
පින්වත් මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක් ද යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පානා සේක් ද ඒ අතර කාලය තුළ දී තථාගතයන් වහන්සේ යමක් පවසන්නාහු ද ප්‍රකාශ කරන්නාහු ද නිර්දේශ කරන්නාහු ද ඒ සියළු දෙය ම ඒ අයුරින් ම වන්නේ ය. අන් අයුරකින් නො වන්නේ ම ය.
එම නිසා තථාගත ය යි කියනු ලබන්නේ ය.
යථාවාදී භික්ඛවේ තථගාතෝ තථාකාරී. යථාකාරී තථාගතෝ තථාවාදී. ඉති යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී. තස්මා තථාගතෝ'ති වුච්චති.
පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ යම් ආකාරයකින් ප්‍රකාශ කරන්නාහු ද ඒ ආකාරයෙන් ම කටයුතු කරන්නාහු ය. තථාගතයන් වහන්සේ යම් ආකාරයකින් කටයුතු කරන්නා හු ද, ඒ ආකාරයෙන් ම ප්‍රකාශ කරන්නාහු ය. මේ ආකාරයෙන් යමක් පවසන්නාහු ද එය ම කරන්නා හු ය. යමක් කරන්නාහු ද එය ම පවසන්නාහු ය.
එම නිසා තථාගත ය යි කියනු ලබන්නේ ය.
සදේවකේ භික්ඛවේ, ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ, සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය තථාගතෝ අභිභූ අනභිභූතෝ. අඤ්ඤදත්ථුදසෝ වසවත්තී. තස්මා තථාගතෝ'ති වුච්චති.
පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ ලෝකයෙහි ද දෙව්මිනිස් ප්‍රජාව තුළ තථාගතයන් වහන්සේ හැම දෙය ම මැඩ පවත්වන්නාහු ය. අනභිභවනීය වන්නාහු ය. ඒකාන්තයෙන් ම සියළු දෙය අවබෝධ කළාහු ය. සියළු දෙය තම වසඟයට පමුණුවා ගත්තාහු ය.
එම නිසා තථාගත ය යි කියනු ලබන්නේ ය.
ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං ඉති වුච්චති.
භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ වදාළ සේක. මේ උතුම් කාරණය මේ අයුරින් ද පවසනු ලබන්නේ ය.
1.
සබ්බලෝකං අභිඤ්ඤාය - සබ්බලෝකේ යථා තථං
සබ්බලෝකවිසංයුත්තෝ - සබ්බලෝකේ අනූපයෝ
සියළු ලොව ම අවබෝධ කළා වූ
හැම ලොව ඇති තතු දැන ගත්තා වූ
හැම ලොවෙන් ම වෙන් වී සිටියා වූ
සියළු ලොවට ඇති ආශා දුරු වූ
2.
සබ්බේ සබ්බාභිභූ ධීරෝ - සබ්බගන්ථප්පමෝචනෝ
ඵුට්ඨස්ස පරමා සන්ති - නිබ්බානං අකුතෝභයං
හැම දෙය මැඬලූ නුවණැති මුනිඳුනි
කෙලෙස් ගැටෙන් නිදහස් වූ මුනිඳුනි
ඔබ දුටු ඒ අම නිවන ද මුනිඳුනි
බිය කිසිවක් නැති නිවනය මුනිඳුනි
3.
ඒස ඛීණාසවෝ බුද්ධෝ - අනීඝෝ ඡින්නසංසයෝ
සබ්බකම්මක්ඛයං පත්තෝ - විමුත්තෝ උපධිසංඛයෝ
කෙලෙස් රහිත වූ බුදු සමිඳාණෙනි
දුක් නැති සැක නැති මුනිවරයාණෙනි
සියලු කර්ම ක්ෂය කළ මුනිඳාණෙනි
අකුසල් නැති අරහත් මුනිඳාණෙනි
4
ඒස සෝ භගවා බුද්ධෝ - ඒස සීහෝ අනුත්තරෝ
සදේවකස්ස ලෝකස්ස - බ්‍රහ්මචක්කං පවත්තයී
අප ගේ භගවත් බුදු සමිඳාණෙනි
ලොවෙහි අනුත්තර සිංහ රජාණෙනි
දෙව් මිනිසුන් හට සැපත සදාලන
දම්සක් පැවැතුම් ඇති මුනිඳාණෙනි
5.
ඉති දේවා මනුස්සා ච - යේ බුද්ධං සරණං ගතා
සංගම්ම තං නමස්සන්ති - මහන්තං වීතසාරදං
ලොවේ සිටින නුවණැති දෙවි මිනිසුන් - සම්බුදු සමිඳුන් සරණ ගියෝ
ලොවේ විශාරද ගුණමුහුදාණන් - දැක ඒ හැම දෙන වැඳ වැටුනෝ
6.
දන්තෝ දමයතං සෙට්ඨෝ - සන්තෝ සමයතං ඉසි
මුත්තෝ මෝචයතං අග්ගෝ - තිණ්ණෝ තාරයතං වරෝ
දැමුණු සිතින් යුතු බුදු සමිඳාණෙනි - පුරිස දම්මසාරථි මුනිඳාණෙනි
සාන්ත සිත් ඇති ඉසිවරයාණෙනි - හැම සිත් සනසන මුනිවරයාණෙනි
දුකින් මිදී ගිය අරහත් මුනිඳුනි - අන් අය මුදවන අගරජිඳාණෙනි
ලොවෙන් එතෙර වූ පුණ්‍යවතාණෙනි - අනුන් එතෙර කරවන මුනිඳාණෙනි
7.
ඉති හේතං නමස්සන්ති මහන්තං වීතසාරදං
සදේවකස්මිං ලෝකස්මිං නත්ථි තේ පටිපුග්ගලෝ'ති
ලොවේ විශාරද ගුණ සයුරාණෙනි
ඔබ හට දෙව් මිනිසුන් නමදිත් ම යි
සදෙව් ලොවේ ඔබ හා සම කිසිවෙක්
වෙන නැත ඔබ ම ය බුදු සමිඳාණන්
අයම්පි අත්ථෝ වුත්තෝ භගවතා. ඉති මේ සුතන්ති.
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්ථය වදාරණ ලද්දේ ය. මා
විසින් අසන ලද්දේ මේ අයුරින් ම ය.
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!