තනියම-වැවක්-තනා-අක්කර-තිහක්-වවනා-උපාධිධා&#3515

Pitihum

Well-known member
  • Nov 16, 2016
    1,294
    539
    113
    තනියම-වැවක්-තනා-අක්කර-තිහක්-වවනා-උපාධිධා&#3515

    pg14_0.jpg


    ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ දුෂ්කර ගමකට විදුලිය ලබාදෙන්නට වෙහෙසෙන ඉන්ජිනේරුවෙකුගේ කතාව කියවෙන්නේ “ස්වදේශ්” චිත්‍රපටයේය. සිය බිරිඳ අනතුරට පත්වීමෙන් පසු ඉක්මනින් රෝහලට ගෙන යාමට විශාල කන්දක් වටා යාමට සිදුවීම නිසා බිරිද මියයෑමේ වේදනාවෙන් වසර 25 පුරා තනිව කන්ද මැදින් පාරක් කැපු දිරිය මිනිසෙක් ගැන කතාව කියවෙන්නේ “මන්ජිත්” චිත්‍රපටයේය. පිළිකා රෝගයෙන් මිය යන්නට මාස හයක් ඉතිරිව තිබියදී තනිව ළමා උයනක් හැදූ මිනිසෙක් ගැන කියවෙන්නේ “ඉකුරු” චිත්‍රපටියේය. හැබැයි මේ කතාව කියවෙන්නේ සංඛපාල ගමේ තරුණයෙක් ගැනය.

    ආඩම්බර අහස යලට-මහට දෙන වැහි අල්ලෙන් සෑහී ගොවිතැන් කළ මාපියන් මහපොළව සමඟ ඔට්ටු වෙනවා ඔහු දුටුවේය. තුන්සිය හැටපහට, දින විස්සක්වත් වැහි නොවැටෙන කටුක බිමක අසීරුවෙන් නෙලූ අස්වැන්න පාපැදියේ තියාගෙන දුර බැහැර පොළට ගෙන යන පියාගේ පසුපසින් ඔහුද පියවර තැබුවේය.

    'මේ ජීවිතේ දුකක්. ඒකෙන් අත්මිදෙන්න නම් හොඳට ඉගෙන ගනින්'

    කටු පුප්පා ගත් ඉත්තෑවෙක් තරම් රලු අහස දෙස බලාගෙන අම්මා නිතර දෙවේලේ ඔහුට කීවාය.

    කොළ පාට පරිසරයේ චමත්කාරය එක්ක ජීවිතය මෙල්ල කරගත් ඔහු වඩා රුචි කළේ මහපොළව එක්ක හැප්පෙන ජීවිතයකටය.

    පළමුවර සාමාන්‍ය පෙළ කළ ඔහු විභාගය අසමත්ය.

    'අපේ අම්මලා ජීවිතයේ දුක පතුලටම විඳපු මිනිස්සු.අපිත් දැක්කේ එයාලගේ ඇස් වලින් දැක්ක ලෝකය විතරයි. ඒත් මං පරදින්න කැමති නෑ'

    ඉර බහින එකත් නැවත ඉර නැගෙන එකත් අතර කාල පරාසයේ ජීවිතය සෙවීමේ කාර්‍යය හැරපියා සෙස්සක් ගැන නිනව්වක් නැති ගම්මානයක මිනිසුන් සන්තකව ලොකු සිහින නැත.

    එහෙත් ඔහු ඉන් ඔබ්බට වූ සිහිනයක් නඩත්තු කරමින් සිටියේය.

    'දෙවෙනි වතාවේ සාමාන්‍ය පෙළ හොඳින්ම පාස් වුණා. ඊට පස්සේ උසස්පෙළ කළා. මුල් වතාවේ දි ෆේල්'

    ඔබ මේ කියවන්නේ ව්‍යාපාරික ලෝකයේ ජය කෙහෙලි නැංවූ සිටුවරයෙකුගේ කතාවක් නොවේ. දේශපාලන ලෝකය දිග්විජය කළ දේශපාලකයෙකුගේ කතාවක්ද නොවේ.

    'දෙවෙනි පාර උසස්පෙළ ගොඩ ගියා. මාව කැම්පස් තේරුණා'

    කතානායකයා සිටිනුයේ ඇඹිලිපිටිය සංඛපාල ගමේය. ඔහුගේ නම ප්‍රසාද් හරේන්ද්‍ර කුමාරය. පල්ලේබැද්ද මහා විදුහලෙන් සරසවි වරම් ලබන ඔහු අපට චරිතයක් වන්නේ දුෂ්කර පාරමිතා පුරා රුහුණු සරසවි ගොස් විශේෂවේදී උපාධියක් හදාරා හමාර කළ නිසා නොවේ. අහවර කැලණි සරසවියෙන් පශ්චාත් උපාධිය ගත් නිසාත් නොවේ. විවෘත විශ්වවිද්‍යාලයෙන් පරිසර සංරක්ෂණ විප්ලෝමාව ගත් නිසාත් නොවේ. ඔහු ඒ සියල්ලට වඩා අපූරු වැඩක් කළේය.

    ඒ අක්කර දෙකක වපසරියක් වසා පැතිරෙන නිල්දියවර පිරි 'වැවක්' තැනීමය. 'යල-මහ දෙකට කලාතුරකින් වැටෙන වැහි වතුරෙන් තමයි අපේ දෙමව්පියෝ ගොවිතැන් කළේ. ඒත් හැමදාම අහස අපිට ආදරේ කළේ නෑ. අහස වැස්ස දුන්නේ අහසට ඕන වෙලාවට. ඉතිං දෙමව්පියෝ කළේ අහස දිහා බලන් සුසුම් හෙළන එක.' ප්‍රසාද් කීවේය.

    සරසවියට තේරෙන ප්‍රසාද් එහි යන්නට පෙර සිහිනයක් දුටුවේය.

    'මම ගොවිතැනට ආසයි. ඒක අපේ ලේවලට මුහුවෙච්ච දෙයක්. මට ඕන වුණා කැම්පස් යන්න කළින් ස්ථීර ආදායමක් ගන්න ගොවිතැනක් කරන්න. හැබැයි ඒකට වතුර නෑ.'

    එහෙම සිතූ ප්‍රසාද් වැඩේට බැස්සේ ඉඩමෙහි වන බේසමක හැඩය ගත් කොටස ගැන අලුත් බලාපොරොත්තුවක් තියා ගනිමිනි.

    වියළි කලාපයේ ගංඟා මිටියාවත් ආශ්‍රිතව ජනපද පිහිටවූ ආර්යයන්ට ජනගහනයේ වර්ධනයත් සමඟ ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට සිදුවීම නිසා ඔවුන් වියළි කලාපයෙන් රට තුළට සංක්‍රමණය වූහ. වියළි කලාපයට වර්ෂාව ලැබුනේ වසරකට එක් කාලයකදී වූවත් කෘෂි කාර්මික කටයුතු වලට වසර පුරා ජලය අවශ්‍ය වූයෙන් එම වසරකට වරක් අතිරික්තව ලැබුණු ජලය සුරක්ෂිතව ගබඩා කරගෙන පරිහරණය කිරීමට සිදුවිය. එම අරමුණෙන් යුක්තව වැව් ඉදි කිරීම ඇරඹි බව පැහැදිලිය.

    ඒ අනුව 'වැව' ජීවිතය තරම් සමීප අංගයක්ය.

    ප්‍රසාද් කල්පනා කරන්නේ වතුර නැති ගමට වතුර හොයන්නේ කොහොමද කියලාය. නිරන්තර ඉඩෝරයෙන් හේබාව ගොස් මැලවී යන ළදලු පැළෑටි දෙස බලා සුසුම් හෙලන මිනිස්සු උන්නේ කරකියා ගත හැක්කක් නැතිවය.

    'ඒ වෙනකොට මට සතපහක් අතේ තිබ්බේ නෑ. හැබැයි වැහි කාලේ බලලා, අඩි පහළොවක පස් බැම්මක් දාලා වැවේ ආරම්භය පටන් ගත්තා. දෙයියනේ කියලා වතුර ටික රැඳුනා'

    දිනෙන් දින ප්‍රසාද් 'සිහින මාවතේ' පියමන් කළේය.

    'මොන පිස්සුද,මිනිහෙක් කොහොමද තනියම වැවක් හදන්නේ?'

    'ඕවා හරියන වැඩද,?'

    'උපාධියක් අරන් මොකටද මේ මහපොළවත් එක්ක ඔට්ටු වෙන්නේ?'

    එහෙම කතා ලඟ ප්‍රසාද් නෑසූ කන්ව සිටියේය.

    'කැම්පස් ගිහින් නිවාඩුවට ගෙදර ඇවිත් මම ගොවිතැන් කළා. වැව හදන එකත් කළා. වතුර නැතිව දුක් විඳින මිනිස්සුන්ට ඡන්දෙ කාලෙට පොරොන්දු දෙන දේශපාලන කතා ඕන තරම් ඇහිලා තියෙනවා. හැබැයි වතුරනම් නෑ. ඒත් මගේ වැව ටික ටික හැදෙන්න ගත්තා'

    ප්‍රසාද් කියයි. 2012 ඉඳලා මම වැව හදනවා. මේ වෙනකොට අක්කර දෙකක වැවක් හදලා ඉවරයි.'

    මේ වැවේ විශේෂතා බොහොමයකි. වැවේ පතුල අක්කර දෙක පුරාම එකම මට්ටමෙන් සමතලය. අඩි පහළවක් පළල, මීටර 165ක් පුරා දිවෙන බැම්මකින් යුක්තය. අක්කර දෙකක ජල ධාරිතාවක් වැව රඳවාගෙන සිටී. දැන් වැව් ඉහත්තාවේත්, පහළ සීමාවේත් උප්ලත් පෝෂිතය. මීටර් 500ක් දුරින් පිහිටි කෙත්වතු පවා සාරවත්ය.

    දැන් නිල්ම නිල්පාට දියවරක් දරාගත් අසිරිමත් වැවක් සංඛපාල ගම අරා සිනාසෙමින් සිටී. එගමට හිරු පායන්නේ වැවට ඉහළිනි. හිරු බැස යන්නේ වැවට පහලිනි.

    'කවුද මේකට උදව් කළේ?'

    ප්‍රසාද් වැව් දිය දෙස බලා සිහින්ව හිනැහෙයි.

    'කිසි කෙනෙක් සතපහක් දුන්නෙ නෑ මේ වැඩේට. හැබැයි මගේ යාලුවෝ එයාලගේ යන්ත්‍ර සූත්‍ර ලෝබ නැතිව මට දුන්නා. වෙන කිසි කෙනෙක් උදව් කළේ නෑ. තව දෙයක් කියන්නම ඕන. මේ ඉඩම් සංඛපාල විහාරයට අයිති ඉඩම්. අපි ජීවත් වෙන්නේ ඒ ඉඩම් වල. ඒ විහාරයේ හාමුදුරුවෝ ලොකූ ශක්තියක්' ප්‍රසාද් කියයි.

    'ප්‍රසාද් දැන් අක්කර කීයක් වගා කරනවද?'

    'අක්කර විසිහයක් විතර වගා කරනවා'

    'මොනවද?'

    'අක්කර හතක කෝලිකුට්ටු, ඇඹුල් කෙසෙල් වගාවක් තියෙනවා. අක්කර දෙකක මඥ්ඥොක්කා වගාවක් තියෙනවා. පොල් පැල 600ක් තියෙනවා, ඒවා බොහොමයක් දැන් පීදිලා තියෙන්නේ. තව කෙටිකාලීන බෝග කරනවා'

    'අස්වැන්නට මොකද කරන්නේ?'

    'සමහර බෝග කොටුවෙන්ම පිටරට යවනවා. මඥ්ඥොක්කා කන්ටේනරයක් අදත් රට යැව්වා. තව අලුත් තාක්ෂණය යොදාගෙන අලෙවි ක්‍රම දියුණු කරන්න හිතාගෙන ඉන්නවා'

    අලුත් සියොතුන් රැසක් සේම උරඟයින් රැසක්ද ප්‍රසාද්ගේ වැව නිසා ජීවිතය සොයමින් සිටියි. සරසවිවල විද්‍යාර්ථීන් සමීක්ෂණ සඳහා වැව බලන්නට එයි.

    'කැම්පස් ගිහිල්ලා ඩිග්‍රියක් අරගෙන, ගොවිතැන් කරකර ඉන්න එක තේරුමක් තියෙනවද කියලා කවුරුත් අහන්නේ නැද්ද?'

    'නෑ, මොකද මම කැම්පස් ගියේ ජොබ් කරන්න හිතාගෙන නෙවේ. කොහොමත් මට ඕන වුණේ, හොඳට ගොවිතැන් කරන්න. අනික මේ වැඩ වලදී මම ඉගෙන ගත්ත දේවල් මට ප්‍රයෝජනවත් වුණා.'
    ප්‍රසාද් කියයි.

    දුටුගැමුණු රජතුමා මහියංගන ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසුව මහියංගන චෛත්‍ය ප්‍ර‍තිසංස්කරණය කිරීමට පටන්ගත්තේය. දාගැබ බදවමින් සිටිය දී රජතුමාට බුලත් මෙහෙ කළේ බුලතාය.

    දිනක් මහියංගනයෙන් උතුරු පෙදෙසෙහි සංචාරයෙහි යෙදුනු බුලතාට ගල් කදු දෙකක් අතරෙහි පිහිටි පහත් බිමක් දකින්නට ලැබුණේය. ඒ අතරින් විශාල දොළ පාරක් ගලා බසිමින් තිබිණි. දොළ පාර අහුරා ගල් කදු දෙක අතර බැම්මක් බැන්ද හොත් අලංකාර වැවක් සාදාගත හැකි බව ඔහුට පෙනුණේය. වැව බැන්දහොත් වැවත් ගඟත් අතරේ පිහිටි ගව් ගණනක් විශාල භූමිය කුඹුරු කළහැකි වේවි යැයි බුලතා සිතුවේය. රජුට බුලත් පිළිගැන්වීම් අතරතුර ඉතුරු වන සුලු කාලයෙහි වරින්වර වැඩෙහි යෙදීමට මොහු කල්පනා කළේය.

    බුලතා ගේ උදැල්ල සාමාන්‍ය මිනිසෙකුට එසවීමටවත් නොහැකි තරම් විශාල එකක් විය. සාමාන්‍ය මිනිසුන් විස්සකටවත් එසවිය නොහැකි තරම් පස් ප්‍ර‍මාණයක් ඔහු එක් වරකට කූඩයෙන් ගෙනෙන්නේය.

    මෙසේ ගෙනෙන, ගෙනෙන පස්, ගල් කදු දෙක අතරේ දමමින් පාග පාගා වැව් කන්ද ගොඩනැගුවේය. ස්වල්ප කාලයකින් වැව් වේල්ල බැදීම අවසන් කළ බුලතා එහි ජලය බැහැර කරන සොරොව්ව සෑදීමට අදහස් කළේය. කාය ශක්තිය ඇති බිරිඳද සමඟ බුලතා කාටත් හොරා වැව බැන්දේය.

    මේ වැවද, දුටුගැමුණු රජතුමාගේ දාගැබ අලුත්වැඩියා කිරීමේ කටයුතුද එකවර නිම විය.

    'දේවයන් වහන්ස, මම තනිවම වැව් පොඩ්ඩක් බැන්දෙමි. එය බලනු පිණිස වඩින මෙන් මම ආරාධනා කරමි.' යැයි සැළ කළ පසු බුලතා ගේ ඉල්ලීම පිළිගත් රජතුමා සිවුරග සෙනග පිරිවරා වැව බලන්නට ගියේය.

    රජු සමඟ පැමිණ සිටි මැති ඇමති සෙන්පති ආදී පිරිසද, මහජනයාද, තනි මිනිසකුගේ වැඩක් වූ මේ මහා වැව දැක පුදුමයට පත් වූහ.

    'දරුව තෝ මේ වැඩය සදහා තව කොපමණ දෙනකුගේ සහාය ලබාගත්තා දැයි රජතුමා ප්‍ර‍ශ්න කළේය.

    'දේවහන් වහන්ස, මට සප්‍රාණික කිසිවකුගේ සහාය නොලැබුණේය. මට සහාය ලැබුණේ අප්‍රාණික මේ වස්තූන්ගෙන්'

    යැයි පසෙක සගවා තිබූ උදැල්ලත්, කූඩයත්, කටුව සහ මිටියත් රජතුමාට පෙන්වූයේය.

    එම ද්‍ර‍ව්‍ය දුටු රජතුමා ඔහුගේ ශරීර ශක්තිය තේරුම් ගෙන ප්‍රීතියට පත්වී

    'දරැව! තොපගේ ඉතා හරබර වාරි කර්මාන්තය ගැන මම ඉමහත් සතුටට පත්වීමි. රට ජාතිය දියුණුවට හා මතු පරම්පරාවට තොපගේ වැව් කර්මාන්තය පිහිට වන්නේයැ' යි කියා ප්‍ර‍ශංසා කළේය. තුටු පඬුරැද පිරිනැමුවේය.

    ප්‍රසාද්ද තනිව වැවක් හැදුවේය. හැබැයි නූතන දුටුගැමුණු කෙනෙක්වත්, පරාක්‍රමබාහු කෙනෙක්වත් ඔහුගැන කතා කළේ නැත.

    'පැලයක් හිටවලා දලු දානකොට හිතට දැනන සැනසිල්ල දන්නේ පැලයක් හිටවන කෙනා. වතුර බිංදුවක අගේ තේරෙන්නේ වතුර නැතිව දුක් විඳින කෙනා. මේ වැවි හැම වතුර බිංඳුවක්ම මට වටිනවා. ඒවා මට පිරිත් පැං වගේ. මොකද ඒ හැම වතුර බිංදුවක්ම ජීවිතය වගේ නිසා'

    ප්‍රසාද් නිල් දියවර දෙස බලාගෙන කියයි.

    -රංජිත් කුමාර සමරකෝන්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න අපේ උරුමය හදුනන නියම මිනිස්සු...:yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Yes, Great Brother. -------Igena ganne, Job karannama neve. --------That is
    a perfect Truth. Learning is useful. It may be useful for your own industry.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    359ee5dbf92ff740f66360714ec7e73f.gif


    වයසක අපිට පේන්නෙ නෑ ආයිබෝං...
    අකුරු පොඩ්ඩක් ලොකු කොලානම්.....