http://www.divaina.com/2010/12/01/provin02.html
සියඹලන්ගමුවේ ඇතාට අවසන් ගෞරව
දක්‌වන්න අලි රංචුවක් එති
සටහන සහ ඡායාරූප-දිලංක ප්‍රියදර්ශන - මීගලෑව
ගල්ගමුවේදී වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ලොරි රථයකින් ගෙන යද්දී වැටී මියගිය දළ ඇතා වළ දැමූ ස්‌ථානයට (29 දා) රාත්‍රියේ පැමිණි වල්අලි රංචුවක් ඇතා වළ දැමූ ස්‌ථානය වටේ කැරකී වළ මතට හිස තබා අවසන් ගෞරව දක්‌වා ඇතැයි වාර්තා වේ.
මෙම සිද්ධිය සියෑසින් දුටු සියඹලන්ගමුවේ එච්. එන්. විඡේරත්න මහතා ඒ සංවේදී සිද්ධිය "දිවයින" ට විස්‌තර කරමින් (28 දා) ගමේ ඔක්‌කොම සියඹලන්ගමුව පන්සලට එකතු වුණා. මොකද ඇතා මැරුණ දවසේ ඉඳන් ගමට අලි රංචු පිටින් එන්න පටන් ගත්තා. වෙනදා පන්සලට අලි ආවේ නැහැ. නමුත් ඇතා වළ දැම්මේ පන්සල් භූමියේ නිසා දැන් අලි පන්සලටත් එන්න පටන් අරගෙන. අපි පන්සලේ ඉන්නකොට රාත්‍රියේ අලි රංචුවක් ඇවිත් ඇතා වළ දැමූ වළ වටේ ගිහින් පස්‌කන්ද උඩට හිස තබා නමස්‌කාර කරනවා දැක්‌කා. සමහර විට මේ මියගියේ ඒ අලි රංචුවේ නායකයා වෙන්න ඇති. ඇතා මැරුණ දවසේ ඉඳලා මේ වනතෙක් හැමදාම ගමට අලි එනවා. ඒ නිසා අපි ඊයේ අයියනායක දෙයියන්ට බාරයකුත් වුණා" විඡේරත්න මහතා පැවැසීය.
ගල්ගමුව ප්‍රදේශයේදී අල්ලාගෙන වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ලොරි රථයෙන් ඇදවැටී මියගිය "සියඹලන්ගමුවේ ඇතා" නමින් ප්‍රකටව සිටි සද්දන්ත කුලයේ ඇතා මියගොස් දින හතක් සපිරුණු (29 දා) සංඝගත දක්‍ෂිණාවක් සහිතව දානමය පිංකමක් ද පැවැත්විණි.
ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් බී. එම්. මංචනායක, සමෘද්ධි නිලධාරිනී දීප්සිකා විඡේසිරි, ගල්ගමුව ප්‍රා.ස. මන්ත්‍රී එස්. එච්. විඡේරත්න හා ග්‍රාම නිලධාරිතුමා හා උස්‌ගල සියඹලන්ගමුව යුනිට් 04 ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහයෙන් උස්‌ගල සියඹලන්ගමුව යුනිට් 04 ආනන්ද බෝධිරාජාරාමයේදී පැවැත්විණි.
උඩගබ්බල මෙත්තානන්ද හිමියන් මෙහිදී අනුශාසනාවක් කරමින්, මේ සද්දන්තයාට මතු ආත්ම භවයන්වලදීවත් මෙවන් අකල් මරණයක් අත්නොවේවායි ප්‍රාර්ථනා කරමින් අනෙකුත් අලි ඇතුන්ට ද කිසි දිනක සාපිපාසාදී පීඩා අත් නොවී, ප්‍රදේශවාසීන්ටද, කරදර පීඩා අත් නොකරමින් දිවි ගෙවන්නට හැකිවේවායි වදාළහ.
මෙහිදී ප්‍රදේශවාසීන් පවසා සිටියේ තමන්ට මේ ඇතා වෙනුවෙන් වෙන යුතුකමක් ඉටුකළ නොහැකි නිසා මෙලෙස ඇතා මියගොස් දින හතක් සපිරෙන දින දානමය පුණ්‍යකර්මයක් සිදුකිරීමට කටයුතු සූදානම් කළ බවය.