මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ ඇමති මණ්ඩලය "
මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයට එම තනතුරු දැරීමට නීතිමය හිමිකමක් නොමැති බැවින් එම පත්වීම් බලරහිත කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයෙහි ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළ බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ ඇමති මණ්ඩලය එම තනතුරු දැරීම අත්හිටුවාලමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරන ලදී.
එමෙන්ම ඔවුන් එම තනතුරු දරනුයේ කුමන බලයක් යටතේද යන්න ලබන 12 වනදා අභියාචනාධිකරණයට දැනුම් දෙන ලෙස ඔවුන්ට නොතීසි නිකුත් කර තිබේ. දෙසැම්බර් 12 වනදා පෙත්සම් විභාගය යළි පැවැත්වීමය නියමිතය.
ඒ, අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල ඉදිරියේ දෙවන දිනටත් එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය.
එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොනු කර තිබේ. පසුගිය නොවැම්බර් 30 වනදා එය පළමුව්‍රට විභාගයට ගනු ලැබූ අතර වැඩිදුර සලකා බැලීම දෙසැම්බර් 03 වනදාට කල් තබන ලදී.
අද පෙරවරුවේ පෙත්සම වැඩිදුර සලකා බැලුණු අතර එය විභාගයට ගන්නේද නැද්ද යන්න පස්වරු 3.00ට ප්‍රකාශයට පත් කරන බවයි අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබුණේ