ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Open Forum
Reload this Page අසූ හාරදහසට මත් වන රටක
Reply
 
Thread Tools
(#1)
Old
prashan3000's Avatar
prashan3000 prashan3000 is offline
Senior Member
prashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of light
 
Posts: 4,471
Join Date: Apr 2011
අසූ හාරදහසට මත් වන රටක - 07-08-2012, 01:28 AM

අසූ හාරදහසට මත් වන රටක
නුඹ වැනි පුතෙක්‌ ඇත ලක්‌මව සැනසුමට

"කන්න හපන්නු බොන්නත් බොහොම හපන්නු
ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නු
යුද්දෙට හරිම හපන්නු..."




එදා ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ ශූරීන් හැදූ "සංදේශය" චිත්‍රපටියට "අමරණීය ජෝති" (එච්. ආර්. ජෝතිපාල) සහ පිරිස ගැයූ මේ ගීතය අදටත් තරුණ ගැටව් සේම පනහ, හැට පැනපු අයත් දෙකක්‌ දාගත්විට ගායනා කරති. මේ කියන්නේ පෘතුගී්‍රසිකාරයින් ගැනය. එහෙත් තිස්‌ වසරක යුද්ධය නිමා කළ අපේ කට්‌ටිය ගැනත් හිතන විට, මේ ගීතය අපටත් ගැලපේ යයි ලියුම්කරුටද සිතේ.

ඇත්තටම අපි කන්න හපන්නුය නිකං නොවේය, රුපියල් 2500 කින් මාසයක්‌ම කන්න හපන්නුය. පෘතුගී්‍රසිකාරයාට ලැඡ්ජා හිතෙන තරමටම අපි බොන්නද හපන්නුය. අද අපි කන හැටි ලිපා දැනගත්තත් නොගත්තත්, අපි බොන හැටි හා එහි ආනිසංසයෝ ගැන නොදන්නා අයට කෙටි සටහනක්‌ මෙසේ ලියා තබන්නෙමි.

මෙබඳු සිතක්‌ ලියුම්කරු තුළ පහළ වූයේ කොළඹ පෞද්ගලික රෝහලකදී මුණගැසුන කැකිරාව දිසා රෝහලේ මනෝ වෛද්‍ය නිලධාරීවරයා වූ දොස්‌තර අසිත කෝසල නිසාය.

ඉතා දුක්‌ මහන්සියෙන් රැකබලාගත් බව භෝග ටික මුදල් කරගන්නා ගොවියා ණයතුරුස්‌ බේරා දමා අත ඉතිරි කරගන්නා සොච්චම් මුදල හොර පළට හෝ තැබෑරුමට පූජා කොට හිස්‌ අතින් ගෙදර ආ කල ගොවි ගෙදර "සිරිදුව" යක්‍ෂාරූඪ වීම ස්‌වභාවිකය. ප්‍රතිඵලය අතිශයින් සංවේගජනකය. ඇතැම්විට බියකරුය. ගෙදර ස්‌වාමියා පට්‌ට බේබද්දෙකු වූ කල ගෙදර බුදුන් වූ අම්මාට දේවදත්තගේ දිෂ්ටිය ආවේස විය හැකිය. දරුවෝ ජූජක බමුණා ගෙට ආ කලෙක සේ දොර මුල්ලේ හෝ ඇඳන් යට හෝ සැඟවෙන්නේ සෙනෙහෙබර පියා කෙරේවූ බිඳුන විශ්වාසය නිසාමය.

කැකිරාව, ඔලොබ්බෑව, සඳගල්පාය, බුදුගේ කන්ද, ඉලුකේගම, මොරගොල්ලාව අද දුෂ්කර ගම්මානවල මහපොළොව සමග හෙට්‌ටුවන අහිංසක ගොවි ජනතාව අඩපනකොට, බෙලහීන කොට අවසානයේදී නන්නත්තාර කොට දමන මෙම මත් උවදුර දැක කම්පාවූ සිත් ඇතිව මතට එරෙහි සටනකට බැස සිටින දොස්‌තර අසිත කෝසල එක්‌තරා ආකාරයකට උඩුගං බලා පිහිනන අපූරු මනුස්‌සයෙකි.

සිය රාජකාරි බලප්‍රදේශය තුළ, සියදිවි නසාගැනීම් එන්ට එන්ටම වැඩි වන බව සේම විවිධ මානසික රෝගවලට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාවද වසරින් වසර ඉහළ යන බවද නිරීක්‍ෂණය කළ මේ තරුණ මනෝ වෛද්‍යවරයා දොස්‌තර අසිත කෝසල, ඉතා පහසුවෙන් මෙහි රෝග නිධානය සොයා ගත්තේය.

උත්තරය මත් ද්‍රව්‍ය භාවිතයයි.

රා, අරක්‌කු (ලැයිසන් සහ "හොර") ගංජා, හෙරොයින් (කුඩු), මත්පෙති, සේම අධික දුම්පානයද මේ සියලු විනාශයන්ට මඟපෙන්වන යක්‍ෂ තානාපතිවරුය.

මේ මිනිස්‌සු මත් වෙන්නේ අහවල් එකකට දැයි අපට සිතෙන්නේ මතට ඇබ්බැහි වූවන්ගේ ශෝකාලේපයන් අසන කලය, දකින කලය.

කැකිරාව දිසා රෝහලේ මනෝ වෛද්‍ය, දොස්‌තර අසිතට අනුව මිනිසුන් මතට ඇබ්බැහි වන්නේ විවිධ හේතු නිසාය. පෞද්ගලික හේතු පෞරුෂත්ව ලක්‍ෂණ (හීනමානය), වැරදි මිතුරු ඇසුර, බහුජාතික සමාගම්වල උපක්‍රම, පවුල් අවුල්, ලිංගික ගැටළු සේම, නිදි වැරීමේ උත්තේජනයක්‌ ලෙසත් මත් ද්‍රව්‍ය භාවිතයට ඔවුන් ඇබ්බැහි වෙති. ඉහත කුමන කරුණක්‌ නිසා හෝ මතට වහල්වීම යනු සැබැවින්ම සමාජ ෙ€දවාචකයකි.

අද අප මුහුණ දෙන භයානක ව්‍යසනයක්‌ වන්නේ බීමත් රියෑදුරන් අතින් සිදුවන මාරක රිය අනතුරුය. මේ නිසා රටට අහිමිවන වටිනා ජීවිත සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යමින් පවතී. මේ වසරේ පමණක්‌ ගෙවී ගිය දින 150 කදී මාරක රිය අනතුරුවලින් 700 ක්‌ දෙනාට ජීවිතය අහිමිවූ බවත්, 15,000 කට අධික සංඛ්‍යාවක්‌ තුවාල ලැබූ බවත් පවසන පොලිසිය පසුගිය ජනවාරි මාසය තුළදී පමණක්‌ රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 156 ක්‌ බව පවසන්නේ සැබැවින්ම බෝතල් මාසයේ රජ මුසුවට, බයිට්‌ වූ කෝටියක්‌ වටිනා මිනිස්‌ ජීවිත ගැන නොවේද? ඒ අතින් බලන විට එල්.ටී.ටී.ඊ. ය අප හා යුද වැදුන සමයේ ඇතැම් මාසයක උන් අපෙන් බිලිගත් මිනිස්‌ ජීවිත සංඛ්‍යාව අභිබවා ගිය දත්ත වාර්තාවක්‌ ලෙස රිය අනතුරු මරණ සංඛ්‍යා හැඳින්විය නොහැකිද?

පවුල් අවුල්වීම, දික්‌කසාදය, ළමා අපචාර සේම, මානසික ආතතිය, අපේක්‍ෂා භංගත්වය හරහා සියදිවි නසාගන්නා තැනට වටිනා ජීවිත තල්ලුවී යැම මෙන්ම අවාසනාවන්ත ලෙස අධ්‍යාපනය කඩාකප්පල්කරගෙන වැදූ මව්ටත්, හැදූ පියාටත් උපන් රටටත් බරක්‌ වූ ජීවිත ගතකරන කාලකණ්‌ණි පරපුරක්‌ බිහිවීමත් මත් ද්‍රව්‍ය ලෝලීන්ගේ ජීවිත රටාව තුළ අප දකින හද සසල කරවන නිසල රෑ පෙළගැස්‌ම වේ.

පසුගිය කාලයේ රජයද හොරණෑ පිඹ, රටටම අණබෙර ගසා "මතට තිත" නම් ව්‍යාපාරයක්‌ ආරම්භ කළා අපට මතකය. එහෙත් ජාතික ආන්තරාකාරී ඖෂධ (මත් ද්‍රව්‍ය) පාලන මණ්‌ඩලයේම ((National Dangerous Drugs Control Board) හෙළිදරව්වකින් කියෑවෙන්නේ 2006-2010 කාලසීමාව තුළ අපේ ගොයියෝ තිතට මත්වූ බවෙකි. එම වාර්තාවන්ට අනුව වර්ෂ 2006 දී අරක්‌කු ලීටර් මිලියන 67.1 ක්‌ බිව් අපේ ඇත්තෝ වර්ෂ 2010 දී එම ප්‍රමාණය ලීටර් මිලියන 75.2 ක්‌ දක්‌වා ඉහළ දමමින්, "බොන්න හපන්නූ" බව සනාථ කළහ. එසේම මේ අය ගහේ බඩු (රා) ලීටර් මිලියන 10.5 ක්‌ 2006 වසරේදී පාවිච්චි කළ මුත් 2010 වසරේදී එම ප්‍රමාණය ලීටර් මිලියන 16 ක්‌ දක්‌වා ඉහළට ඔසවා තැබීමටද සමත් වූහ.

පොඩ්ඩෝ සිය වැඩ කිඩ ඒ අයුරින් පෙන්නන කල මධ්‍යම පංතික ලොකු පොඩ්ඩෝද සිංහ සෙයියාවෙන් බියර් හා ස්‌ටවුට්‌ වර්ග පානය සම්බන්ධයෙන් මෙසේ වාර්තා තැබූහ. 2006 වසරේදී බීර මලින් රොන් බිවූ කස්‌ටිය ලීටර් මිලියන 51.9 කට වගකී අතර, 2010 දී ලීටර් මිලියන 69.9 ක්‌ දක්‌වා ප්‍රමාණය වැඩිකර ගනිමින් "ඕවත් වැඩද මල්ලී" "ඕවත් වැඩද"" කියා අපට පෙන්නූහ.

රා, අරක්‌කු සහ බියර් බොන අය තම තමන්ගේ කුසලතා (රටේ, දැයේ සමයේ අකුසලතා) එසේ පෙන්වන කල ඉහළ මධ්‍යම හා සුපිරි පැලැන්තියේ විස්‌කි, බ්‍රැන්ඩි සහ වයින් බොන අයද නිකං සිටියේ නැත.

මුළු රටේම, වයින් වර්ග ලීටර් 375,739 ක්‌ 2006 වසර තුළ පමණක්‌ පානය කළ මේ උදවිය 2010 වසරේදී ලීටර් 395,892 ක්‌, වයින් වර්ග පානය කොට තමන්ගේ මහේශාක්‍යභාවය රටටම පෙන්නූහ.

අපට ලැබුණ වාර්තාවලට අනුව කොළඹ, ගම්පහ සහ යාපනය යන දිස්‌ත්‍රික්‌ක තුන අතුරෙන් සෑම අතින්ම බීමේ ඉහළම වාර්තාව තබා ඇත්තේ කොළඹ ගෙන්දගම් පොලවේ අයියලාය.

රට පුරාම තිතට මත මේ ආකාරයෙන් සිදුවන විට ඊට සාපේක්‍ෂව දේශීය ඇල්කොහොල් නිෂ්පාදනයද වර්ෂ 2009 ට සාපේක්‍ෂාව වර්ෂ 2010 දී සෑහෙන සංවර්ධනයක්‌ පෙන්නුම් කර ඇත.

2009 වසරේදී අරක්‌කු ලීටර් මිලියන 41 ක්‌ දේශීයව නිෂ්පාදනය කළ අතර එය වර්ෂ 2010 දී ලීටර් මිලියන 49 ක්‌ විය. මේ අතර බීර නිෂ්පාදනය වර්ෂ 2009 දී ලීටර් මිලියන 55.5 ක්‌ වූ අතර 2010 දී ලීටර් මිලියන 71.3 ක්‌ දක්‌වා ඉහළ නැංවීමට අපේ "කාඩ්බෝඩ් සිංහයෝ" ඉඩහසර සලසාදී තිබිණි.

රටපුරා අවසර ලත් මත්පැන් අලෙවි සැල් 3200 ක්‌ හරහා මේවා බෙදාහරින කල මේ ගණන් හිලව්වලට ඇතුළත් නැති සංඛ්‍යාලේඛන නොමැති හොර සුරා පලවල් 200,000 ක්‌ හරහා අපේ කස්‌ටිය මොන "බීමක්‌" බොනවාද කියා ඔබම සිතා බලන්න.

මේ අයුරින් මුළු ධර්මද්වීපයම තැබෑරුමක්‌ බවට පත්වීගෙන යන කල දැහැමෙන් "සෙමෙන්" රට පාලනය කරන ඇත්තෝද, දේශපාලන බණ කියන හෙල උරුමයේ ඇත්තෝද, රටේ පාලනයට හවුල්වී සිටින රටකට මත් වතුරෙන් රජයට ලැබෙන ආදායමද සුළු පටු නොවේ. වර්ෂ 2007 දී පමණක්‌ සුරාබදු ආදායම රුපියල් බිලියන 27 කි. කාටද ආඩම්බර? (2010 ගැන කියනුම කවරේද?) ඔබගේ කාරුණික අවධානය පිණිස ඉහත දත්තයන් ලියුම්කරු ගෙනහැර පෑවේ මුළු රටම ගිලගන්නා මත් උවදුරට එරෙහිව ක්‍රියාකිරීම කෙතරම් අසීරු කටයුත්තක්‌ද කියා පෙන්වා දීමටය. එහෙත් මේ අසීරු කටයුත්ත ජාතික වගකීමක්‌ යෑයි සිතා කටයුතු කරන කවර පුද්ගලයකු හෝ වේ නම් ඒ අතිශයින් අගය කළ යුත්තෙකි.

කැකිරාව දිසා රෝහලේ මනෝවෛද්‍ය දොස්‌තර අසිත කෝසල යනු සැබවින්ම හිපොක්‍රැටික්‌ පරපුරේ වෛද්‍යවරයෙකි. ඊට කදිම නිදසුනක්‌ වන්නේ කැකිරාව දිසා රෝහලේ පහේ වාට්‌ටුවය. වර්ෂ 2012 මාර්තු 21 දා විවෘත කළ මෙම වාට්‌ටුව සැබැවින්ම රෝහලේ ඇති අනෙකුත් වාට්‌ටු හා සසඳන විට අපට දැනෙන්නේ ගෙදරක විසිත්ත කාමරයකට ගියාක්‌ වැනි හැඟීමකි.

ජර්මනියේ කින්ඩ හෙල්ප් ශ්‍රී ලංකා (Kinder Helper Sri Lanka Foundation) පදනමේ උප සභාපති Ivor Vancuy lenburg මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් නවීකරණය කළ එම 5 වාට්‌ටුවට ප්‍රදේශයේ දානපතියන්ගේද ආධාරය ලැබිණි.

මනෝචිකිත්සක වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යවූ රෝගීන්ද විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහාද කැකිරාව දිසා රෝහලේ මෙම සුන්දර වාට්‌ටුව වෙන්කොට තිබේ. එය දොස්‌තර හොඳ හිතගේ (දොස්‌තර අසිත කෝසල) වාට්‌ටුවය.

මනෝ වෛද්‍ය අසිත කෝසල මහතාට අනුව කිසිම රෝගියකු බලහත්කාරයෙන් මෙම වාට්‌ටුවට ඇතුළත් කරගනු නොලැබේ. එමෙන්ම තවත් අයකුගේ බලපෑම මතද රෝගීන් ඇතුළත් කරගනු නොලැබේ. අදාළ රෝගියා තුළ ස්‌ව කැමැත්තක්‌ ඇතිකොට ස්‌වෙච්ඡාවෙන්ම රෝගියා රෝහල වෙත ගෙන්වා ගැනීම වෛද්‍ය අසිත මහතාගේ ක්‍රමවේදයයි. මේ සඳහා එතුමාට සහයවීමට දැවැන්ත සම්බන්ධීකරණ ජාලයක්‌ ඇත. මෙම මිනිස්‌ ජාලය, පවුල් සෞඛ්‍ය සේවිකා, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ග්‍රාමසේවා නිලධාරී සමෘද්ධි නිලධාරී යන රාජ්‍ය සේවා යන්ත්‍රය සේම ප්‍රදේශය තුළ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන, ග්‍රාමසංවර්ධන සමිති, මරණාධාර හා සමාජ සුබසාධන සමිති හරහාද වෛද්‍ය අසිත මහතාට තොරතුරු ලබාදේ. ඉහත කී ජාලගත සම්බන්ධීකරණ ක්‍රියාදාමය හරහා ලැබෙන ආරාධනා අනුව ජනතාව හමුවට යන මෙම තරුණ වෛද්‍යවරයා ජනතාව දැනුවත් කිරීමේ දැවැන්ත මෙහෙවරක යෙදී සිටී.

මේ වනවිට අනුරාධපුර පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලය හරහා විධිමත්ව මත් උවදුරින් රජරට ජනතාව බේරාගැනීමේ අසිරිමත් වැඩසටහනක්‌ ක්‍රියාත්මකව පවතී. මේ සියලු කටයුතු අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය දොස්‌තර වජිර ධර්මවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරෙන අතර පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ දොස්‌තර අතපත්තු, වෛද්‍ය කීර්ති සමරවික්‍රම, වෛද්‍ය පාලිත බණ්‌ඩාර යන අයගේ පූර්ණ සහය ද, තමන්ට මහත්වූ ශක්‌තියක්‌ බව රටට බත සපයන අහිංසක ගොවි ජනතාව මත් රකුසාගෙන් බේරාගනු වස්‌, උඩුගං බලා පිහිනීමට වෙර දරන කැකිරාව දිසා රෝහලේ මනෝ වෛද්‍ය දොස්‌තර අසිත කෝසල තරුණ වෛද්‍යවරයා, රුපියල් ශත පසුපසම දිවයන ශයිලොක්‌ පරපුරේ දොස්‌තර මහත්වරුන්ට සහ නෝනලාට නැවත හිපොක්‍රැටික්‌ පරපුරේ වෘත්තිකයන් බවට පත්වීම උදෙසා පූර්වාදර්ශයක්‌ම වේවා!

ජයන්ත විඡේසිංහ
ඡායාරූප - කීර්ති අමරසේකර



Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03656 seconds with 11 queries