ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel the World
Reload this Page ඉන්දියාවේ දින 15 ක් !!!
Reply
 
Thread Tools
(#1)
Old
Travz Travz is offline
Senior Member
Travz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of light
 
Posts: 196
Join Date: Aug 2018
ඉන්දියාවේ දින 15 ක් !!! - 08-22-2018, 02:59 AM

මගේ සංචාරය ඉන්දීය සංචාරය. ජායාරුප සහිත විස්තරය.


මගේ හිතේ කාලයක් තිස්සේ ඕනෑකමක් තිබ්බා ඉන්දියාවේ සංචාරයක නිරත වෙන්න. කොහොමහරි මිට මාස කිහිපයකට කලින් (පෙබරවාරි මාසයේ) මම ඉන්දියාවේ ගිහිං ආවා. මේක දින 15 ක සංචාරයක්.

ගමනට අපි කට්ටිය ඔක්කොම 10 දෙනක් වගේ ගියේ. ඉන්දියාවේ ඉන්න ලංකීක සංචාරක ඒජන්තයෙක් මාර්ගයෙන් තමයි එහෙ සංචාර කටයුතු කලේ. නවතින හොටෙල් නං ඉන්ටර්නෙට් එකෙන් මෙහෙ ඉදන්ම බුක් කරා. සංචාරක නියෝජිතයාත් උදව් කළා එව්වට.

ගමනට මුළු වියදම ගියා එක් අයෙක්ට ලංකා රුපියල් ලක්ෂ දෙක හමාරක් වගේ. ලංකාවේ සිට නවදිල්ලියට යාමට සහ ඒමට ගුවන් ටිකට් පත්, නවදිල්ලියේ සිට වරනාසි (බරණැස් නුවර) වලට ගුවන් ටිකට් පත්, ඉන්දියාවේ ඉදුම් හිටුම්, කෑම බිම, කොච්චි ටිකට්, ප්‍රවාහන පහසුකම්, නේපාල විසා ගාස්තු ඇතුළු සියලු වියදම් මේකට ඇතුලත්.

ඊට අමතරව මම ඉන්දියන් රුපියල් 50,000 ක් වගේ වෙනම අරං ගියා එහෙදී වියදම් කරන්න, පන්සල් වලට එහෙම පුජා කරන්න.

අපි ඉන්දියාවේ ගියේ පෙබරවාරි මාසයේ කිව්වනි. ඒ කාලේ වෙනකොට ඉන්දියාවේ සීත කාලයේ අන්තිම දින කිහිපය වගේ ගත වෙන්නේ. සාමානයෙන් සෙල්සියස් 18-20 ක් වගේ තමයි තිබුනේ. අපි මේ මාසේ ගමන ගියෙත් එව්වත් බලලා.

සාමාන්‍යයෙන් විදෙස් බෞද්ධ සංචාරකයන් දඹදිව වන්දනා කරද්දී පෙබරවාරි අන්තිම වගේ ඉදං ජුනි, ජුලි වගේ වෙනකන් තමයි යන්නේ. අනික මාස වල එහෙ යන්න බැහැ. එක්කෝ අධික සීතල, නැත්තම් අධික උණුසුම. අපි පෙබරවාරි ගියේ ඒ වෙනකොට නැවත සංචාරක ගමන් පටන් ගන්න කාලේ නිසා. එතකොට මාස කිහිපයක් මිනිස්සු ගිහිලා නැති නිසා වන්දනා ස්ථාන වල ,සංචාරක ස්ථාන වල පිරිසිදුකම එහෙම පහුවෙලා යනවට වඩා හොදයි.

අපේ ගමන මෙහෙමයි.

අපි ඉස්සෙල්ලම කටුනායක ඉදං ඉන්දියාවේ නවදිල්ලි ගුවන් තොටුපලට ගියා. මෙහෙන් ගමනට පැය තුන හමාරක් වගේ ගියා. කොහොමහරි උදේ 11 වගේ වෙනකොට නවදිල්ලිට ගියා. ඊට පස්සේ එතන ඉදං ආයේ ප්ලේන් එකේ යන්න ඕනි ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් වල වරනාසි වලට. ඒක පැය එක හමාරක වගේ ගුවන් ගමනක්. හැබැයි බස් එකේ හරි කෝච්චියේ හරි යනවා නං සැහෙන කාලයක් යනවා. කොහොම හරි අපි හවස 6 වගේ වෙනකොට වරනාසි එයාර්පෝර්ට් එකට ගියා.

එතනින් එළියට එනකොට අපිව එක්කන් යන්න අපේ සංචාරක නියෝජිතයා කෙනෙක් එවලා. අපි එයත් එක්ක නවතින හොටෙල් එකට යද්දී හවස 7 වගේ උනා. වරනාසි එයාර්පෝර්ට් එකේ ඉදං එලියට ආවම හරි දුවිල්ල. දිගටම පාරවල්, මෙට්‍රෝ ට්‍රෙන් හදන්න කැනීම් කටයුතු කරනවා. ඒ නිසා මම මාස්ක් එක දාගත්තා. (ඒසී නැති හෝටල්, වාහන වල ගමන් බිමන් අමාරුයි ඉන්දියාවේ. දුවිල්ල වැඩියි.)


මේ පහල තියෙන්නේ පලවෙනි දවසේ නතර උන තැන.



කාමරයට ගිය ගමන් මහන්සි නිසා නාලා කෑම කෑව. අපිට කෑම බිම අපේ ගයිඩ් සපයනවා. අපි ලංකික කෑම තමයි ඉල්ලුවේ. එදා රෑ බත් එකට සුදු බත්, පරිප්පු,ලුණු සම්බෝලයක්, පොල් සම්බෝලයක් තිබුනා. මම මෙහෙන් යද්දී බටු බැදුම්, ලුණු දෙහි වගේ දේවල් පැකට් කරලා අරං ගියා. ඒවත් දාගෙන රෑ කෑම එක කෑවා.



පහුවදා උදේ අපි ගියා යසකුල පුත්‍රයා හා ඔවුගේ යාහළුවන් 54 දෙනා සසුන් ගතවු ස්ථානය හා ඔවුන්ට ධර්ම දේශනා කෙරු ස්ථානය බලන්න.







බරණැස ඉසිපතන මිගදාය කියලා කියන්නේ. කට්ටිය අහලා ඇති. ‘මිගදාය’ කියන්නේ මුවන් සිටින අභයභුමිය කියන එක. ඒ කාලේ ඉදං පැවතගෙන ආපු මුව රංචු අදටත් මෙහි ඉන්නවා දැක ගන්න පුළුවන්.



ඒ වගේම බුදුහාමුදුරුවන් තමුන්ගේ සිවුරු සෝදා ගැනීමට භාවිතා කල රෙදි අපුල්ලන ගලක් මෙහි තියෙනවා. ඒකත් විශේෂ දෙයක්.

මේ ස්ථාන වල අපේ ලංකික ස්වාමින්වහන්සේලා වැඩ සිටිනවා. ලංකික වන්දනා කරුවන් ගියාම මේ ස්ථාන වල ඉතිහාසය ගැන ඉතාම හොද පැහැදිලිකිරීමක් මේ ස්වාමින්වහන්සේලා අපට සිදුකරනවා.




Reply With Quote
(#2)
Old
Travz Travz is offline
Senior Member
Travz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of light
 
Posts: 196
Join Date: Aug 2018
08-22-2018, 03:00 AM

උදේ වරුවේ මේ ස්ථානය බලලා, එතනම තියෙන කෞතුකාගාරයත් බලලා අපි දවල් වරුවේ අපි ගියා බෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් අනගාරික ධර්මපාල උත්තමයන්ගේ කෞතුකාගාරය බලන්න. අදටත් ලංකික අපිට විතරක් නෙමේ, ලෝක වාසි සියලුම බෞද්ධයන්ට ඉන්දියාවේ බුදුදහම හා සම්බන්ධ සියලුම ස්ථාන දැකබලන්නට, වන්දනා මාන කරන්නට හැකියාව ලැබිලා තියෙන්නේ ඒ උත්තමයා නිසා. එතුමන් එහෙදි වින්ද දුක් ගැහැට, මේ උරුමයන් ලබා ගන්නට කරපු කැපකිරීම් ගැන ගරු ස්වාමීන්වහන්සේල පැහැදිලි කරලා දෙනවා.



මේ තියෙන්නේ උඩ පින්තුරේ පේන්නේ සම්මුඛ චෛත්‍යය. මේක උඩ ඉදිකිරීමක් කරලා තියෙන්නේ මෝගල් කියන අධිරාජ්‍ය සමයේ. ඒ කාලේ ඉන්දියාවේ බුදුදහම හා සම්බන්ධ බොහෝ ස්ථාන විනාශ කරලා තියෙනවා. ඒ අයම තමයි සම්මුඛ චෛත්‍යය. උඩ මේ වගේ ඒ අයගේ ආගමේ ගොඩනැගිල්ලක් හදලා තියෙන්නේ.

වරනාසි නොහොත් බරණැස කියන්නේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේ අවබෝධකරගත් ධර්මය ප්‍රථමයෙන් දේශනා කරපු ප්‍රදේශය.ධම්මචක්කපවත්තන සුත්‍රය දේශනා කරපු ස්ථානය. ඒ සම්ප්‍රදාය ආරක්ෂා කරගනිමින් අදටත් හවස 6 ට ස්වාමින්වහන්සේලා මෙතැනදී ධම්මචක්කපවත්තන සුත්‍රය දේශනා කරනවා. පහල පින්තුරයේ තියෙන්නේ ඒක.



මේ පහල තියෙන්නේ පස්වග මහනුන්ට ධර්මය දෙසු ස්ථානය. සිංහල භාෂාවෙනුත් හැදින්වීමක් තියෙනවා දැකගන්නට පුළුවන්.





අපි මෙතැනදී හවස 6 ට ධම්මචක්කපවත්තන සුත්‍රයටත් සවන් දීලා හවස ගියා හෝටලයට නතර වෙන්න. එදා නතර උනේ මෙතන.



තුන්වෙනි දවසේ උදේ හයයි තිහට වගේ පිටත් උනා කොසඹෑනුවරට යන්න. කොසඹෑනුවර කියන්නේ බුදුහාමුදුරුවෝ වැඩ සිටපු ස්ථානයක්. ඒ වගේම තවත් වැදගත් කරුණක් මෙතන සදහන් වෙනවා. ඒ තමයි මේ ස්ථානයේ තියෙන වෙහෙරේ තිබුනයි කියනවා සඳුන් ලීයෙන් හැදූ බුද්ධ ප්‍රතිමාවක් . මේ පිළිමේ විශේෂත්වය තමයි මේක බුදුහාමුදුරුවන්ගේ ජීවමාන රුව ඇසුරින් සාදපු එකක් වීම. ඒ කියන්නේ මේ පිළිමේ හදලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ සැබැවින් දුටු යුගයේ. අන්න ඒ නිසා මේ පිළිමේ බුදුහාමුදුරුවන්ගේ සැබෑ ස්වරුපය, පෙනුම ඇති කියලයි සදහන් වන්නේ. මේ පිළිමේ අදටත් මේ බිමේ යටවෙලා ඇති කියලා විශ්වාශ කරනවා. හැබැයි මේක හොයන්න විදියක් නැහැ. මොකද ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවගේ ඉන්න හින්දු බමුණු කුලයේ ඉහල නිලධාරීන් ඉඩ දෙන්නේ නැහැ.


කොහොම හරි අපි උදේ වරනාසි වලින් පිටත් වෙලා කොසඹෑනුවරට යනකොට දිවා අහාර වෙලාව. අපි කෙලින්ම ගියේ එතන තියෙන අපේ ලංකාවේ පන්සලට. පන්සලේ හාමුදුරුවෝ අපිව ඉතා ආදරයෙන් පිළිගත්තා. අපේ රටින් ඈත, වෙනින් රටක, වෙනින් ආගම් අදහන පිරිසක් මැද ඉන්න මේ ස්වාමීන්වහන්සේලාට ලංකික අපි දැක්කම ගොඩක් සතුටුයි. මුලදී පොඩියට පටන් ගත්තු අපේ ලංකාවේ පන්සල තමයි දැන් දියුණු වෙලා ඒ අවට අබෞද්ධ මිනිසුන්ටත් විශාල සේවයක් කරන්නේ. පන්සලෙන් තමයි මේ අවට ළමයිටත් අධ්‍යාපනය ලබා දෙන්නේ.






අපි ඉස්සෙලම කෑම කෑව. අපේ ගයිඩ් කෑම ගෙනල්ල තිබ්බා. එයා උදේ පාන්දර නැගිටලා කෑම හදලා බස් එකේ අරං ඇවිල්ල තියෙන්නේ. අපි ඒවා කෑවේ. පන්සලේ හාමුදුරුවෝ දිවා ආහාරයට සාදාගෙන තිබුන ව්‍යංජනත් අපිටම දුන්නා. ඒ පාර මම ලංකාවෙන් යද්දී අරං ගියපු ලුනුදෙහි, කට්ට සම්බෝල පැකට් ටිකක් හාමුදුරුවන්ට පුජා කලා.


දවල් කෑම කාලා අපි ගියා මෙතන තියෙන රජ මැදුර බලන්න. ගඟ අයිනේ හරිම ලස්සන ස්ථානයක්. අතීතයේ ඉතා සශ්‍රික ප්‍රදේශයක් උනාට වර්තමානයේ ජන ශූන්‍යයි. මෙහි සිටි රජතුමා හවසට මෙම සඳළුතලයේ ඉදං ගඟ දිහා බලන් ඉන්නට ඇති.







මේ තියෙන්නේ මෙම ප්‍රදේශයේ තියෙන අශෝක කුලුන. අශෝක කුලුන කියන්නේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ බලයේ සංකේතය වගේ එකක්. ඔහු ඔහුගේ පාලනය සහිත ස්ථාන වල ගලෙන් නිමවූ මීටර් 15 ක් පමණ උසැති මෙවැනි අශෝක කුළුණු පිහිටුවා තිබෙනවා. මෙහි මුදුනේ තියෙන්නේ සිංහ රූප. මේ අශෝක කුළුණු බොහොමයක් මෝගල් අධිරාජ්‍ය සමයේ කඩා බිඳ දමා තිබෙන්නේ.



ඉන්න ඉතින් අපි මේ ස්ථානයත් දැක බලාගෙන පිටත් උනා බුද්ධගයාවට යන්න. එහෙ නතර උන ස්ථානය තමයි පහල ෆොටෝ එකේ තියෙන්නේ.



අපේ ගමනේ හතර වැනි සහ පස් වැනි දවස් දෙක අපි නතර උනේ බුද්ධාගයාවේ. ඒ අවට තමයි සිදුහත් කුමරු දුෂ්කරක්‍රියා කරපු දුර්ගේෂ්වරී කියන ස්ථානය, සුජාත දේවිය කිරිපිඬු පුජා කෙරු ස්ථානය, කුස තන පුජා කෙරු ස්ථානය තියෙන්නේ. ඒ ටික තියෙන්නේ නේරංජනා ගඟෙන් එක් පසෙක. අපිත් බුද්ධාගයාවේ හිටපු දවස් දෙකෙන් මුල් දවසේ මේ ස්ථාන නැරඹුවා.

පහල තියෙන්නේ ගංගා නම් ගඟ. මේ ගඟ කිලෝ මීටර් ගණනාවක් පළලයි. මේ කාලේ නම් වතුර අඩුයි. මේකේ මැද මිනී පුළුස්සනවා අදටත් දැක ගන්නට පුළුවන්.



පහල පින්තුරේ පෙනන පුංචි කුටියේ තමයි සිදුහත් කුමරු වසර ගණනාවක් දුෂ්කරක්‍රියා කලේ. ඉතාම පුංචි කළුවර ගුහාවක්.





පහල පින්තුරෙන් පේන්නේ මේ දුර්ගේෂ්වරී කන්ද මුදුනේ ඉදං බැලුවම අවට පෙනන විදිය.



දුෂ්කරක්‍රියා කරලා සත්‍යය අවබෝධ කරගන්නට බැරි බැව පසක් උන සිදුහත් කුමරු මධ්‍යම ප්‍රතිපත්තිය අනුගමනය කරමින් වැඩ සිටිනා විට සුජාත දේවිය කිරිපිඬු පුජා කෙරු ස්ථානය පහලින්.



ගගේ අනික් පසේ තියෙන සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වූ ස්ථානය, සත්සතිය ගත කෙරු ස්ථාන වගේ තැන් අනික් දවසේ බැලුවා, වන්දනා කරා, සිල් සමාදන් උනා. අපේ ගයිඩ් අපිට දානේ ගෙනත් පුජා කරා. මෙතන ශ්‍රී මහා බෝධිය ලගට එහෙම ෆෝන් ගෙනියන්න දෙන්නේ නැහැ. කැමරා එක නං ටිකට් එකක් අරං ඇතුලට ගෙනියන්න පුළුවන්. එත මම එතන ෆොටෝස් ගත්තේ නැහැ. එදා සිල් අරං හිටපු නිසා කැමරා එක අරං ගියෙත් නැහැ. ආගමානුකූල හිටියේ දවසේම.


බුද්ධාගයාවේ ඉලෙක්ටි‍්‍රක් ත්‍රිවිල් තියෙනවා. අපි හෝටලයේ ඉදං එහෙ මෙහෙ ඇවිද්දේ ඒවායේ. ත්‍රිවිල් එකක හත් දෙනෙක් වගේ යනවා. එක්කෙනෙක් ඉන්දියන් රුපියල් 10 ක් වගේ දුන්නම ඇති ටවුමේ එහෙට මෙහට යන්න.
Reply With Quote
(#3)
Old
Travz Travz is offline
Senior Member
Travz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of light
 
Posts: 196
Join Date: Aug 2018
08-22-2018, 03:00 AM

අපි හය වෙනි දවසේ උදේ බුද්ධගයාවේ ඉදං රජගහනුවරට ගියා.

ඒ අය අතරමග ගැල් එරුණු ස්ථානය බලා ගන්නට පුළුවන්. (මේ ගැල් එරුනේ බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයක් නිසා, ඇතිවෙන්නට ගිය යුද්ධයක් වලක්වන්න.)



රජගහනුවර තමයි ගිජ්ජකූට පර්වතය, අටානාටිය සුත්‍රය දේශනා කෙරු ස්ථානය,බිම්බිසාර රජු හිර කෙරු ස්ථානය, බුදුරජාණන් වහන්සේගේ වෛද්‍යවරයා වූ ජීවක වෛද්‍යවරයාගේ බෙහෙත් උයන එහෙම තියෙන්නේ.



මෙතන ගිජ්ජකූට පර්වතය මුදුනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගුහාව, ආනන්ද හිමි වැඩ සිටි ගුහාව ආදිය තියෙනවා. බිම්බිසාර රජු හිරගෙයි ඉද්දි, ඈත කන්ද මුදුනේ බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා බලන් සිටියා කියා කියවෙනවා. මේ ස්ථාන පැහැදිලිව බලාගන්නට පුළුවන්.

පහල ෆොටෝ එකේ තියෙන්නේ බිම්බිසාර රජු හිරකර සිටි හිරගෙය, පිටිපසින් පේන කඳු ගැටය මුදුනේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ.



කඳු ගැටය මුදුනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු ස්ථානය තමයි පහල ෆොටෝ එකේ තියෙන්නේ.





ඊළගට අපි නාලන්දා සරසවිය බලන්න යන්න පිටත් උනා. මේ ගමනේදී අපි ගියා උණුවතුර ලිං බලන්න.


මගේ ජිවිතයේ දැක්ක ගොඩක් කණගාටුම දර්ශනයක් දැක්කේ එදා. ඉන්දියාව කියන්නේ දිව්ලොව වගේම අපාය කියන ඒකත් තේරුනේ එදා.

ඒ තමයි මේ උණුවතුර ලිං තියෙන ප්‍රදේශයේ බ්‍රාහ්මණ කුලයේ වගේ උසස් යයි කියන අය වගේම අය සහ ශුද්‍ර වගේ පහත් යයි සම්මත කුල වල අය වාසය කරනවා. ඉතින් මේ බ්‍රාහ්මණ අය උණුවතුර ලිං වලින් උනන වතුර නාලා, රෙදි සෝදලා, තමුන්ගේ සත්තු නාවලා එන වතුර ටික පොඩි කාණුවකින් එතම අඩි දෙක තුනකින් පහල තියෙන පොකුණකට හරවලා තියෙනවා. ඒ අපිරිදු වතුර ටික තමයි අර පහත් යයි සම්මත කුල වල මිනිස්සු භාවිතා කරන්නේ. මේ තියෙන්නේ බ්‍රාහ්මණ අය නාන තැන.



පහල තියෙන්නේ ඒ අපිරිසිදු වතුර අනික් අය භාවිතා කරන විදිය.



මේ බ්‍රාහ්මණ අය නාන තැනට ලංකාවේ අපිට නං යන්න පුළුවන්. හැබැයි ඉන්දියාවේ ඉන්න කුල හීන කෙනෙක් ගියොත් මැරුම් කන්න තමයි වෙන්නේ. අපිත් එක්ක හිටපු ඉන්දියන් ගයිඩ් ආවේ නෑ එතෙනට. එයත් එහෙම වෙන්න ඕනි. එයා ඈත ඉදං පෙන්නලා අපිට කිව්වා ගිහිං බලන්න කියලා. අපි ඇතුලට ගියාම අපිට නං මේ හෝලි වෝටර් කියලා බ්‍රාහ්මණ කෙනෙක් පැන් කැන්ඩියකින් අරං දුන්නා. ලංකාවේ අයට සැලකිල්ලක් තියෙනවා.

අපි මේ ටික බලලා ඊළගට එදා දවල් වෙනකොට ගියා නාලන්දා සරසවිය බලන්න. මේක නම් මාර පුදුම නිර්මාණයක්. නාලන්දා සරසවිය කියන්නේ මිට අවුරුදු දෙදහකට වගේ කලින් තිබුන බෞද්ධ සරසවියක්. මෙහි බිත්ති එහෙම අඩි 10 කටත් වඩා ගනකම්. එහෙම හදලා තියෙන්න රස්නේ කාලෙට ඇතුලට රස්නේ නොයෙන්නත්, සීත කාලෙට ඇතුලේ උණුහුම ආරක්ෂා වෙන විදියටත් එක්ක. දහස් ගණන් බෞද්ධ පොත පත, භික්ෂුන් වැඩ සිටපු ඇති දැවැන්ත ගොඩනැගිලි සංකිර්ණයක්. කාමර දහස් ගණනක් තිබිලා තියෙනවා. හැබැයි මේකටත් මෝගල් අධිරාජ්‍ය සමයේ ගිනි තබා විනාශ කරා. මෙහි ඇතිවූ ගින්න මාස ගණනක් තිබුනයි කියා සදහන් වෙනවා. මෙම ස්ථානයේ මගපෙන්වීම් සිදුකරන අය ඉන්නවා. සිංහල භාෂාව කතා කරනා කෙනා තමයි අපි තොර ගත්තේ. සුළු මුදලක් ගෙව්වම මෙය ඇවිත් සම්පුර්ණ විස්තරයේ පැහැදිලි කරලා දෙනවා.





නාලන්දාව අවට තියෙන ඉන්දියනු පලතුරු බිම කඩයක් පහල ෆොටෝ එකේ





සින්දු කියන ළමයෙක්..


අපි එදා හවස් වෙනකන් මේ ටික බලලා, දිවා ආහාරයත් එහිදීම අරං බිහාර් ප්‍රාන්තයේ වයිශාලෙයි- කුසිනාරා නුවරට ගියා. එදා හිටියේ මේ කාමරේ. මේක කුසිනාරා වල තියෙන ලංකාවේ පන්සලේ තැන.



දැන් ගමනේ හත්වෙයි දවසේ උදැසන. අපි වයිශාලෙයි අවට තියෙන ස්ථාන නැරඹුවා. මෙතන තියෙනවා විශේෂ අශෝක කුළුණක්. මෙහි ඇත්තේ එක් සිංහයෙක්ගේ රුව. සිංහයා බොහොම දුක් මුසුව ඉදිරිය දිහා බලන් ඉන්නේ. මෙතන කතාව මේකයි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑම සදහා පිරිනිවන් මංචකයට වැඩම කලේ මෙහි සිටයි. මේ සිංහයා දුක් මුසුව, කම්පා වී බල සිටින්නේ ආයේ මට බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙන්නේ නෑ, මෙම මම උන්වහන්සේ දකින අවසන් අවස්ථාව කියා සිතමින්. බුදුරජාණන් වහන්සේ ඈත නොපෙනී යනතෙක් සිංහයා බලන් සිටි අයුරුයි මෙම කුලුනෙන් නිර්මාණය වන්නේ. ඉන්දියාවේ ඉතිරිව ඇති අශෝක කුළුණුවලින් වලිනුත් එකක් මෙයයි. මේ කුළුන ඒ කාලේ සිටි බෞද්ධයන් රැක ගෙන තිබෙන්නේ මෙම කුලුනේ උසටම මීටර් ගණනාවක් උස පස් කන්දක් ගොඩ ගසා කුළුන එයින් වසා දමා ආවරණය කර ගෙනයි.





මෙහි ඇති ලංකික පන්සලේ ගරු ස්වාමින් වහන්සේලා මෙම සියලු විස්තර කියා දෙනවා.







අපේ ස්ථාන දැක බලාගෙන හවස් වෙනකොට ගියා නේපාලයට. මොකද සිදුහත් කුමරු උප්පත්තිය ලැබූ ලුම්බිණිය තියෙන්නේ නේපාලයේ.

ඉන්දීය, නේපාල බෝඩර් එකේ පැයක් දෙකක් ඉන්නත් වෙනවා. මොකද අපි විසා ගන්න එපයි නේපාලයට යන්න. ඉන්දියන් අයට නං ඒ ප්‍රශ්නේ නැහැ. ඉන්දීය රජය සහ නේපාලය ගිවිසුම් අත්සන් කර තියෙන නිසා ඒ අයට මේ රටවල් දෙක අතරේ ගමනය පහසුයි කියලයි ගයිඩ් කිවේ.



කොහොම හරි මේ බෝඩර් එක හරහා තමයි නේපාලයට වගේම අනිකුත් රටවලටත් ඉන්දියාවේ සිට ට්‍රක් රථ මගින් බඩු භාණ්ඩ ගෙනියන්නේ. කාර්යබහුල, දුවිලි සහිත ස්ථානයක්. රෙදි පිලි, හට්ටි මුට්ටි වගේ බඩු භාණ්ඩ වල මිල අඩුයි මෙහි ඉන්දියන් සීමාව ඇතුලේ. මෙහි ආගමන විගමන නිලධාරීන්ට එක් පාස්පෝට් එකකින් ඉන්දීය රුපියල් 200 ක්‌ වගේ මුදලක් පාගා වශයෙන් දෙන්න ඕනි. එහෙම දුන්නම ඉක්මනට යවනවා.නැත්තන් දවසක් විතර ඉන්න වෙනවා මෙතන. ලංකාවේ මිනිස්සු ඇවිත් පැය 6-7 එහෙම ඉන්නවා. සල්ලි වියදම් කරන්න පුළුවන් නං කොහෙත් නීතියෙන් රිංගන්න පුළුවන් නේද?

අපි එදා නේපාලයට ගිහිං එහෙ නතර උනා. මේ නතර උන කාමරය, ඊට පස්සේ නාලා එහෙම එලියට ගියා කන්න. නේපාලයේ තියෙන විශේෂත්වය තමයි ඕනි පොඩි පෙට්ටි කඩේක උනත් මත්පැන්, බියර් තියෙනවා විකුනන්න. ලංකාවේ සිසිල් බිම විකුනනවා වගේ.







නේපාලයේ අපි හිටපු ලුම්බිණිය අවට නං සීතල වැඩියි. සෙල්සියස් 12 ක්‌ වගේ වෙන්න ඕනි.


ගමනේ අටවෙනි දවසේ උදේ අපි නේපාලයේ, ලුමිබිණි සල් උයන, සිදුහත් කුමරු උප්පත්තිය ලැබූ ස්ථාන එහෙම බලන්න ගියා. මෙතන කැණීම සිදුවනවා. ඒ වගේම සිදුහත් කුමරු උප්පත්තිය ලබා තැබූ මුල්ම අඩි සලකුණ සිහිවන්නට මීට අවුරුදු 2300 කට වගේ කලින් පිහිටවපු කුඩා අඩි සලකුණක් සටහන් වන පුවරුවකුත් මෙහි කැනීම් වලින් සොයාගෙන, එම ස්ථානයේ තැන්පත් කර තියෙනවා.






අපි ස්ථාන බලාකියා ගෙන ආයේ අර ඉන්දීය බෝඩරය හරහා ඉන්දියාවට ඇතුල් වෙලා කපිලවස්තු වලට ගියා.




Reply With Quote
(#4)
Old
Travz Travz is offline
Senior Member
Travz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of light
 
Posts: 196
Join Date: Aug 2018
08-22-2018, 03:00 AM

සිදුහත් කුමරුගේ ගම් පළාත තමයි මේ.







මෙහි තමයි සිදුහත් කුමරුට රම්‍ය, සුරම්‍ය,සුභ කියන මාලිගා තුන හදලා දුන්නේ.. මේ මාලිගා වල නටබුන් අදටත් තියෙනවා. මාලිගා තුන එක ලග තියෙන්නේ. හැබැයි විවිද ආකාරයට හදලා තියෙන්නේ. උණුසුම් කාලයට ඉන්න හදපු මාලිගයේ මැද ලිඳක් තියෙනවා. එයින් සිසිල අරං මාලිගාව සිසිල් කරලා තියෙන්නේ. මේ ලිඳ එහෙම අදටත් බලාගන්න පුළුවන්. මේකේ වතුර තියෙනවා. අරං බැලුවම අයිස් වගේ සීතලයි.




අනෙකුත් මාලිගා දෙකත් ඒ ඒ දේශගුණයට ඔරොත්තු දෙන්න හදලා තියෙන්නේ.
ඒ වගේම ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වලට වඩා මෙහි දේශගුණික සෞම්‍යයයි. සුළඟ උනත් හරි සනිපයි. බුදුහාමුදුරුවෝ සදහන් කරා කියවනි තමුන්ගේ ගම් පළාත වන මේ දිශාවෙන් හමා එන සුළගේ පවා පහසුවක් තියෙනවා කියලා. කොහොම උනත් මෙහි දේශගුණය නම් ඉතාම යහපත්.

මෙව්වත් බලාගෙන අපි ගියා උත්තර ප්‍රදේශ් වල ශ්‍රාවස්ති කියන ප්‍රදේශයට. එදා හිටියේ මේ කාමරේ.



මට යාලුවෙකුත් හම්බ උනා..



මේ ශ්‍රාවස්තිය අවට තමයි ජේතවනාරාමය තියෙන්නේ. බුදුහාමුදුරුවෝ අවුරුදු 19 වැඩ වාසය කරපු ස්ථානය. මෙහි දැක ගන්නට පුළුවන් බුදුහාමුදුරුවන්ගේ කුටිය, ධර්ම දේශනා කෙරු ධර්ම ආසනය, ආනන්ද බෝධිය වගේ බොහෝ ස්ථාන. බුදුරජාණන් වහන්සේ පැන් ලබා ගත් ලිඳත් දකින්නට පුළුවන්. ඒ වගේම අනේපිඩු සිටු මැදුර, සිවලි හිමියන් වාසය කෙරු ස්ථානත් දැකගන්නට පුළුවන්.



බුදුහාමුදුරුවෝ වසර 19 ක්‌ වාසය කරපු කුටිය තමයි මේ පහල ෆොටෝ එකින පේන්නේ. අඩි 10 *10 වගේ බොහොම සාමාන්‍ය කුටියක්‌. උන් වහන්ස්ගේ අල්පේච්ඡතාව මෙයින් පෙනෙනවා.



ඒ වගේම මෙහිදී තවත් ස්ථානයක්‌ තියෙනවා බලා ගන්නට. ඒ තමයි දෙව්දත්තෙර පොලොව පලාගෙන අපායට ගිය තැන. මේක බලන්න පුළුවන් ශ්‍රාවස්තියේ ලංකා පන්සලේ ඉහල මාලයට ගියාම.



පොලව පලාගෙන ගිය ස්ථානය පහලින්.



අපි මේ ස්ථාන වැඳ පුදාගෙන සංකස්සපුරයට ගියා හවස් වෙනකොට. මෙතන තියෙන විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේ වස් තුන්මසක් තව්තිසා දෙව්ලොව වාසය කොට අපහු මේ ලෝකෙට වැඩම කරේ මෙම ස්ථානයෙන් වීම. මෙහි ඇති බුදු පිළිමය පවා නෙලා ඇත්තේ බුදුරජාණන් වහන්සේ අහසේ සිට බිමට වැඩම කරන ආකාරය දිස්වෙන ලෙසයි. මේක විශේෂ බුදු පිළිමයක් ලෙස සදහන් කරන්න පුළුවන් ඒ නිසා.



ඊට පස්සේ අපි හවස් වෙලා එහෙම්ම අග්‍රා වලට ගියා. එහාට යනකොට නං ගොඩාක් වෙලා ගියා. මේක ලොකු දුරක්. හැබැයි ඉන්දියන් රියදුරන් අපේ රියදුරන් වගේ නෙමේ. ඔවුන් එක දිගට කිලෝමීටර් හාර පන්සීය රිය පදවනවා කිසි අපහසුවක් නැතිව. ඔවුන් බාබුල් නමැති විට කන එක තමා කරන්නේ. රට විශාල නිසා එක දිගට පැය හය හත රිය පදවන්න පුරුදු වෙලා ඉන්නේ නොනැවතී. ඉන්දියාවේ පාරවල් ලංකාවේ පාරවල් වගේ හොදත් නැහැ. හයිවේ උනත් පිළිවෙල අඩුයි. නීතිරීති ගරුකරනවා අඩුයි. ඉන්දියන් හයිවේ වල වන්වේ ලේන් එකෙත් ප්‍රතිවිරුද්ධ පැත්තට වාහන ගමන් කරනවා, හයිවේ එක මැදින් මිනිස්සු එහෙට මෙහාට යනව, හිතුන හිතුන තැනින් එලියට යනවා එනවා දකින්නට පුළුවන්. එහෙම ගියත් මේ රියදුරන් අපහසුවකින් තොරව පැය ගණන් රිය පදවන එක නං අගය කල යුතුයි.



පහල තියෙන්නේ ඉන්දියාවේ ඉන්ධන පිරවුම් හලක්. ඒවායේ තෙල් මිල නං අපේ මිලට සමානයි.



ඉන්දීයාවේ පොදු ප්‍රවාහන බස් එකක් සහ දුරගමන් බස් නවත්තන තේ කඩයක්. මෙහෙ වඩාත් ප්‍රචලිත දුම්රිය ගමන තමයි.





ඉතිං අපි අග්‍රා වලට යන අතරමගදී ස්ට්‍රීඩ් ෆුඩ් රස බැලුවා.



එදා රෑ අග්‍රා වල හිටියේ මෙතන.





ඊට පස්සේ අපේ ගමනේ 10 වැනි දවසේ උදැසන. අපි උදේ 7:20 ඒසී කෝච්චියෙන් අග්‍රා ඉදං බෝපාල් වලාට ගියා. අපේ අරමුණ උනේ බෝපාල් ඉදං සාංචි වලට යන එක. ඉතිං උදේ කෑම අපි ගත්තේ කෝච්චියෙදී. කෑම, බිම ඉතාම හොදයි. සුපිරිම දුම්රිය ගමනක් කියලා අවිවාදයෙන් කියන්න පුළුවන්. උදේ කෝච්චියට ගොඩ උනාම බැස්සේ හවස. උදේ ආහාර, දවල් ආහාර, තේ ඔක්කොම කෝච්චියෙන් ලගටම ගෙනත් සපයනවා. ඒවායේ බිලත් ටිකට් එකට ඇතුලත්.
















ඊට පස්සේ අපි සාංචි වලට ගිහිං එහෙ නතර උනා එදා.


සාංචි වල විස්තර කියනවා නං එතන තමයි ලෝ ප්‍රකට සාංචි තොරණ තිබෙන්නේ. හරිම දක්ෂ ශිල්පීන්ගේ නිර්මාණයක්. අද උනත් ඒ තෝරන් වල තියෙන කැටයම් අධ්‍යයන කරනවා නං නිවන් දකින්නට අවශ්‍ය කමටහන් ඒවගෙන්ම ලබා ගන්න පුළුවන් කියලා කියන්නේ.






ඒ වගේම මෙතන ලංකාවේ අපිටත් වැදගත් වෙන තැනක්‌. ඒ තමයි ශ්‍රී ලංකාව ජය ශ්‍රී මහ බෝධිය වැඩමවීමට පෙර මාස ගණනාවක් තැන්පත් කර තිබී ඇත්තේ මෙහි. ඒකට හේතුව මොකක්ද දන්නවද. ජය් ශ්‍රී මහා බෝධිය ලංකාවට ගේද්දී හිතුමතේ ගෙනාවේ නෑ. ඒ බෝ පැලේ මේ සාංචි වල තියලා මාස ගණනක් සාත්තු සප්පායම් කරලා බැලුවා පැලේ වර්ධනය. මේ සදහා මේ ප්‍රදේශය තොර ගත්තේ ලංකාවේ අනුරාධපුර දේශගුණයට සමාන දේශගුණයක් මෙහෙ තියෙන නිසා.

එතකොට පැහැදිලි වෙනවා ඇති ඒ කාලේ ඉතාම දුර දිග බලලා, මාස ගණනක සැලැස්මක්‌ ඇතිවයි ජය ශ්‍රී මහා බෝධිය ඉන්දියාවේ සිට ලංකාවට වැඩම කලේ කියන එක. මේ බෝධිය මෙහි තාවකාලිකව තැන්පත් කරපු ගල් වලින් සෑදු විශාල පාත්තරය පවා අදටත් මෙහි දකින්න පුළුවන්. ඒ වගේම සාංචි තොරණේ එක් චිත්‍රයක තියෙනවා මේ බෝ පැලය නැවේ තියාගෙන ලංකාවට අරං එනවා. නැවට ලංකාවට එන්න පාර පෙන්නන්න මුහුදේ නෙළුම් මල් පිපිලා තියෙනවත් දකින්න පුළුවන්. මේ සියලු කාරණා වෙන්නේ, මේ කැටයම් සදා ඇත්තේ මිට අවුරුදු දෙදහස් ගණනකට උඩදී කියන එකත් අමතක කරන්න එපා. ඒ කියන්නේ බුද්ද පරිනිර්වාණයෙන් වසර දෙසීයක් වගේ ඇතුලත.
Reply With Quote
(#5)
Old
Travz Travz is offline
Senior Member
Travz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of light
 
Posts: 196
Join Date: Aug 2018
08-22-2018, 03:01 AM

මේ විස්තර බලාගෙන අපි සාංචි වලින් පිටත් වෙලා කෝච්චියේ ගියා මහා රාෂ්ඨ ප්‍රාන්තයේ , බුෂාවල් වලට. මහා රාෂ්ඨ කියන්නේ ඉන්දියාවේ අතීතයේ සිට හොද ධනවතුන් සිටි ශශ්‍රීක පළාතක්‌. අපි මඑහෙට ගිය කෝච්චියත් ඒසී එකක්. හැබැයි කෑම නං දෙන්නේ නෑ. අපි වෙනම ගත්තා. ඉන්දියාව කියන්නේ විශාල රටක්‌ නිසා දුම්රිය දින ගනන් ගමන් කරනවා. කිලෝමීටර් 1800 වගේ දීර්ග ගමන් නොනැවතී යන දුම්රිය මෙහි තියෙනවා. අපි කලින් ටිකට් බුක් කරලා තිබ්බේ. ඒ මැදිරි පිරිසිදුයි. ආසනය අවශ්‍ය නම් නිදා ගන්න ඇදන් වගේ සකසා ගන්නත් පුළුවන්. කොට්ට, සීට් ඉතාම පිරිසිදුයි. ඒවා නිතර මාරු කරනවා.





දුම්රියේ වැසිකිලි වර්ග දෙකක් තියෙනවා. ඒ කොමඩ් එක සහ බිම වාඩි වෙන එක. කැමති එකක් භාවිතා කල හැකි. පිරිසිදු කම හොදයි.


අපි බුෂාවල් ස්ටේෂන් එකෙන් බැහැලා නතර වෙන හෝටලයට යන අතරමගදී කෑම කෑව.





එදා රෑ හිටියේ මෙතන.




පහුවදා උදේ අපි ගියා අජන්තා සහ එල්ලෝරා කියන ස්ථාන දෙක බලන්න. අපිට හෝටලයෙන් උදේ කෑම පැකට් හදලා දුන්නා. යන අතර මගදී ඒවා කාලා මේ අජන්තා සහ එල්ලෝරා ස්ථාන දෙක බලන්න ගියා.





එ එකිනෙකට කිලෝමීටර් 100 ක්‌ වගේ දුරින් තියෙන අති විශාල ගුහා සංකිර්ණයක්‌. මේවායේ තනිකරම කළු ගල් හාරලා කරපු පිළිම, විවිද රූප ආදිය තිබෙන්නේ. ලොව ප්‍රකට කාම සුත්‍ර කැටයම් තියෙන්නෙත් මෙහි. ලෝකයේ තියෙන හරිම අපුරු නිර්මාණයක්. මම ලෝකයේ රටවල් කිහිපයකට ගිහිල්ලා තියෙනවා. අජන්තා, එල්ලෝරා කියන්නේ ඒවායින් මම ගියපු අපුරුම ගමන කියන්න පුළුවන්. මේ ගැන විස්තර කරන්න මට වචන නැහැ. එ තරම් අපුරුයි.









තවත් යාළුවෙක් හම්බ උනා. විශාල ගල් තලාව දිවා කාලයේ උණුසුම් වන නිසා වතුර හොයන ඇවිත්.





මේවා බලන අතර තුරේ දවල් කෑම ගත්තා.









හවස් වෙනකං මේ ටික බලලා හෝටලයට ගියා. එදා රෑ කෑම ස්ට්‍රීට් ෆුඩ්.







පහුවෙනිදා උදේ අපි බුෂාවල් ස්ටේෂන් එකට ගිහිං කෝච්චියේ දිල්ලිය බලා පිටත් උනා. මේ ගමන කිලෝමීටර් 1500 ක්‌ දුර ගමනක්. දුම්රියට පැය 22 ක්‌ වගේ ගියා ගමන යන්න. අපි සැහැල්ලු ඇදුම් අරං ගිහිං ඒවා මාරු කරගෙන දුම්රියේ ගමන් කරේ. ඒසී කෝච්චියක්. කැමති නං නිදාගෙන, නැත්තන් වාඩිවෙලා යන්න ආසන හදා ගන්න පුළුවන්. කොට්ට,සීට් සේරම ඉතාම පිරිසිදුව ලබා දෙනවා. කෑම බිම දුම්රියට පැමිණෙන අයගෙන් ගන්න පුළුවන්.



මෙහි තිබෙනවා විවිද ආපන ශාලා වලින් අවශ්‍ය කෑම දුම්රියේ අංකය සහ සීට් නම්බරය පවසා ලගට ගෙන්වා ගැනීමේ ක්‍රමයක්. මේ ඇනවුම් ලබා දෙන ආකාරය ගැන සදහන් දැන්වීම් දුම්රියේ බෙදා හරිනවා. අපිත් එහෙම කෑම ගෙන්න ගත්තා. මේ ට්‍රෙන් සර්විස් එක ඔන්ලයින්, මැප් වලින් බලන්න පුළුවන් නිසා අපි දුම්රියේ අංකය, සීට් එක අදාල ආපන ශාලාවට කෝල් කරලා කිව්වම එයාලා අපේ ඕඩර් එක අරං, ඉදිරි දුම්රිය ස්ථානයකදී ඒවා ලබා දී මුදල් ගන්නවා. එ වගේම විවිද ආපන ශාලා වල සේවකයනුත් සැරින් සැරේ ඇවිත් කෑම ඕඩර් අරං, ඉදිරි දුම්රිය ස්ථාන වලදී උණුසුම්ව ඒවා අතටම ලබා දෙනවා. ඉතා හොද සේවාවක්. පිරිසිදු කම හොදයි. කෑම පිළිවෙලට ඇසුරා ගෙනත් දෙන විදියෙන්ම ඒක හිතා ගන්න පුළුවන්.

කොහොම හරි පැය 22 ක වගේ දීර්ග දුම්රිය ගමනික් පස්සේ පහුවෙනිදා උදේ අපි දිල්ලියට ලගා උනා. එහෙ හිටියේ මේ හෝටලයේ.





පහල තියෙන්නේ ඉන්දියාවේ මගුල් ගෙවල් පවත්වන හෝල් එකක්. මෙව්වා ලස්සනට සරසලා, අලංකාරයට වැඩේ කරනවා මේ අය.






අපි දිල්ලියේ දින දෙකක් ඉදලා එහෙ මෙහා ඇවිදලා, ඉන්දියානු ගමනේ මතකයන් සමගින් ලංකාවට බලා පිටත් උනා.

(ඉන්දියාවේ වන්දනාවේ යනවා නං එහෙ ඉන්න ලංකික ස්වාමීන්වහන්සේලට අවශ්‍ය බිස්කට්, කල් තබා ගත හැකි කෑම ආදිය අරං යන්න. ආයේ මුදල් පුජා කරන්න. රේසරයක් වගේ දෙයක් පුජා කරන්න ඒ පන්සල් වලට. ඒ ඇරෙන්න කසාය පැකට්, අසමෝදගම්,සිද්ධාලේප වගේ දේවල් නං ගෙනියන්න එපා. ඒවා ඕනි තරං හම්බෙනවා. )



නිමි-


Reply With Quote
(#6)
Old
Travz Travz is offline
Senior Member
Travz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of lightTravz is a glorious beacon of light
 
Posts: 196
Join Date: Aug 2018
08-22-2018, 03:34 AM

අමතර ජයාරූප කිහිපයක් පහලින්.

ඉන්දියාව කියන්නේ තේරුම් ගන්න ගොඩක් අමාරු සංස්කෘතිකයක් තියෙන රටක්. මෙහෙ යද්දී දැක්කා දිළිඳු අයගේ පැල්පත් ගෙවල් වල බිත්තියේ ගොම වලින් හදපු රොටි වේලෙන්න අලවලා තියෙනවා. මේ අයගේ කතාවත් දුක්බර එකක්. මේ රටේ මහා විශාල බාර්ලි යායවල්, ලූනු වතු, වී වගා කරන යායවල් තියෙනවා. මේ ඉඩම් ගොඩක් අයිති ධනවතුන් කිහිප දෙනෙක්ට. ඉතිං දිළිඳු අයගේ වැඩේ තමයි මේ පොහොසතුන්ගේ ඉඩම් වල වැඩ කරන එක. ඉඩම සකසලා, වගාව දාලා, අස්වැන්න ලැබුනම පස්සේ පොහොසතා ඇවිල්ලා සියලුම අස්වැන්න අරං යනවා. අර දිලින්දට හිමි වන්නේ වගාවේ පිදුරු ටික තමයි. ඔහු ඒ පිදුරු ටික අරං ගිහිං ඔහු ලග ඉන්න ගවයාට අහාර ලෙස ලබාදීලා, කිරි සහ ගොම ලබාගෙන තමයි ජිවත් වෙන්නේ. ගොම රොටි සදා ගන්නේ සීත කාලයට ගින්දර දල්වා උණුසුම ලබා ගන්නට. ආහාර පිසින්න ගිනි දල්වන්න වගේ දේට.


විශාල බාර්ලි යායක් පහල ෆොටෝ එකේ තියෙන්නේ. මේවා කිලෝමීටර් සියගණන් දුරට දිවෙනවා. ඇතැම් විට එක දිගට දවසක් කෝච්චියේ ගියත් මේ වගේ බාර්ලි වගා තමයි දක්නට ඇත්තේ. ඒ තරම් මේ වතු විශාලයි.





පැල්පත් නිවසක් සහ එහි ඉදිරියේ සිටින ඔවුන්ගේ එකම සම්පත වූ ගවයා..




වියලීම සදහා අව්වේ තබා ඇති ගොම රොටි තමයි පහල ෆොටෝ එකේ තියෙන්නේ



ඉන්දියාවේ තියෙන ලංකාවේ පන්සලක්



පන්සලේ වැඩ වසන ලංකික හිමියන්ගේ නිදන කුටිය. බොහොම දුෂ්කරතා මැද උන්වහන්සේලා මේවායේ රැදී සිටින්නේ ලංකික සහ ලෝකවාසී බෞද්ධයන් වෙනුවෙන්.



දුවිලි කුණාටු මැද්දෙන් ගමනේ..




බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර අවසන් වරට පැන් පහසු වූ ස්ථානය වර්මානයේ දක්නට ඇති අයුරු පහලින්..



කිලෝමීටර් ගණන් දිගට ඇති ලොරි රථ පෝලිම්..



තන්දුරි රොටි හදන ලිපක් සහ එහි සාදපු රොටි පහල පින්තුර දෙකෙන්.





ඉන්දීය දුමිරිය සේවා තුල ආහාර පාන සපයන අවන්හලක දැන්වීමක් පහලින්. මෙහි ඇති මුදල් ලංකා රුපියල් වලින් බැලීමට 2.5 න් පමණ වැඩි කරන්න. ඒ කියන්නේ ඉන්දියන් රුපියල් 10 ක් ලංකා රුපියල් 25 ක් වගේ.



ඉන්දියාවේ ගොඩනැගිලි ඉදිකිරීම් සදහා වැයවන මුදල පහලින්. උඩ එකේ වගේම මේ ගණන් හිලව් 2.5 න් වැඩි කරාම ලංකාවේ මුදල කියාද කියලා දැනගන්න පුළුවන්.



ඒ අනුව සිමෙන්ති කොට්ටයක් ලංකා රුපියල් 1,000 ක් වගේ වෙනවා. අපේ මිලට සමානයි.

හැබැයි බාස් කෙනෙක්ගේ දිනක පඩිය ලංකා රුපියල් 500 යි. අපි මෙහෙ නං බාස් කෙනෙක්ට රුපියල් 3,000 ක් වත් දෙන්න එපයි.

නේපාලයේ හෝටලයක වයිෆයි පාස්වර්ඩ් තමයි පහල ෆොටෝ එකේ තියෙන්නේ.



මේ ඉන්දියන් අය හැම කෑම වේලකටම වගේ කිරි මිශ්‍ර කරගන්නවා. මොකද ගවයන් විශාල ප්‍රමානයක් ඉන්න නිසා කිරි තිබෙනවානි. මේ අපිට දුම්රිය ගමනේදී ලබා දුන්නු කිරි.



අජන්තා ලෙන් වල ඇති කැටයමක්



එල්ලෝරා වල ඇති කාම සුත්‍ර කැටයමක්.



Last edited by Travz; 08-22-2018 at 04:17 AM.
Reply With Quote
(#7)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to all
 
Posts: 5,575
Join Date: Dec 2010
08-22-2018, 03:43 AM

+12
Reply With Quote
(#8)
Old
ek_rosh ek_rosh is offline
Senior Member
ek_rosh is on a distinguished road
 
Posts: 139
Join Date: May 2014
08-22-2018, 04:07 AM

Very nice machan!. Thanks for sharing all the pictures.
Reply With Quote
(#9)
Old
jamiezue's Avatar
jamiezue jamiezue is offline
Senior Member
jamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to all
 
Posts: 5,778
Join Date: Jul 2008
Location: -~උලක් උඩ-~
08-22-2018, 04:41 AM

thank you for sharing !
Reply With Quote
(#10)
Old
mahagedaralaga's Avatar
mahagedaralaga mahagedaralaga is offline
Senior Member
mahagedaralaga has a spectacular aura aboutmahagedaralaga has a spectacular aura aboutmahagedaralaga has a spectacular aura about
 
Posts: 1,014
Join Date: Feb 2008
Location: NEW YORK
08-22-2018, 06:06 AM

සාදු සාදු සාදු සාදු සාදු
Reply With Quote
Reply

Bookmarks

Tags
නමෝ බුද්ධාය, lilman, travel_india

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02174 seconds with 9 queries