මම ඇගේ තට්ටම විකූ විට ඌ ඌ ගාමින් මගේ හිස....

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    මම ඇගේ තට්ටම විකූ විට ඌ ඌ ගාමින් මගේ හිස....



    සාලයෙන් ඇසෙන මහ හඬ දරාගත නුහුණු බැවින් මම "ඌට්ටුව" ද ගසාගෙන (ඇඟිල්ල ඉරීම එකළ අප බොහෝ දෙනෙකුට උරුම ව තිබූ පුරුද්දකි.) සාලය දෙසට සෙමෙන් සෙමෙන් පිය මැන්නෙමි. දොර රෙද්ද මෑත් වත් ම විලාපය කන් බිහිරි කරවන තරම් උස්ව නැගී ගියේ මා වික්ෂිප්ත කරමිනි. නමුත් මට එය එතරම් ප්‍රශ්නයක් වූයේ නැත්තේ මේ සිදුවන්නේ කිමෙක්දැයි ​පැටලිල්ල ලිහා ගනු රිසියෙන් පෙලුණු නිසාවෙනි. සාලයේ මා නන්නාඳුනනා ගැහැණුන් විසල් පිරිසක් සිටි අතර, ඔවුන් අතරින් තද දුඹුරු පැහැ කිසිවක් සාලය මැද්දෑවේ තිබෙණු මට යාන්තමට පෙනෙන්නට ගත්තේ ය. අමුතු සැර සුවඳක් සහ පොලිෂ් සුවඳක් එකට මුසු ව නැහැය විද ගෙන ගිය ඒ සුවඳ කිමෙක්දැයි මට නිනව්වක් නැත්තේ එවැනි සුවඳක් මින් පෙර විඳ නැති නිසා ය.


    සාලයේ වූ දේ වටා සිටි කාන්තාවෝ එකිනෙකා එය මට පෙනෙන්නට සලස්වමින් යන්තම් එහාට මෙහාට වෙනු මට පෙනේ. එවකට මගේ උසේ තරමට උඩකින් තැබුණු මේ අමුත්ත තවමත් මට කුමක්දැයි වටහා ගත නොහැකි ය. දුඹුරු පාට මේ අමුත්ත පෙට්ටියක් මෙන දැන් මට පෙනෙයි. ඒ මතින් යාන්තමට සුදු පාට කිසිවක් තිබෙනු ද මට පෙනෙයි.


    මම සාලයේ සිටින් කාන්තාවන් හඳුනා ගන්නට ඔවුන්ගේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලමි. නමුත් පැහැදිලි ව හඳුනන කිසිවකු ඒ අතර නැත. කඳුළු පුරාගත් දෙනෙතින් බර ව ඔවුන් මදෙස එක සීරුවට බලා සිටිති. මට කිසිවක් වැටහෙන්නේ නැත. කිසිවක් තෝරා ගන්නට ද නොහැකි ය.. මම සාලය පියමං කොට ඉදිරි දොර දෙස ගෑටුවෙමි. පියවර කිහිපයක් ගාටමින්, පය අද්දමින් ගිය මම යළි ආපසු හැරී බලමි. කාන්තාවෝ සියල්ලෝ ම දැඩි නිශ්ශබ්දතාවයකින් යුක්ත ව මදෙස බලා සිටිනු මම දකිමි. ඒ අතරින් කෙනෙක් දැඩි ව හුස්ම ඉහළට අල්ලමින් හූල්ලනු ද, කඳුළු පිසිනු ද මට පෙනෙයි..


    යළි ​දොර රෙද්ද මෑත් වෙමින් තවත් කෙනෙක් එළියට ගාටයි. ඒ ලොකු නංගී ය. ඇ ද මේ මහා විලම්බෑසියෙන් විපිලසර ව සිටින්නී දෑස් ලොකු කර ගෙන විමසුම් මුහුණින් යුතු ව දොර රෙද්ද අල්ලාගෙන නතර වූවා ය. එසැණින් එතැනට පිනූ කෙනෙක් ලොකු නංගී ද වඩා ගෙන අර මහ අමුත්ත අසළට ගියා ය..




    මඳ වේලාවක් නිහඬ ව ගෙවී ගියේ ය. ලොකු නංගී ද වට පිට බලමින් සිටින්නේ මේ සිටින්නන් හඳුනා ගන්නට උත්සාහ කරමිනි. සියල්ලෝ ම දැඩි නිශ්ශබ්දතාවයක් රකින්නේ ඈයි දැයි මම කල්පනා කරමි..


    මොහොතක් නිහඬ ව ගෙවි ගියේ ය. මඳක් එහාට මෙහාට ඈඹරුණු ලොකු නංගී දෑස් පුංචි කරගෙන, මුහුණ ද බෙරි කර ගෙන "නැගිටින්නකො අම්මේ" යැයි කීවා ය.


    එසැණින් මුළු මහත් වූ චක්‍රාවාටය ම දෙදරවමින්, අකනිටා බ්‍රහ්ම ලෝකයට ද ඈසෙන තරම් මහා හඬකින් යළි විලාප හඬ පැතිර ගියේ මා ද භය බිරාන්ත කරමිනි. දැන් ලොකු නංගී හඬන්නේ කිසිවක් තේරුම් ගෙන නොව මේ මහා හඬට බිය පත්ව යැයි මට සිතිණ.


    මම කිසිවක් ම නොදැනෙන්නෙකු ලෙසින් හෙමි හෙමින් ඉස්තෝප්පුවට පිය මැන්නෙමි.

    අදත් මළ ගෙදරකදී මට කිසිවක් නොදැනෙන්නේ ද ඒ නිසා ම විය යුතු ය.
    මන්ද ඒ සාලයේ පෙට්ටියක් මත වැතිර නිදන්නේ මගේ අම්මා යැයි කිසි දා ක විස්වාස කරන්නට මම අකමැති බැවිනි..!!!




    ලොකු තාත්තලාගේ ගෙදර මහා පිරිසක් සිටිය ද අප ගැන, අප මුහුණ කට සේදුවා ද, කෑවා බීවා ද යන්න ගැන සොයන්නට කිසිවකුට එකලාසයක් නැති සේ ය. තුන් හැවිරිදි ලොකු නංගී ද, දෑවුරුදු පොඩි නංගී ද කවුරුන් හෝ කාන්තාවකගේ අතින් අතට මාරු වෙමින් සිටින්නී ය. මම කිසිදු අරමුණකින් තොර ව ම ,ඉස්තෝප්පුවෙන් මිදුලට බැස්සෙමි. ඊයේ නොතිබුණු ලොකු ටකරන් මඩුවක් අද මිදුල අරා පැතිර සිටියි. එහි පුටු මහ ගොඩක් අට්ටි ගසා ඈති අතර, සමහරක් පුටු මත අඩ නින්දේ සිටින්නන් කිහිප පොළක් මට පෙනෙයි. ඔවුන් ඊයේ රෑ සිට ම මෙහි සිටියවුන් විය හැකි ය.


    කුණු කෙළ පිටින් ම මම ඌට්ටුව ද ගසාගෙන මේ පුටු අතරින් ඈවිද්දේ කකුල් අද්දවමිනි. මගේ පිටි පස්සෙන් මා ඈඳි ඒ පිය සටහන් ලණුවක් මෙන් ඈඳී තිබෙයි. ඉන්නා අයවලුන් ගේ මුහුණු බලමි. මම කිසිවෙකු නොහඳුනන්නෙමි. ඹවුන් කිසිවකු ට මා හඳුනා ගන්නට ද අවශ්‍යතාවක් නැතැයි මට සිතෙයි.....


    මට මහත් තනිකමක් දැනෙයි.. කුමක්දෝ දැවැන්ත පාලුවකින් මා සිත වෙළෙයි.. එය මට, මගේ පුංචි සිතට දරා ගත නොහැකි ය. මම වටපිට බලන්නේ හඳුනන කිසිවකු ඈස ගැටෙතැයි යන විමසුම් බැල්මෙනි. කවුරුවත් නැත..දහසක් සෙනග මැද්දෑවේ මා තනි ව ගොසිනි...


    මම යළිත් ගෙතුළට පිය මනිමි. කාටවත් මා ගැන සොයා බලන්නට ඉස්පාසුවක් නැත..දැන් ඈඬිලි සද්ද ඈසෙන්නේ ද ඉඳ හිට ය. ඒ අලුතෙන් කවුරුන් හෝ පැමිණි විටෙක ය. හෙමි හෙමින් සාලය පසු කොට යන මම කාමරයට එබී බලමි. බිම දිගේ පැදුරු ඈතිව හෝ නැති ව, කාන්තාවන් ගණනාවක් ම නිදා සිටිති. ඒ අව් අස්සේ ඈඳ මත නිදා සිටින ලොකු අම්මාගේ එහා පැත්තෙන් රෙදා කඩෙක එතූ කිසිවක් මට දර්ශනය වෙයි.. මම විමසුම් දෑසින් ඒ දෙස ම බලා සිටිමි. රෙදි කඩෙහි කෙළවරින් බොනික්කෙකුගේ මුහුණක් වැනි යමක් මට පෙනෙයි...



    දොර රෙද්දේ සිට එතැනට ඈති දුර වැඩි නිසාවෙන් මට හරියට ඒ කිමෙක්දැයි දැක ගන්නට නොහැකි ය. කරන්නට ද කිසිවක් නැති නිසාවෙන් මම එලෙස ම සිටිමි. ටිකකින් මට ඒ රෙදි ගුලිය නළියනු පෙනෙයි. දැන් ඉන් පොඩිත්තෙකුගේ බෑඟිරියක් ද ඈසෙයි...

    මේ පැමිණ සිටින්නේ ඊයේ උපන් අපේ පුංචි මල්ලියා ය..අම්මා මිය ගිය දා උපන්න, නමුත් නොමළ ඔහුගේ නම අමර නම් විය..


    දහවල් වෙත් දී ලොකු තාත්තලාගේ ගෙදරට අසීමිත සෙනග කන්දරාවක් පැමිණෙමින් සිටියේ ය. ඉඳ හිට ඔවුන් පැමිණෙන්නේ ලොකු බස් රථ වලිනි. එසේ පැමිනෙන බස්වල වැඩියෙන් ම සිටියේ පාසල් ළමුන් ය. ඉස්කෝල කිහිපයකින් ම මෙසේ සෙනග පැමිණියේ අම්මා ද, තාත්තා ද ගුරුවරුන් නිසා විය යුතු ය.


    සවස් යාමය වන තෙක් මට දැනෙන කිසිවක් සිදු වූයේ නැත. සෙනග එයි..මඳ වේලාවක් සිටියි.. එකවර හිස් වෙයි.. ඒ අතර, අතරින් පතර පමණක් හැඬුම් ඈසෙයි.. දැන් ඉස්සර අඬා වැටුණු, විලාප දුන් අයට වෙහෙස වැඩි නිසා දෝ ඔවුන් විවේක ගෙන ඈතැයි මට සිතෙයි.. ගෙදර පිටි පස්සේ ලොකු ටකරන් මඩුවක දැවැන්ත කුස්සියක් තනා තිබෙයි.. එහි මහ විසාල හට්ටිවලින් දසත සුවඳ විහිදුවමින් වෑංජන පුස්ඹක් හමා එයි. මේ කුස්සියේ රාජකාරි කරන ඈත්තන්ට ගෙදර සාලයේ මළ ගෙදරක් ඈති බවට වගේ වගක් නැත්තා සේ මහ හඬින් කෑ කොස්සන් ගසමින් කොක් හඬලමින් සිනාසෙයි. සාලයට, ඉදිරි මිදුලේ මහ මඩුවට වඩා මට මේ කුස්සි කෑල්ල සිත් ගත් තැනක් බවට පත් වෙයි. එ නිසා ​කරන්නට කිසිදු කාරියක්, වැඩ කටයුත්තක් නැති බැවින් මම මේ මුළු වපසරිය පුරා ම ඈවිදින්නෙමි. ඈවිදින අතර වාරයේ අනිවාර්යයෙන් ම කුස්සිය දෙසට පිය මැන එහි බොහෝ වේලාවක් රැඳෙමින් සිටිමි.


    එසේ ඈවිදින අතර හමුවන කාන්තාවන් බොහෝමයක් මගේ හිස අත ගාමින් "අනේ අසරණ දරු පැටව්" යැයි කියන්නේ කුමකටදැයි මට නොතේරෙයි.. කෙනෙක් මගේ මුහුණට නැමී " අනේ පුතේ ඔයා කෑවද" "කාලද පුතේ ඉන්නේ.." ආදී වශයෙන් වමසුම් කරයි.. එවිට මට මහත් සෙනේහයක් දැනෙයි.. සාලය මැද්දෙන් ඈවිදගෙන යද්දී යළි මහා පාලු මූසල ගතියක් මගේ පුංචි සිත වෙලා ගනියි. පෙට්ටියක් මත වැතිර අම්මා නිදනවා මිස ඇ මිය ගොස් ඈති වගක් මට නොදැනෙයි..එ නිසා ම මම පෙට්ටිය වටා රවුමක් යමි. එහි සැර පොලිෂ් සුවඳ දැන් මගේ නැහැයට හරි පුරුදු ය. ලොකු තාත්තා විවිධ විධාන දෙමින් සෑම තැනෙක ම සිටියි. සෑම කෙනෙක් ම හැම වැඩක් ම කරන්නට කළියෙන් ලොකු තාත්තාගෙන් විමසයි. පත්තු නොකළ කළු සුරුට්ටුවක් කෙළවර හපමින් ඔහු බැරෑරුම් මුහුණක් මවා ගෙන සැමට උපදෙස් දෙයි.." අපි එහෙනං එහෙම කරමු නේද ආතර මහත්තයෝ.." හැමෝ ම කියන්නේ එලෙස ය. මේ සියලු විජ්ජුම්බර මැද්දෑවේ මට තාත්තා හමු වූයේ ම නැති ගාන ය. හමු වුනත් ඒ බවක් මට මතක නැත. කෙනෙක් "කෝ ඉස්කෝලෙ මහත්තයා.." යැයි විමසනු මට ඈසෙයි.


    සවස් යාමයේ දී තරමක් අමුතු හැඩයක බස් රථයක් පැමිණ ලොකු තාත්තලාගේ ගේ ඉස්සරහ පිට්ටනියේ නැවත්වූයේ මහා සර සද්දයක් දමමිනි. බස් රථය තුළ වූවෝ නැගිට්ටේ සියලු ම දෙනා එක විට වාලග් ය.. කට්ටිය පොදි කමින් බසයෙන් බසින්නට වළි කමින් සිටි අතර, මුලින් බිමට බට පිරිමි කිහිප දෙනා ඈඟ මැළි කඩමින් හිරි ඈරියේ බොහෝ දුරක් ගෙවා එක එල්ලේ පැමිණි නිසා විය යුතු ය.


    සුදු සාර්වලින් සැරසුණු කාන්තාවන් කිහිප දෙනෙක් ම බසයෙන් බිමට බට අතර ඔවුන් සියලු දෙනා ම හරියට ම අපේ අම්මා වාගේමයැයි මට සිතිණි. බසයෙන් බට ඔවුන් ගෙදර දෙසට දිව ආයේ මෙලෝ සිහියක් නැතිව ය. එසේ එමින් ම, ළඟින් සිටින්නා වැළැඳ ගනිමින් මහා හඬින් විලාප දුන්නේ ඔවුන් අපේ අම්මාගේ වඩා කිට්ටු ම නෑදෑයන් නිසා විය යුතුයැයි මට සිතෙයි...දැන් සාලය එක ම විලාපයකි.. මහා කලබලයකි.. කෙනෙක් අම්මාගේ දේහය සහිත පෙට්ටිය බදා ගෙන වැතිර මහ හඬින් විලාප දෙයි..ඒ අතරින් කෙනෙක් "අනේ මගේ කළු නංගියේ ...උඹට මේ මොකද උනේ..."යැයි කියයි. එක ම කෙනෙක් පමණක් "අනේ මගේ අක්කේ..."යැයි කියයි. මේ අපේ අම්මාගේ පවුලේ සාමාජිකයන් ය. ඔවුන් කාන්තාවන් ම හයකි. ඉන් වැඩි පිරිසක් ගුරුවරියන් ය. අම්මා පස්වැනියා ය. බාලයා "හිච්චා" ද ගුරුවරියකි.


    ඒ අතරින් ප්‍රතාපවත් පෙනුමකින් යුත් ගැහැණියක් මට පෙනෙයි. ඇ ඔසරි පොටෙන් මුහුණ වසාගෙන ඉකි ගසමින් හැඬුවා විනා විලාප දුන්නේ නැත.. මේ අපේ තිත්තගල්ලේ ආච්චී යැයි අප අසා ඈති අපේ අම්මාගේ අම්මා ය.. හෙවත් ආච්චී ය.. මා ඈය මුල් වරට දැක්කේත්, අවසන් වරට දැක්කේත් එදා ය...!!!



    ඉතිරි සිද්ධීන් ඉතා ඉක්මණින් ගලා ගියේ ද, නැතහොත් සිද්ධීන් මා සිතෙන් ගිලිහී ගොසින්දැයි කියන්නට තරම් පැහැදිලි මතකයක් මා සතු ව නැත. නමුත් සවස් යාමයේ දී, ලොකු තාත්තලාගේ ගේ වත්ත අවටත්, ඉදිරිපස මහ පිට්ටනියේත්, පාරේත් මහා ලොකු සෙනගක් සිටි වග නම් මට මතක ය. ඒ මහා ජන කන්දරාව මැද්දේ මම තනි ව සිටියෙමි. මළ ගෙදර එන බහෝ දෙනෙක් මහත් කම්පාවෙන් යුක්ත ව මගේ හිස අතගානු මට මතක ය. මගේ ලෙස ම අයියාගේ ද අනෙක් අයගේ ද අත ගාන්නට ඈති නමුත්, මේ වෙනතෙක් මට ඔවුන් දකින්නට ලැබුනේ ද නැත.

    කාලය ගෙවෙත් ම ගේ මැද්දෑවේ කලබගෑණීය උත්සන්න වනු මට දැනින. විලාපයන් ද මොහොතින් මොහොත තීව්ර වෙමින් ඈසෙන්නට විය. සාලය දෙසට තබා අහලකටවත් යන්නට අපට නොහැකි වූයේ ජන සන්නිපාතය ඒ තරම්ම වූ නිසා ය..ඉර බැසගෙන යන්නට අර අඳිනා මොහොතේ හාමුදුරැවන් වහන්සේලා පෙළක් ම වැඩම කොට, ගේ මිදුලේ වූ කූඩාරමේ පෙළට වාඩි වී සිටි අයුරු මට තවම මතක ය. එසැණින් මහා විලාපයක් ද සමග, ගෙයි සිටියවුන් සියල්ලක් ම පාහේ මිදුලට තල්ලු වෙමින් පැමිණියේ ය. ඊට ටික වේලාවකට පසු නැවතත් ලොකු තාත්තා ප්‍රමුඛ කිහිප දෙනෙක් ගෙතුලට ගියේ ය.

    මුලු හාත්පස ම දැවැන්ත නිශ්ශබ්දතාවකින් වෙලී ගිය ඈසිල්ලේ බොල් හඬකින් කිසිවක් වසා දමන හඩක් මට ඈසුනේ, මා සිටියේ සාලයට යාබදව ම බිත්තියට හේත්තු ව සිටි බැවිනි. මොහොතකට පසු දොර ඇරී ලොකු තාත්තලා ඇතුළු පිරිවර අම්මා නිදා සිටි ​පෙට්ටිය ඔසවාගෙන මිදුලට පැමිණියේ ය. එසැණින් යළි මුලු මහත් විශ්වයට ම ඈසෙන තෙක් වූ මහා විලාපයක් පැතිර ගියේ ය. හිච්චා හෙවත් අපේ පුංචි අම්මා බිම ඈද වැටෙනු ද, එහා එතැනට පිණූ කිහිප දෙනෙක් ඈ වත්තම් කොට ගෙන ඈතුළට ගෙන යන අයුරුත් කිසිදු හැඟීමකින් තොර ව මම බලා සිටියෙමි.

    කිසිවෙක් මහා හඬකින් යමක් කියන්නට උත්සාහ ගන්නා අතරේ ඒ හඪ වෙනත් දෙසකින් ඈයෙන්නේ කොසේදැයි විපිළිසර ව මම වට පිට බැලුවෙමි. ඒ හඬ ඇසෙන්නේ පාරේ ලයිට් කණුවේ ගැට ගසා තිබූ දිග නැට්ටක් සහිත දැවැන්ත කෝප්පයකිනි. මම ඌට්ටුව ද ගසා ගෙන ම එදෙස බලා සිටියෙමි. දැන් අර මහා විලාපය හීන් කෙඳිරියක් බවට ද, හීල්ලීමක් බවට ද පත් වී අවසාන ය. ඉන් පසු අර යකඩ කටෙන් අවට පැතිරෙන්නේ හාමුදුරුවන්ගේ ගාථා ය. සියල්ලෝ ම හැකි පමණින් බිම ඈන තියාගෙන වැඳ ගෙන සිටි අතර වාරයේ මම අවට බලමි. ඒ සුදු පැහැ ජන ගංගාව මැද්දේ සිටගෙන සිටින්නේ මා පමණ ය. මම එකිනෙකාගේ මුහුණු දෙස බලමි. කිසිවෙකුට මා දෙස බලන්නට ඉස්පාසුවක් නැත. මම අඟිල්ල උරමින් ම නිටි පියවරෙන් ම සිටියේ කරන්නට කිසිවක් ම නැති නිසාටත් වඩා සිතා ගන්නට බැරි නිසා ය.

    ගාථා කී හාමුදුරුවන් වහන්සේලාගෙන් කෙනෙක් රැල් බුරුල් හරිමින් ඉතා දීර්ඝ දේශනාවක් කළ ද මට ඉන් එකදු වචනයක් මතක නැත. නමුත් උන් වහන්සේලා පිටත් ව ගිය පසු, "අප අතරින් වියෝ වූ ජයසීලි ගුරු මාතාව" ගැන ද, තේනුවර ලොකු ඉස්කෝලෙ මහත්තයා ගැන ද, ආතර් මහත්තයා ගැන ද, මහා දිග කතා ඈසෙයියකඩ කටින් වෑස්සෙනු මම බලා සිටියෙමි. මට ඒවා අසා සිටින්නට උවමනාවක් නැත. සිදු වන්නේ කුමක්දැයි දැන කියා ගන්නට මහත් උවමනාවක් තිබුණ ද අසා ගන්නට වත් කිසිවකු නැත. එනිසා මම එලෙසින් ම උකටලී ව සිටියෙමි.

    හොඳට ම සවස් වූ පසු යළිත් විලාපය පැතිරෙන්නට පටන් ගත්තේ ය. සියල්ලෝ ම කඩි මුඩියේ මහ පාරට අවතීර්ණ විය. ඒ සමග හිසේ සුදු පාට තුවා බැඳගත් බෙර කරුවන් කිහිප දෙනෙක් සුදු රෙදිවලින් එතූ බෙරවලට කෝටුවලින් ගසමින් මහා ශෝකී රාවයක් මතු කළෝ ය. ඒ සමග නලා හඬක් ද පතුරවමින් ඔවුන් මහ පාරට ගොඩ උනෝ ය. ඊට පසු කිහිප ​දෙනෙකුන් විසින් අම්මා සහිත පෙට්ටිය ඔසවා ගෙන ඒ පස්සේ ගමන් කරන්නට පටන් ගත්තෝ ය. මම ඈස් ලොකු කර ගෙන එදෙස බලා සිටියෙමි. මොකක්දෝ කියා ගන්නට බැරි හැඟීමක් මසිත පුරා පැතිරෙන්නට විය. ඒ කුමක්දැයි මම අදත් විමසමින් සිටිමි. නමුත් අදටත් මට ඒ හැඟීම නිර්වචනය කොට දැනෙන්නේ නැත.

    ටිකකින් කවුදෝ පැමිණ මාව ද ඈද ගෙන ඒ ජන ගංගාවට එකතු වුනේ ය.. මම ඔහේ පියවර මැන්නෙමි. ඊට පසු තවත් කවුදෝ පැමිණ, පෙරහැරේ ඉදිරියට මාව තල්ලු කර ගෙන ගියේ ය. මූසල බෙර හඬ අභිබවමින් විලාප හඬ මසිත කීරි ගසමින් ඈසෙන අතරේ, හීන් හඬින් තාත්තා හැඬූ හඬ මතක් වන විටත් මගේ සියොළඟ ම දැවී ගොස් යකඩ ගුලියක් උගුරේ හිර වුනාක් මෙන් අදත් මට දැනෙන්නේ ය.

    පිට්ටනියෙන් එපිට ව, බුද්ධංගල පාර දිගේ ටික දුරක් ගිය විට මහා පාලු මංඩියක අම්පාරේ පොදු සුසාන භූමිය පිහිටියේ ය. මේ සුසානයට ඈතුළුවත් ම හිච්චා මා ළඟට පැමිණ "අනේ අසරණ කොලු පටියා" යැයි කියමින් මහත් සේ සෙනේහයෙන් යුක්ත ව, මගේ හිස අත ගාමින් කියූ සැටි ඒ ස්වරයෙන් ම ම​ට අදත් මතක ය.

    අම්මා සහිත දෙන සුසානයට ගෙන ගොස් ආදාහනය කළේ ද, භූමි දානය කළේදැයි මට පැහැදිලි මතකයක් නැත. ඒ වගක් අද වුව මට තාත්තාගෙන් අසා දැන ගන්නට හැකි ය. නමුත් මා ඒ නො අසන්නේ ඒ තහවුරු කර ගන්නට මම අංශු මාත්‍රයකින් හෝ අකමැති නිසා ය.

    අපේ අම්මා ආදාහනය කරන්නටවත්, භූමි දානය කරන්නටවත් කාටවත් බැරි ය..ඈ තාමත් මාළඟ සිටින්නී ය. මම ඇගේ තට්ටම විකූ විට ඌ ඌ ගාමින් මගේ හිස ඇගේ තට්ටමට තද කර ගන්නී ය.
    මම නොසෙල් වී එසේ ම සිටිමි...!!!




    http://magekathandara.blogspot.com

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,460
    113
    මේවා දාලා අපිව අඬවන්න එපා බං. මේක කියවද්දී  බඩ පපුව දාලා පිච්චිලා යනවා බං :(
     

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    පලවෙනි චේදයේ ඉන්දන් අන්තිම එක වෙනක්ල් කියෙව්ව. තාමත් ඉකි ගැස්සෙනව යකෝ
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    පලවෙනි චේදයේ ඉන්දන් අන්තිම එක වෙනක්ල් කියෙව්ව. තාමත් ඉකි ගැස්සෙනව යකෝ

    මේවට සන්වේදී වෙන අය දැන් සමාජේ අඩුයි මචන්...
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    Demawpiyangen wenwena eka daraganna godak amaru deyak. Giya mase 19 wenida mage thathta nathiuna. Kawadawath apita hitha ridennawath wachanayak kiyala na. Danuth mawa pichchenawa mage thathta mathakweddi, kollek wela mehema adanna puluwanda kiyala hithena tharam mama aduwa. Eka kiyanna bari tharam pattama duka machan awankawama. Innakan demawpiyanta pana wage adare karapan. Mokada nathiunama panatath wada watinawa. Ekai.
     
    Last edited:

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    Demawpiyangen wenwena eka daraganna godak amaru deyak. Giya mase 19 wenida mage thathta nathiuna. Kawadawath apita hitha ridennawath wachanayak kiyala na. Danuth mawa pichchenawa mage thathta mathakweddi, kollek wela mehema adanna puluwanda kiyala hithena tharam mama aduwa. Eka kiyanna bari tharam pattama duka machan awankawama. Innakan demawpiyanta pana wage adare karapan. Mokada nathiunama panatath wada watinawa. Ekai.


    Aththa machan...nathiwunama thamayi agaya wediyen danenne...