දත් බුරුසුවක් නිසා දවස් දෙකක් තිස්සේ පජාත උණ මගේ හොඳම යාලුවෙකුට වෙච්ච අකරතැබ්බියක් මතක් උන නිසා අමතක වෙන්න කලින් එලකිරියටම ලියලා දාන්න හිතුවා..

සාමාන්යෙන් මොනවහරි කුජීත වැඩක් කරලා එපාම කරපු උන් පස්සේ කාලෙක බොක්කේ ෆිට් වෙනවා කියනවනේ.. මගෙයි මගේ අතිජාත මිත්‍රයගෙයි මිතුරුකමත් ඒවගේ දෙයක්..

මීට අවුරුදු බර ගාණකට කලින් අපි සෙට් උනේ ඉස්කෝලෙ 5 වසරේ ශිෂ්‍යත්ව පන්තියෙදී..
ටිකක් විතර අහිංසක චරිතයක් වෙච්ච නිසාම පන්තියේ නසරාණි වැඩ කරන, නාහෙට නාහන අල ඩයල් දාන්නෙම මගේ ලඟට..
අපරාදේ කියන්න බෑ 1 වසරේ ඉඳලා 7 වසරට විතර එනකන්ම මට ඔය වින්නැහිය උනා.. 8 වසරෙන් පස්සේ මමත් ගාණට රැලට වැටිලා නසරාණි උනාද, එහෙම නැත්තං මගේ පව ගෙවිලා ඉවර උනාද කියලා නොදන්නව උනත් ඒ කරදරේ එහෙම්මම මග ඇරිලා ගියා..
හැබයි ප්‍රාථමික පන්ති වලදී මගේ ලඟට දාපු හැම එකා එක්කම මමත් හෙන ෆිට් එකේ හිටියා.. උන් බලෙන් මගේ කෑම පෙට්ටියට අත දානකොටම "අතදාල කන්න එපා හලෝ ඉල්ලන්න පුරුදු වෙන්න..මම ඔයාටත් දෙන්නම්" කියන විදිහේ චරිතයක් නිසා වලිබර ගැන්සිය මගෙත් එක්ක අම්බානක ෆිට් උනා මිසක් උන් කවදාවත් මගේ එක්ක වලි දාගෙන පිස්සු කෙළියේ නෑ..
ඉඳලා හිටලා හරි මෙල්ල කර ගන්නම බැරි මොකෙක් හරි වසවර්තියෙක් මගේ කෑම පෙට්ටියට බලෙන් බැස්ස දවසට "අම්මේ අරයා මගේ කෑම එකෙන් කෑවා කියාගෙන" මූන දෙක කරන් ගෙදර ආවාම අම්මා මට ඊලඟ දවසේ බලෙන් කෑව එකාටත් එක්කම කන්න මොනවහරි කෑම පෙට්ටියට දාන්නේ,
"ඔයා ආස කෑම අම්මා ඔයාට හදලා දුන්නට හැමෝටම ඒහෙම කන්න වෙන්නේ නෑනේ පුතේ..පව්නේ ඒ ළමයි. ඊයේ ඔයාගෙන් කෑම ගත්ත යාලුවටත් දීලා කන්න" කියලයි..
අපේ අම්මට පිං සිද්ද වෙන්න ඔයවගේ බලහත්කාරකම් කරන පොඩි උන් පවා උන්ටත් නොදැනිම ලැජ්ජ බය ඇතුව වැදගත් විදිහට " මටත් ඕකෙන් කෑල්ලක් දෙනවද හලෝ" කියන තත්ත්වෙට නම්ම ගන්න අපේ අම්මලාගේ අතිනුත් සෑහෙන දෙයක් උනා කියල තේරෙන්නේ දැනුයි.. පැන්සල මකන කෑල්ල උදුර ගත්ත උන් පවා අන්තිමට තියෙන උන්ගෙන් ගිහින් ලස්සනට ඉල්ලගන්න පුරුදු උනා අපේ අම්ම, නැති අයට අපි ගාව තියන එකෙන් දෙන්න පුරුදු කරපු නිසාම.. ගෙදරින් මට පුරුදු කරපු දේවල් මගෙන් උන්ටත් ඉබේම වගේ පුරුදු උනා.. (ඒ නිසාමයි මම ගොඩක් ත්‍රෙඩ් වල කියන්නේ හොඳ දේවල් පුරුදු වෙන්න ඕනේ සහ පුරුදු කරන්න ඕනේ පුංචි කාලේ ඉඳලමයි කියලා..)ඔය වගේ ගෙවීගෙනෙ ගිය සුන්දර ළමා කලෙක හිටිය මම ඉගෙන ගත්තේ මිශ්‍ර පාසලක..

ඒ සුන්දර ළමා කාලේට කලුපාටින් නැවතීමේ තිතක් එක්ක කනේ මයිලක් තියපු පහ වසරෙදි මූණ දීපූ මාරකම සෙනසුරු, අඟහරු, ප්ලූටෝ, නෙප්ඡූන් අපලේ වෙච්ච අම්මලාගේ විභාගෙට ලෑස්ති උනෙත් ඔය කාලේ..

පොඩි පොඩි ගණිත ගැටළු, ප්රස්ථා පිරුළු, සමාන්‍ය දැනුම වගේ බරපතල ගණයේ විෂය කරුණුයි, සතියට දවස් තුනක් කලුවර වැටෙනකන් එළිමහනේ ටකරන් ගහපු ගරාජ් එකක තිබුණ ශිෂ්‍යත්ව පන්තියයි මදිවට රතුපාට චූටි කුරුමිණියගේ පිටේ කලු පාට බෝල බෝල තියෙන පාට පාට ලස්සන පිටකවරේ එක්ක ආපු පොත් සෙට් එකක් එක්ක පටන් ගත්තු අලුත් ඉංග්‍රීසි පන්තියකුයි නිසා අවුරුදු 10දීම සසර කලකිරුණාට මහන වෙන්න නොහිතුණේ ඉරිදා හවස 5ට ගිය සොරා සහ සපතේරුවා බලන්න ඕනේ නිසා.
ඒවුනාට සතියේ දවස් පහේ තඩි සතර ශිෂ්‍යත්ව ජයමග පොතත් එක්කම වනගත වෙන්න හිතිලා තිබුණ අපබ්‍රංස කාලයක් ඒක..
ඔය කාලේදිම තමයි මට මගේ යාලුවව හම්බ වෙන්නේ..

බුවා දඩබ්බර චරිතයක් නොවුන්තන්, ගෙදර වැඩ එහෙම වෙලාවට නොකරන සීන් කෝන් එකක් නිසා ටීචර් ඌව මගේ ඩෙස් එකට දැම්මා.. එදා එහම නොවුනනම් මම ඌ එක්ක කවදාවත් මෙච්චර ෆිට් වෙන්නේ නෑ.. ඒ කාලේ මගේ ඉස්සරහ ඩෙස් එකේ චූටී ලස්සන ගැණු ළමයෙකුත් හිටියා..
ඒ කාලේ එයා මාව අයිතිකරගෙනයි හිටියේ..
අපේ ඉස්සරහ පේළියේ හිටියට පැත්තට හැරිලා මගේ මේසේ උඩින් පොත තියාගෙන තමයි ටීචර් කියන දේවල් ලියා ගන්නේ..
මම පාඩුවේ ඉන්න මනුස්සයා නිසාත්, අර කෙල්ල හෙන බ්‍රයිට් කේස් එකක් නිසාත් ටීචර් ඒ ගැන මුකුත්ම කිව්වේ නෑ.. එයා ශිෂ්‍යත්වේ ඉහළින්ම සමත් වෙලා මාව දාලා ලොකු ඉක්කෝලෙකට යනවා කියලා ටීචර් ඉවෙන් වගේ දැනන් හිටියද මන්දා?

ඕලෙවල් මානසිකත්වයෙන් දැන් ඉන්න පහ වසරේ උන් වගේ මම ඒ කාලේ ඇඩ්වාන්ස් නැති නිසා ඒ කෙල්ල මොන තරං මට ලව් කළත් තුල් මාරු කරන පැන්සලක් ගන්න එක මට ඊට වැඩිය ලොකු උනා..
ඒලෙවල් කරද්දී තමයි මට ඒ කෙල්ලගේ සීන් එක හරියටම මීටර් උනේ.. අපරාදේ කියන්න බෑ අද වගේම පොඩි එකා කාලෙත් කෙල්ලෝ තෙරුම් ගැනීම අතින් මම පට්ට් පජාතයි..
(ත්‍රෙඩ් එක ඉවර උණ වෙලාවේ ඉඳලම උඹල දැන් මගෙන් ඒ කෙල්ල ගැන අහයි..උත්තර දෙන්නේ නෑ නෑමයි..
)යාලුවා මගේ ලඟට දැම්මට පස්සේ අර කෙල්ලට ටිකක් විතර අවුල් උනා.. ඇයි ඌ මගේ අනිත් පැත්තේ ඉන්නකොට ඉස්සර වගේ අර කෙල්ලට පොත තියා ගෙන පැත්තට හැරිලා ලියන්න ඉඩ නෑනේ..
ඉතින් එයා මගේ යාලුවා එක්ක රණ්ඩු වෙනවා..
මම ඉතින් උන් දෙන්නගේ වලිය නවත්තලා දෙන්නටම ෂේප් එකේ ලියන්න පුලුවන් වෙන්න ඉඩ වෙන් කරලා දීල "මේක ඔයාගේ පැත්ත, මේ ඔයගේ පැත්ත" කියල වෙන් කරලා දුන්නට පස්සේ ඒ වලිය ඉවරයි.

අර කෙල්ල නම් නිතර නිතරම මගේ පස්සෙන්ම කැරකි කැරකී හිටියා. දැන් කාලේ වගේම ඉස්සරත් මට මහ නොසන්ඩාල කටක් තිබුණේ..
දැන් වගේම ඒ කාලෙත් කුණුහරුප නොකිව්වා උනත් එක එක මොංගල් කතා කියන නිසාම අර කෙල්ල මුලු දවසම මගේ පස්සෙන්ම වැටිලා හිනා වෙවී හිටියා..
කොටින්ම මට චූ බරක් හැදුනත් පස්සෙන් එනවා "හලෝ ඔයා කොහෙද ඔය යන්නේ මමත් එනවා" කියාගෙන..
"ඒ මම චූ දාන්න හලෝ යන්නේ..ඔයා එහෙ එන්න එපා!" කියල කිව්වාම හිනා වෙවී අනිත් පැත්තට දුවං යනවා..
ඒ කාලේ පොඩි උන් නිසා ඔය වගේ කතන්දර මහලෝකු ප්‍රස්න නෙමෙයි.. වෙලාවකට ටීචරුත් හිනා වෙනවා ඉතින්..
ඒත් මගේ යාලුවට කෙල්ලො අල්ලන්නෙ නෑ.. අර කෙල්ල මගේ ලඟට එනකොට ඌ එතනින් යන්න යනවා.. පස්සේ පස්සේ මට ඒක වෙනම ආතල් එකක් උනා..
කෙල්ලෙක් ඉන්නවා දැක්ක ගමන් කෙල්ල කවුරු උනත් මම ඌව ඒකිගේ ඇඟට තල්ලු කරනවා.. 
නොහිතපු වෙලාවක කෙල්ලෙක්ගේ ඇඟේ හැප්පෙන්න යනකොට භූමිතෙල් බැරල් එකට වැටුණ ගැරඬියා වගේ අත පය හතර, හතර අතේ වන වන කොහොමහරි උන්ගේ ඇඟේ හැප්පෙන්නෙ නැතුව ෂේප් වෙන්න බලන්නේ, හරියට A9 පාරේ දුවන සීට් 59 ලේලන්ඩ් බස් එකකට ඌව තල්ලු කළා කියලා හිතාගෙන වගේ මරණ භයෙන්..
මෙච්චර කල් අර කෙල්ල මම නිසා "හිකි හිකි" ගගා හිටියට අලුත් යාලුවා නිසා මටත් හිකි හිකි ගගා හිනා වෙන්න පොට්ට චාන්ස් එකක් වැදුන...
මමත් ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගත්තා ඉතින්.. ඇයි ඉතින් මම ටිකක් හිනා උනාම හෙන ගහනවද.?
"කොහොමහරි දවසක් මම මූව තල්ලු කරපු පාර ටිකක් කටකාර මෙලෝ රහක් නැති කෙල්ලෙකුගේ හැප්පිලා ඒ කෙල්ල මූට අම්බානක බැන්නා.. මූත් මගේ ලඟට ඇවිත් කියපි "ඔයා හරි නරකයි හලෝ .. ටීචර් ඔයා හොඳයි කිව්වට ඔයා මාව ගෑනු ළමයිගේ ඇඟට තල්ලු කරනවා.. මම බැනුම් ඇහුවත් එක්ක.. මම අම්මට කියනවා.. මට බෑ මෙතන ඉන්න.. ඔයා අරයව (අර මගේ යාලු කෙල්ලව) මෙතෙන්ට ගන්න.. මම ටීචර්ට කියලා වෙන තැනකට යනවා" කියලා..

අඩේ කිව්වා වගේම මේකා ටීචර්ට ගිහින් කිව්වනේ මම ඌව ගෑනු ළමයි ගාවට තල්ලු කරනව. මෙතන ඉන්න බෑ අරකයි මේකයි කියලා.. පස්සේ අර මගේ ඉස්සරහ ඩෙස් එකේ හිටීය යාලු කෙල්ලව වෙන තැනකට දාලා මූව ඉස්සරහට දාන්න හැදුවා.. ඒත් අර කෙල්ල මගේ ලඟින් යන්නම බෑ කිව්ව නිසා, පස්සේ ටීචර් මගෙන් ඇහුවා "පුතා ඔයා මෙයාව තල්ලු කළාද" කියලා. ඇත්තටම අපේ 5 වසර පන්තියේ ටීචරුත් හරිම හොඳයි.. ඒ නිසා මම ඉතින් ඇත්තම කිව්වා "මෙයා ගෑණු ළමයින්ට භය නිසා මම එයාව තල්ලු කලා ටීච අරයගේ ඇඟේ හැප්පෙන්න" කියලා..

කොහොමහරි ටීචර්, දෙවනි වතාවටත් බුවාව මගේ ලඟම ඉන්ඳුවා "නෑ නෑ එයා අයේ ඔයාව තල්ලු කරන්නේ නෑ.. හැමදාම එයා ලඟ තමයි ඉන්න ඕනේ" කියලා.. අනිත් උන් වගේ දඩබ්බරයෙක් නොවුන නිසාත්, මම වගේම මැටි මෝලෙක් නොවුනට මට වගේම පොඩි අවුට් එකක් තිබුණ නිසාත් ඌ යනවට මමත් එච්චරම කැමති උනේ නෑ..

යාලුවා එදා මගේ එක්ක තරහ උන හැටි මමත් ගෙදර ගිහින් අම්මා එක්ක කිව්වා..

මමත් ඉතින් ඉස්කෝලේ ඇරිලා ඇවිත් නිල් පාට කලිසම් කොටේ ඇඳගෙන හිල් හිල් බැනියම පිටින් ඉඳගෙන අම්මට කතාව කිව්වා,"හා හා.. කෝ දැන් ඇඟ හෝදගෙන එන්න බත් කවන්න කියලා අම්මා මගේ කතාවට ඉන්ටවල් එකක් දෙනකන්ම..
කොහොමහරි යාලුවත් ගෙදර ගිහින් ලැජ්ජ නැතුව එයාගේ අම්මට කියලා කෙල්ලෙක්ගෙන් බැණුම අහුවා මගේ එක්ක ඉන්න බෑ කියලා..අපි ඉතින් ඉස්සර ඉස්කෝලෙ වෙච්ච මළකෝලම් වැඩ ඔක්කොම කටවල් උල් කරන් අම්මලා එක්ක හෙන ලොකුවට කියවනවනේ ගිරව් වගේ.. 
ලා කොළ පාටින් තිත්න ගාපු ඇස් දෙකයි, නහයයි, හිනා වෙච්ච කටයි එක්ක රවුම් මූණක් වටේට පෙති ඇඳපු මේලෝකේ නැති නැති මහා විකාර මල් ඇඳපු බිත්තියකින් වට කරපු ප්‍රාථමික පන්තියට පහුවදා යාලුවා ආවේ අම්මා එක්ක..
අම්මලා දෙන්නම ගේට්ටුව ගාවදි උදෙන්ම හම්බ වෙලා කියලා මම දැන ගත්තේ ගෙදර ගියාට පස්සේ.. අපි නොදන්නවා උනාට ඉස්කෝලෙ ගේට්ටුව ගාවදී අපේ අම්මලාත් හොඳ යාලුවෝ..
යාලුවගේ අම්මා මගෙන් ඇහුවා "පුතා ගාවද මෙයා ඉන්නේ" කියලා.
මම ඉතින් වටේට කොළපාට මැද රතුපාට මකන කෑල්ලේ සුවඳ බලන ගමන් "ඕ ඇන්ටි" කියලා උත්තර දුන්නා.. (අර කෙල්ලගේ මකනේ රෝස පාට් ස්ට්‍රෝබෙරි ගෙඩියක්.. මගෙ එකේ මැද්දේ රතුපාට ලයිට් එකක් වගේ පත්තු වෙන අලුත්ම මකයනයක්..
යාලුවා එද්දී අපි මකන කෑලි වලින් ලොකු වැඩක්.
)"පුතා ඊයේ මෙයා එක්ක තරහා උනාද.?"
"නෑ මම තරහා නෑ.. එයා තමයි මට බැනලා තරා උනේ.." කොහෙන්ද මන්දා අතට අහු වෙච්ච මගේ පැන්සල අග්ගිස්සේ තිබුණ රෝස පාට මකනේ හපන ගමන් මම ආයේ උත්තර දුන්න..

"මෙයා මාව ගෑණු ළමයි ගාවට තල්ලු කරනවා.."

මෙන්න මූ ආයේ ෆයර් වෙලා මාව කන්න හැදුවා ඇන්ටි ඉස්සරහම..
"ඒයා ඒගොලොන්ට බයයි. මම ඉතින් චුට්ටක් තල්ලු කළා.."

ඌ එක්ක ඇවිදගෙන යන ගමන් හෙන ගැහුවා වගේ තල්ලු කරලා දැම්මා උනත් ඇන්ටි ඉස්සරහා ඇත්ත ඇති සැටියෙන්ම කියලා චාටර් වෙන්න ඕනේ උනේ නෑ.. මොකද යාලුවා ඒ ටික ගාණට කරලනේ තිබුණේ..

"පුතා අයේ යාලුවව තල්ලු කරන්නේ නෑ නේද..?" කියලා ඒ ඇන්ටි මගෙන් ඇහුවා
"මම හිනා වෙවී මකන කෑල්ලයි පැන්සලයි වම් අතේ ගුලි කරගෙන දකුණු අතේ දබර ඇඟිල්ල කනේ ගහගෙන කහ කහ හිටියා මිසක් මුකුත් කිව්වේ නෑ..

ඇන්ටිම ඇවිත් තුන්වෙනි පාරටත් යාලුවාව මගේ ලඟ ඉන්ඳෙව්වා.. ඌත් මුකුත් නොවුන ගාණට මගේ එහා පැත්තෙන් ඉඳ ගත්තා ලැජ්ජ නැතුව..
ඔන්න ඔහොමයි උගෙයි මගෙයි යාලුකම පටන් ගත්තේ හෙන කුප්ප විදිහට පහ වසරේදී අම්මව එක්කන් ඇවිත් නඩු කියාගෙන..
ඉහලින්ම සිස්සත්තේ හෙවත් අම්මලාගේ විභාගේ පාස් වෙච්ච මගේ යාලු කෙල්ල මාව දාල ලොකු ඉස්ක්කෝලෙකට ගියා..
එලෝ මෙලෝ නැතුව අම්මලාගේ මහන්සියෙන් ශිෂ්‍යත්වේ යාන්තමට ගොඩ දාගත්තු මමයි, ෆේල් උනාද පාස් උනාද කියලවත් නිනව්වක් විභාගේ ලියපු උටවත් නැතුව හිටිය මගේ යාලුවයි දිගටම අපේ ඉක්කෝලේ හිටියා..
යන දවසේ ඒ කෙල්ල අඬන්න වගේ ඉන්නවා දැක දැකම මම මොට්ටයා වගේ ටටාත් කිව්වද කොහෙද..
(හයියෝ සල්ලි කියලා හිතෙන්නේ දැන් තමයි..
)පහ වසරෙන් පස්සේ යාලුවාව වෙනම පන්තියකට වැටුණා.. අවුරුදු පහකට පස්සේ ඕලෙවල් කරද්දී දෙන්නම ආයෙත් එකම පන්තියකට වැටුණා උනත් දෙන්නගේ ගැන්සි දෙක අහසට පොලව වගේ උනා.. යාලු ෆිට් එක දිගටම තිබුණත් බොක්කේ ෆිට් ගතිය ටිකක් මග ඇරුණා ඕලෙවල් ,ඒ ලෙවල් ලියන කාලේ.. අනික මගේ යාලුවා ගෙදර යන්න බස් එකේ නගින පැත්තට විරුද්ධ පැත්තටයි මම ගෙදර යන්න
බස් එකේ නැග්ගේ. ඒ නිසා උදේ හවස බස් එකේදී සෙට් වෙන "සෙට්එක" එක්කම මමත් පන්තියෙදි සෙට් උනා.. ඌ උගේ බස් එකේ උගේ ගෙවල් පැත්තට යන "සෙට්එකත්" එක්ක ඉබේම සෙට් උනා.. මට ආයෙත් මගේ යාලුවව හම්බ උනේ තවත් අවුරුදු 6කට පස්සෙයි..
හැබැයි ඒ අපි අපේ ගෙවල් දොරවල් දෙමව්පියන්ගෙන් වෙන් වෙලා පාරවල් දෙකක ගොඩාක් දුර ගමනක් ආවට පස්සේ.. කොටින්ම කියනවනම් ලංකාවෙන් ගොඩාක් ඈතදී..
දිග වැඩී උනා කියහංකෝ..

මතු සම්බන්ධයි..
වෙලා තියෙන හැටියට දෙවනි කොටස ලියනකන් හිතට දැනෙන දේ කොටාගෙන යන්න රිචාගෙන් ආරධනා..

Last edited:
