ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page මනස පාලනය කරමින් කැරපොතු වහලුන් මෙහෙය වන Ś
Reply
 
Thread Tools
(#1)
Old
suranga_87 suranga_87 is offline
Senior Member
suranga_87 will become famous soon enough
 
Posts: 300
Join Date: May 2017
Location: Pannipitiya
මනස පාලනය කරමින් කැරපොතු වහලුන් මෙහෙය වන Ś - 04-18-2018, 02:37 PM

පෘථිවි වාසීන් ව පැහැරගෙන ගොස් ඔවුන්ගේ මනසට පරිපථ ඇතුළු කිරීම මගින් ඔවුන් ව තමන්ට අවැසි පරිදි මෙහෙයවමින් පෘථිවියේ පාලනය සියතට ගැනීමට සහ පෘථිවියේ ජනාවාස ඇති කිරීමට උත්සාහ දරණ පිටසක්වළ ජීවින් ගැන නිපදවා ඇති චිත්‍රපට සහ ටෙලි වෘත්තාන්ත අපමණ යි. හුදෙක් ම ප්‍රබන්ධයන් වන මේ කථාන්තර බොහෝ දෙනෙක් රස විඳින්නේ ආශාවෙන්. නමුත් සත්‍ය වශයෙන් ම එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණොත් කුමක් සිදු වෙයි ද?



වාසනාවකට මනුෂ්‍ය ප්‍රජාවට තවමත් එවැනි භයංකර තත්ත්වයකට මුහුණ දීමට සිදු වී නොමැති වුවත් ලොව කැරපොතු ප්‍රජාවට නම් මේ බියකරු සිහිනය යථාර්ථයක් වී හමාර යි. ඒ විද්‍යාත්මක පර්යේෂණයක අනිසි ප්‍රතිඵලයක් නිසා නොව සොබාදහමේ අපූරු නිර්මාණයක් හේතුවෙන්. මේ ලිපිය දෂ්ටනය මගින් කැරපොතු මොළයට විෂ එන්නත් කර ඔවුන් ව වහලුන් බවට පත් කර ගන්නා දෙබරෙක් ගැන යි.

සොඳුරු මුහුණුවරක් හිමි අනුකම්පා විරහිත මාරයා



Ampulex compressa යන විද්‍යාත්මක නාමය හිමි මෙම දෙබරා ව එදිනෙදා ව්‍යවහාරයේ දී හඳුන්වන්නේ ‘මරකත කැරපොතු දෙබරා’ (Emerald Cockroach Wasp) නැතහොත් ‘මිණි කැට දෙබරා’ (Jewel Wasp) ලෙස යි. ලෝහමය නීල-හරිත පැහැ සිරුරක් සහ දීප්තිමත් රතු පැහැ පාද හිමි අලංකාර සත්ත්වයින් වන මරකත කැරපොතු දෙබරුන් සුරඟනුන්ගේ වෙස්ගෙන පැමිණෙන මාර දූතයින් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. එයට හේතුව තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලියේ දී පිලවාට අවශ්‍ය කරන නිසි පෝෂණය සපයන ධාරකයෙකු ලෙස කැරපොත්තන් ව භාවිතා කර පසු ව ඔවුන් ව මරණයට පත් කිරීමට මරකත කැරපොතු දෙබරුන් කටයුතු කිරීම යි.

වැඩි වශයෙන් දකුණු ආසියාව, අප්‍රිකාව, පැෆිසික් දූපත් වැනි නිවර්තන කලාපයන් හි වාසය කරන මරකත කැරපොතු දෙබරුන්, උෂ්ණ කාලයේ දී බහුල වශයෙන් දැක ගැනීමට ලැබෙනවා. එසේ ම 1941 වර්ෂයේ දී ජෛව පාලන ක්‍රමයක් ලෙස මොවුන් ව හවායි දූපත්වලට හඳුන්වා දී තිබෙනවා. ප්‍රමාණයෙන් මිලිමීටර් 22 ක් පමණ වන ගැහැනු සත්ත්වයින්ට විෂ දළ පිහිටන නමුත් සාපේක්ෂ ව කුඩා පිරිමි සත්ත්වයින්ට විෂ දළ පිහිටන්නේ නැහැ.


© Deven Dadbhawala

දෙබර පිලවුන්ට පෝෂණය දෙන ධාරක කැරපොත්තන්
මරකත කැරපොතු දෙබරුන් ‘සොඳුරු මරුවන්’ ලෙස කෘමි ලෝකයේ නමක් දිනාගෙන සිටින්නේ ඔවුන් අනුගමනය කරන අසාමාන්‍ය අභිජනන ක්‍රියාවලිය හේතුවෙන්. සත්ත්ව විද්‍යාඥයින් නිරීක්ෂණය කර ඇති අන්දමට තම ජීවිත කාලය තුළ දී එක් වරක් පමණක් සංවාසයේ යෙදෙන ගැහැනු දෙබරුන්, බිත්තර දුසිමක් පමණ දරාගෙන ගන්ධ සහ දෘශ්‍ය සංවේදක ආධාරයෙන් කැරපොත්තෙකු සොයා යනවා. සුදුසු ධාරකයෙකු හමු වූ විගස විදුලි වේගයෙන් කැරපොත්තාගේ සිරුරේ මැද කොටසට දෂ්ට කරන ඔවුන්ගේ විෂ හේතුවෙන් කැරපොත්තාගේ ඉදිරිපස පාද මිනිත්තු පහක පමණ කාලයකට තාවකාලික පක්ෂඝාතයකට ලක් වෙනවා. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා දෙබරාගේ ඊළඟ ඉලක්කය වන්නේ කැරපොත්තාගේ මොළය යි. සෘජුව ම මොළයට සිදු කරන දෙවැනි දෂ්ටනයක් මගින් කැරපොත්තා ව තවත් මිනිත්තු 30 ක කාලයකට තම පාලනයට නතු කර ගන්නා දෙබරා, සංසේචිත බිජුවක් කැරපොත්තාගේ සිරුරට ඇතුළු කරනවා. යළිත් සිහි ලැබුණු පසු ව ‘අවචාලනය’ නම් කුසීත තත්ත්වයේ පසු වන කැරපොත්තාට පෙර පරිදි තමන්ට රිසි අයුරින් කටයුතු කිරීමේ හැකියාවක් නැහැ.


© Ram Gal

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ කීට විද්‍යාව සහ ස්නායු සම්බන්ධ මහාචාර්ය මයිකල් ඇඩම්ස් පවසන්නේ මෙම අවධියේ දී කැරපොත්තා පක්ෂඝාතයෙන් නොපෙළෙන බව යි. කැරපොත්තට සාමාන්‍ය පරිදි ඇවිදීමට හැකියාව පැවතුණ ද ඔහු ව මෙහෙය වීම සිදු කරන්නේ දෙබරා විසින්. තමන්ගේ පාලනය යටතට ගන්නා කැරපොත්තා ව බෙනයක් කරා යොමු කිරීමට දෙබරා කටයුතු කරන අතර පිලවා වැඩීමට ගත වන දින 7 – 10 දක්වා වන කාල සීමාව තුළ කැරපොත්තාගේ වාසස්ථානය වන්නේ එය යි. අවසානයේ දී කැරපොත්තාගේ සිරුරෙන් අවැසි පෝෂණය ලබා ගනිමින් වැඩෙන පිලවා, කැරපොත්තාගේ සිරුර දෙකඩ කරගෙන පිටතට පැමිණීම සිදු වෙනවා.

පාකින්සන්ගේ රෝගයට පිළියමක්
ස්නායුජනක ආබාධයක් වන පාකින්සන්ගේ රෝගයේ දී සිදු වන්නේ මොළයේ සෛල සෙමින් මිය යාම යි. මරකත කැරපොතු දෙබරුන්ගෙන් ලබා ගන්නා ලද විෂ විශ්ලේෂණය කරන ලද පර්යේෂකයින් පවසන්නේ පාකින්සන් රෝගයට පිළියම් යෙදීම සඳහා දෙබර විෂ යොදා ගැනීම ගැන බලාපොරොත්තුවක් පවතින බව යි. දෙබර විෂ තුළ අන්තර් ගත වන මනස පාලනය සඳහා යොදා ගත හැකි සංයෝගයක් අනාවරණය කර ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. මේ මගින් පාකින්සන් රෝගයේ දී සෛල මරණයට පත් කිරීමට දායක වන සංයෝගයන් හි කාර්යය අඩපණ කිරීමට යි විද්‍යාඥයින්ගේ බලාපොරොත්තු වන්නේ.


© Kasper Jeppesen

තවමත් මූලික අදියරේ පවතින මෙම පර්යේෂණයන් පාකින්සන්ගේ රෝගයට පිළියමක් ලෙස යොදා ගැනීම සඳහා තවත් දශකයක පමණ කාලයක් ගත විය හැකි යි. එයට හේතුව මරකත කැරපොතු දෙබරුන්ගෙන් ලබා ගන්නා විෂ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සම්පූර්ණ දැනුමක් තවමත් විද්‍යාඥයින් සතු නොවීම යි. නමුත් දැනටමත් දෙබර විෂට සෛල මිය යන වේගය අඩාළ කර හැකි බව ස්නායු විශේෂඥයින් අනාවරණය කරගෙන තිබෙනවා. ඔවුන්ගේ පර්යේෂණ කටයුතු සාර්ථක
වුවහොත් පාකින්සන් රෝගය තව දුරටත් ‘සුව කළ නොහැකි රෝග’ ලැයිස්තුවේ අන්තර්ගත නොවනු ඇත.

By Dharani Weerasinghe

sourc : https://roar.media/sinhala/main/envi...s-cockroaches/

Last edited by suranga_87; 04-18-2018 at 02:56 PM.
Reply With Quote
(#2)
Old
saminda_1980 saminda_1980 is offline
Senior Member
saminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nicesaminda_1980 is just really nice
 
Posts: 2,028
Join Date: Feb 2018
04-18-2018, 07:48 PM

TFS
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02396 seconds with 11 queries