නිවන්_මඟ_මෙන්න_18/20

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නිවන්_මඟ_මෙන්න-(18/20)

    10.0 උදයව්‍යය ඥානය

    "උදයව්‍ය ඥානය දර්ශන භූමියට පදට්ඨානය"
    (දර්ශන භූමියයි, භාවනා භූමියයි කියලා භූමි 2ක් තියනවා)

    ශෘතමය ඥාණ කියන්නේ අහලා ලැබෙන ඥාණ වලටයි
    උදයව්‍ය ඥානය කියන්නේ ශෘතමය ඥානයක්
    ඒ කියන්නේ මේක භාවනාවෙන් ලැබෙන එකක් නෙවෙයි

    උදය ඥානය කියන්නේ ආශ්වාද උදාවෙන විදිහ,
    වැය ඥානය කියන්නේ ආශ්වාද නිරෝධ වෙන විදිහ.

    පධාර්ත වල ශුද්ධාශ්ඨක ඇතිවීම නැතිවීම බලන එකටයි උදයව්‍ය ඥානය කියන්නේ කියලා මේක අද වැරදියට අරන් තියනවා.

    රූප, වෙදනා, සංඥා, සංඛාර, විඥ්ඥාන කියන පංචස්කන්ධය තුලින් පංච උපාධානස්කන්ධයක් හදාගන්න වැඩ පිළිවෙල ගැන දැනගන්න එකයි උදයව්‍ය ඥානය කියන්නේ

    ඔය පන්චස්කන්ධයට අයිති 5හේ හැම එකක්ම වෙන වෙනම
    අවිද්‍යාව,
    තන්හා,
    කර්ම,
    ආහාර,
    නිබ්බන්තිලක්ඛණ කියන මේ 5ත් එක්ක ප්‍රත්‍ය වෙලා 5x5 25ක් විදිහට ආශ්වාද 25 ආකාරයක් හදනවා

    උදය/උදාවීම- පටිච්චසමුපාද චක්‍රය (උදය ඥානය)
    වැය/වැය වීම- පටිච්චසමුප්පද නිරෝධ චක්‍රය (වැය ඥානය)

    මේකට අද වැරදියට ගන්නවා මේ භෞතික ලෝකය ඇතිවෙනකොටම නැතිවෙනවා කියලා

    භෞතික ද්‍රව්‍ය වස්තු වල ඇති වෙනවා, නැති වෙනවා දැක්කට නිවන් දකින්නේ නෑ

    ඔය 25 හැදෙන්නේ මෙහෙමයි.

    මුල්ම එක අවිද්‍යා කියන එක ගමු.

    ඔය අවිද්‍යාව යෙදෙන්නේ පටිච්චසමුප්පාද චක්‍රයේ මුලයි
    අවිද්‍යව කියනෙන ස්ඵර්ශ ආයතන හයේ ආශ්වාදයත් ආදීනවයත් නිස්සරනයත් තතු සේ නොදැනීමයි

    ඒක 5 ආකාරයකට ප්‍රත්‍ය වෙන්නේ මෙහෙමයි
    සමුදය කියන්නේ හටගැනීම

    1. "අවිද්‍යා සමුදයා රූප සමුදයො"ති කියන්නේ අවිද්‍යාව නිසා රූපය පිළිබඳව උපාධානයක් ඇතිකරගන ආශ්වාදයක් විඳිනවා
    2. "අවිද්‍යා සමුදයා වේදනා සමුදයො"ති කියන්නේ අවිද්‍යාව නිසා වේදනාවක් දැනුනම ඒකත් එක්කත් ආශ්වාදයක් හදාගන්නවා
    3. "අවිද්‍යා සමුදයා සංඥා සමුදයො"ති කියන්නේ අවිද්‍යාව නිසා යම් කිසි සංඥාවක් එක්කත් ආශ්වාදයක් හදාගන්වා
    4. "අවිද්‍යා සමුදයා සංඛාර සමුදයො"ති කියන්නේ අවිද්‍යාව නිසා යම් කිසි චිත්තයක් එක්කත් ආශ්වාද හදාගන්වා
    5. "අවිද්‍යා සමුදයා විඥ්ඥාන සමුදයො"ති කියන්නේ

    පන්චස්කන්ධයේ රූප කියන්නේ මොනවද?
    චක්ඛු රූප, සෝත රූප, ගාන රූප, ජිව්හාරූප, කාය රූප, මනෝ රූප
    පංචස්කන්ධය කියනෙන විපාක කයට නෙවෙයි. හැබැයි විපාක කයත් පංචස්කන්ධයට අයිතියි

    වේදනා කියන්නේ සැප දුක් උපේක්ෂා

    සංඥා කියනෙන වර්ණයක්, රසක්,.. වගේ හඳුනා ගැනීමට අදාල ස්වභාවයක්

    සංඛාර කියන්නේ සංචේතනා. සංචේතනා කියනෙන චිත්තය තනනවා කියන එකයි

    විඥ්ඥාන කියන්නේ චිත්ත, මනෝ, මානසං, හදයං, පණ්ඩරං, මනෝමනායාතනං, මනෝමනේන්ද්‍රියං, විඤ්ඤාණං, විඤ්ඤාණක්ඛන්ධෝ

    චිත්තයක් කියන්නේ මනෝ මූලිකව ආරම්භන විජානන ලක්ෂණයක්. ඒ චිත්තය ඔය කිව්ව 9 ආකාරයට දිග හැරිලා තමයි විඥ්ඥානය ගොඩනැඟෙන්නේ

    බාහිර රූප ශබ්ධ ගන්ධ වලට ඒවගේ ණැති එකක් අපි හිතේ හදාගන්න එකමයි අවිද්‍යාව

    ඊ ලඟට තන්හාව ගමු.

    තන්හා කියන එක යෙදෙන්නේ පටිච්චසමුප්පාදයේ
    අවිද්‍යා > සංඛාර > විඥ්ඥාන > නාමරූප > සලායතන > ඵස්ස > වේදනා > තන්හා කියන තැනයි

    6. "තන්හා සමුදයා රූප සමුදයො"ති කියන්නේ තන්හාව නිසා රූපය පිළිබඳව උපාධානයක් ඇතිකරගන ආශ්වාදයක් විඳිනවා
    7. "තන්හා සමුදයා වේදනා සමුදයො"ති කියන්නේ තන්හාව නිසා වේදනාවක් දැනුනම ඒකත් එක්කත් ආශ්වාදයක් හදාගන්නවා
    8. "තන්හා සමුදයා සංඥා සමුදයො"ති කියන්නේ තන්හාව නිසා යම් කිසි සංඥාවක් එක්කත් ආශ්වාදයක් හදාගන්වා
    9. "තන්හා සමුදයා සංඛාර සමුදයො"ති කියන්නේ තන්හාව නිසා යම් කිසි චිත්තයක් එක්කත් ආශ්වාද හදාගන්වා
    10. "තන්හා සමුදයා විඥ්ඥාන සමුදයො"ති කියන්නේ

    ඊ ලඟ එක "කර්ම"

    කර්ම කියන එක පටිච්චසමුප්පාදයේ යෙදෙන්නේ අවිද්‍යා > සංඛාර > විඥ්ඥාන > නාමරූප > සලායතන > ඵස්ස > වේදනා > තන්හා > උපාධාන > භව කියන තැනයි

    ඔය භව දෙ ආකාරයි. කර්ම භව, උත්පත්ති භව

    කර්ම භව ගොඩ නඟලා ගොඬනඟලා ඒ කර්ම ගොන්නෙන් සම්භාවිතාව අනුව තමයි "උත්පත්ති භවය තීරනය" වෙන්නේ

    මෙන්න මේ කර්ම භවයේ කර්ම ගැනයි මේ කියන්නේ

    11. "කර්ම සමුදයා රූප සමුදයො"ති කියන්නේ කර්මය නිසා රූපය පිළිබඳව උපාධානයක් ඇතිකරගන ආශ්වාදයක් විඳිනවා
    12. "කර්ම සමුදයා වේදනා සමුදයො"ති කියන්නේ කර්මය්ය් නිසා වේදනාවක් දැනුනම ඒකත් එක්කත් ආශ්වාදයක් හදාගන්නවා
    13. "කර්ම සමුදයා සංඥා සමුදයො"ති කියන්නේ කර්මය නිසා යම් කිසි සංඥාවක් එක්කත් ආශ්වාදයක් හදාගන්වා
    14. "කර්ම සමුදයා සංඛාර සමුදයො"ති කියන්නේ කර්මඅය් නිසා යම් කිසි චිත්තයක් එක්කත් ආශ්වාද හදාගන්වා
    15. "කර්ම සමුදයා විඥ්ඥාන සමුදයො"ති කියන්නේ

    ඊ ලඟට ආහාර ගමු.

    මේ ආහාර කියන්නේ බත් පාං, කව්පි මුං ඇට නෙවෙයි

    ආහාර වර්ග 4යි
    *කබලීකාර ආහාර
    *ස්පර්ශ ආහාර
    *මනෝසංචේතනා ආහාර
    *විඥ්ඥාන ආහාර

    පුත්තමංස සූත්‍රයේ තියන උදාහරන එක්ක මේ ආහාර ගැන බලමු.

    කබලීකාර ආහාර කියන්නේ ආශ්වාද කය පවත්වාගන්න අවශ්‍ය ආහාරයි. "නිවන් දකින්න යන ගමනේ සසර කියන කාන්තාරයක් මැදින් යන යන දෙමව්පියෝ කෑම ඉවර වෙලා තුන් දෙනාම මැරෙන්න යද්දී තම එකම පුතා මරාගන කාලා තුන් දෙනාම මැරෙන්නේ නැතුව දෙන්නෙක් බේරිලා යද්දී, ඒ මස් කෑවේ රස තෘෂ්නාවකින් නෙවෙයි". ඒ ආහාර ගන්න එකම අරමුණ ජීවත් වීමයි. ජීවත් වෙන්නේ කාන්තාරයෙන් එගොඩ වෙන්නයි. අන්න ඒ වගේ ආශ්වාද කයක් හදාගන්නේ නැතුව නිවන් දකින්න යන ගමනේ කය පවත්වගන්න පමණක් ගන්න ආහාරයයි කබලීකාර ආහාර කියන්නේ. මේ ආහාර ලැබෙන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාන කියන පංචස්කන්ධයටයි

    යම් පුද්ගලයෙකුර ප්‍රරබල අරමුනක් ආවොත් මම මේ සසරෙන් එගොඩ වෙනවාමයි කියලා ඒ කෙනාට වස්තු කාම, ක්ලේෂ කාම නිරෝධයෙන් අනාගාමී වෙන්න පුළුවන්.

    ස්පර්ශ කියන එක පටිච්චසමුප්පාදයේ යෙදෙන්නේ අවිද්‍යා > සංඛාර > විඥ්ඥාන > නාමරූප > සලායතන > ඵස්ස කියන තැනයි

    ස්පර්ශ ආහාරය කියන්නේ හම ගහලා ඉන්න හරකෙකුට වටේ පිටේ ඉන්න සත්තු අනිද්දී වේදනාවක් එනවා. ඒ වගේ ස්ඵර්ශ ආහාරය භුක්ති විඳින්නේ නැතුව ස්පර්ශයෙන් ආශ්වාදයක් ගොඩනැඟෙනවා කියලා දැනගන මේ ආශ්වාදයෙන් අයින් වෙලා ස්ඵර්ශය ආහාරයක් කරගන්නේ නැතුව ඉන්නවා. ස්ඵර්ශ ආහාර නිරෝධයෙන් රහත් වෙන්න පුළුවන්.

    මනෝසංචේතනා ආහාරය කියනේ අඟුරු වලකට දාන්න දෙන්නෙක් ඇදන් යද්දී අඟුරු වලට වැටුනොත් නිවන් යන ගමන යන්න බැරි වෙනවා කියලා හිතලා අවිද්‍යා, තෘෂ්ණා කියන ඒ දෙන්නගෙන් බේරිලා ඉන්න එකවගේ වැඩක්. තෘෂ්නාව නිරුද්ද වෙලා, උපාධාන නිරුද්ධ වෙලා මනෝසංචේතනා ආහාර නිරෝධයෙන් අරිහත් වෙනවා

    විඥ්ඥාන කියන එක පටිච්චසමුප්පාදයේ යෙදෙන්නේ අවිද්‍යා > සංඛාර > විඥ්ඥාන

    විඥ්ඥාන ආහාර කියන්නේ රජ කෙනෙකු හොරෙක් අල්ලගන උදේ ආවට පස්සේ කස පහරවල් 100ක් හැහුවට පස්සේ දවල් වෙලා කොහොමද බැලුවමවම හොඳට ඉන්න නිසා තව 100ක් ගහනවා, හවස් වෙද්දිත් හොඳට ඉන්න නිසා හවස තවත් 100ක් ගහනවා
    "විඥ්ඥාන ආහාරය කියන්නේ එක කස පහරක්" කියලා හිතන්න කියනවා.

    අවිද්‍යාපච්චරා සංඛාරා වැඩපිළිවෙලේ විඥ්ඥාන නිසා නාමරූප හැදිලා පටිච්චසමුප්පාද චක්‍රයක් ගෙනියනවා. ඒ නිසා විඥ්ඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධය කරන්න පුළුවන්. ඒ නිසා නාමරූප නිර්මණය වෙන එක න්වත්තන්න විඥ්ඥානය නිරෝධ කරන්න ඕනේ. ඒ නිසා විඥ්ඥාන ආහාර නිරෝධයෙන් රහත් වෙන්නත් පුළුවන්

    16. "ආහාර සමුදයා රූප සමුදයො"ති කිව්වට
    ස්ඵර්ශ සමුදයා තමයි වේදනා සමුදයා වෙන්නේ,
    ස්ඵර්ශ සමුදයා තමයි සංඥා සමුදයා වෙන්නේ,
    ස්ඵර්ශ සමුදයා තමයි සංඛාර සමුදයා වෙන්නේ,
    නාමරූප සමුදයා තමයි විඥ්ඥාන සමුදයා වෙන්නේ

    (අවිද්‍යා > සංඛාර > විඥ්ඥාන > නාමරූප > සලායතන > ඵස්ස > වේදනා >)

    ඒ නිසා කබලීකාර, ස්පර්ශ, මනෝසංචේතනා, විඥ්ඥාන ආහාර කියන මේ ආහාර 4 ඔස්සේ තමයි ආශ්‍රවයන් හදාගන්නේ

    නිබ්බන්තිලක්ෂන කියන්නේ "අන්ධයෙක් වගේ බැඳි බැඳී යන්නේ නෑ" කියන අර්ථයයි
    ආශ්වාද වැඩ පිළිවෙල බැඳි බැඳී වර්ධනය කරගන යන එක නතර කරනවා.

    21. "නිබ්බන්තිලක්ෂන සමුදයා රූප සමුදයො"ති ඔය වගේ තියෙන්නේ....

    ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර එක්ක මෙහෙම බැඳි බැඳී සසරේ යනකොට කෙලවරක් නෑ. අන්තයක් නෑ. ඒ නිසා නිබ්බත්තිලක්ඛන කියනවා

    වැය දක්නේ අවිද්‍යා නිරෝධයෙන් රූප නිරෝධය වේ. නිරෝධය කියන්නේ නැති වෙනවා නෙවෙයි එහෙම ගත්තම අවිද්‍යා නැති වුනාම රූප නැති වෙන්න ඕනේ. රහතන්වහන්සේට වේදනාවත් නැති වෙන්න ඕනේ. රූපය පිළිබඳ අවිද්‍යාවයි නැති වෙන්නේ. රූපයත් එක්ක බැඳීම නැති වෙනවා කියලයි කියන්නේ

    උදය ඥානය කියන්නේ ඔය විදිහට ආශ්වාද උදාවෙන විදිහයි, වැය ඥානය කියන්නේ ආශ්වාද නිරෝධ වෙන විදිහයි මිසක් පධාර්ත වල ශුද්ධාශ්ඨක ඇතිවීම නැතිවීම බලන එක නෙවෙයි

    වැය වීමත් ඔය විදිහටම 25ක් තියනවා

    11.0 දැනගත යුතු වෙනත් කරුණු

    11.1 මාතෘකාපාලි

    උදාහරන 1)
    "මහණෙනි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ මේ පඤ්චොපාදානස්කන්ධයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දනී ද, මහණෙනි, මේ තෙමේ සිවුඅපායෙහි නොවැටෙන ස්වභාව ඇති නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වූ අරිසවු යයි කියනු ලැබේ යි."
    (සංයුත්‌ත නිකාය, සෝතාපන්න සූත්‍රය)

    ඔය කියලා තියෙන්නේ මොකක්ද? පටිච්චසමුප්පාදයයි. ආශ්වාදය, ආදීනවය, නිස්සරනය ගැනයි ඔය කියන්නේ.

    රාග පටිච්චසමුප්පදය ගත්තොත් මෙහෙමයි
    1 රාග අවිද්‍යා
    2 රාග සංඛාර
    3 රාග විඥ්ඥාන
    4 රාග නාම රූප
    5 රාග සලායතන
    6 රාග ඵස්ස
    7 රාගසම්ඵස්සජාවේදනා
    8 රාග තන්හා
    9 රාග උපාධාන
    10 රාග භව

    ඔය හදන වැඩපිළිවෙල "අනිච්චානුපස්සනා කිරීමයි" බුද්ධසාසනයේ ඉගැන්වීම

    ඔය කලින් කිව්ව සෝතාපන්න සූත්‍රයේ මාතෘකාපාලියේ තියෙන්නේ මේ ටික විතරයි

    5 රාග සලායතන
    9 රාග උපාධාන
    7 රාගසම්ඵස්සජාවේදනා
    1 රාග අවිද්‍යා

    ඔය 5,9 කිව්වේ ස්ඵර්ශ ආයතන 6යේ උපාධානස්කන්ධ 5යි
    7 කිව්වේ ආශ්වාදයයි
    අනිච්චානුපස්සනා කිරීම තමයි ආදීනවය
    ඔය ටික අනිච්චානුපස්සනා කළාම රාග අවිද්‍යා නැතිවෙනවා කියලයි ඔය කියන්නේ
    1 රාග අවිද්‍යා නැතිවීම තමයි නිස්සරනය

    උදාහරන 2)
    "සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්‌සති අථ නිබ්බින්දති දුක්‌ඛෙ ඒස මග්ගෝ විසුද්ධියා"
    (මහාවග්ග පාලි)

    2 රාග සංඛාර
    ඔය ටික අනිච්චානුපස්සනා කළාම
    1 රාග අවිද්‍යා

    සබ්බ සංඛාර අනිච්චයි කියලා දැක්කම දුක නැති වෙනවා කියලයි ඔය කියන්නේ

    උදාහරන 3)
    "යෙ ධම්මා හෙතුප්පභවා, තෙසං හෙතුං තථාගතො ආහ, තෙසංච යො නිරොධො එවං වාදිමහාසමණො" (මහාවග්ග පාලි )
    ඔය මාතෘකා පාලිය අහලා සැරියුත් හාමුදුරුවෝ එදා සෝවාන් වුනා. ඔතන තියෙන්නේ පටිච්චසමුප්පාදයයි

    1 රාග අවිද්‍යා
    2 රාග සංඛාර
    7 රාගසම්ඵස්සජාවේදනා

    1, 2 කියන්නේ (අවිද්යා පච්චයා සංඛාරා ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ හදන වැඩපිලිවෙලයි) )ඔය ටික තමයි හේතුපච්චයා කියන්නේ

    ඔය ටික අනිච්චානුපස්සනා කලාම හේතුව නිරෝධය කළ යුතුයි කියලයි ඔය කියන්නේ

    හේතුං පටිච්ච සංහුතා හේතු භංගා නිරුජ්ජතී

    ඔය කියන්නෙත් මේ ටිකම තමා

    උදාහරන 4)
    "යංකිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං" (මහාවග්ග පාලි )

    1 රාග අවිද්‍යා
    2 රාග සංඛාර

    යංකිංචි සමුදයධම්මං කියන්නේ අවිද්‍යව නිසා ආශ්වාද හදාගන්න එකයි
    ඔය ටික නිරෝධ කළ යුතුයි

    උදාහරන 5)
    "ඇවැත්නි, සිල්වත් මහණ මේ පඤ්චෝපාදානස්කන්ධයන් අනිත්‍ය විසින් දුක් විසින් ... අනාත්ම විසින් නුවණින් මෙනෙහි කරනුයේ සෝවන්පල පසක් කරන්නේ ය යන යම් කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ යැ."
    (සංයුත්‌ත නිකාය, ඛන්ධ සංයුක්තය, සීල සූත්‍රය)

    සකෘදාගාමී, අනාගාමී, අරිහත් වෙන්නත් ඔය ටිකම කරන්න කියලයි සීල සූත්‍රයේ තියෙන්නේ

    ඔය කියන්නේ

    9 රාග උපාධාන
    7 රාගසම්ඵස්සජාවේදනා
    1 රාග අවිද්‍යා

    රාග උපාධාන කියන්නේ පංචෞපාධානස්කන්ධය
    රාගසම්ඵස්සජාවේදනා කියන්නේ ආශ්වාදය
    අනිච්චානුපස්සනා කියන්නේ ආදීනවය
    රාග අවිද්‍යා කියන්නේ උපාධාන නිරෝධය

    උදාහරන 6)
    "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" (නිබ්බෙධික සූත්‍රය)

    2 රාග සංඛාර
    10 රාග භව

    රාග සංඛාර කියන්නේ සංචේතනා
    අනුච්චානුපස්සනා කියනෙන ආදීනවය ඒක කළාම
    කම්ම බහ්ව නිරෝධය ඔය කියන්නේ

    ඔය විදිහට ත්‍රිපිටකයේ තියෙන්නේ නිවන් දකින විදිහ මාතෘකාපාලිය
    ඔය හැම එකකම සැඟවිලා තියෙනෙන පටිච්චසමුප්පාදයයි


    11.2.1 ආකාරවතී ශ්‍රද්ධාව, අමූලිකා ශ්‍රද්ධාව

    ආකාරවතී ශ්‍රද්ධාව හටගන්නේ:
    පංචස්කන්ධ විදිහට ධර්මය දන්නවා, සලායතන විදිහට ධර්මය දන්නවා, ධාතු විදිහට දන්නවා, පටිච්චසමුප්පාද විදිහටත් දන්නවා. ආශ්වාද ආදීනව නිස්සරනයට දාලා දහම් විග්‍රහ කරන්නත් පුළුවන්. අන්න ඒක් කෙනාට ආකාරවතී ශර්ද්ධාවක් හටගන්නවා. නොයෙක් නොයෙක් "ආකාර" යේ දහම් දැකීමේ හැකියාව.

    එහෙම නැති අය අනේ මගේ රත්තරන් බුදුහාමුදුරුවෝ කියලා පපුවේ අතගහගන ඉනන්වා. ඒක අමූලිකා ශ්‍රද්ධාව

    11.2.2 ශෘතමය ප්‍රඥාව, චින්තාමය ප්‍රඥාව, භාවනාමය ප්‍රඥාව
    දේසනාභාරවිභංගයේ තියන
    ශෘතමය ප්‍රඥාව: කෙනෙක් අහපු ධර්මය රාගක්ඛය, දේවේෂක්ඛය, මෝහක්ඛය ගැලපෙනවාදැයි බලනවා

    චින්තාමය ප්‍රඥාව : ඔය අහපු ධර්මය තමන්ගේ අත්දැකීම් එක්ක දවස ගානේ පිරික්ස පිරික්සා බලනවා

    ශ්‍රතමය ප්‍රඥාව කල්‍යානමිත්‍රයාගෙන් අහලා දැනගන්නවා,
    චින්තාමය ප්‍රඥාව අපි වැඩිය යුතුයි.

    භාවනාමය ප්‍රඥාව: අනෙකෙකුගේ දේශනා යෝනිසෝමනසිකාරය කිරීමෙන් උපන් නුවන

    11.2.3 ආහාර

    "ඇවැත්නි, ඇත්තේ ය. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ අහාරයත් දනී ද, අහාරසමුදයත් දනී ද, අහාරනිරොධයත් දනී ද, අහාර නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුදු ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි."
    (මජ්‌ඣිම නිකාය, මූල පන්නාසකය, මූලපරියාය වර්ගය, සම්මාදිට්ඨි සූත්‍රය)

    උදය වැය දැනගැනීම හෙවත් අනිච්ච, දුක්ඛ, අනත්ත දැනගැනීම ගැනයි ඔය කියන්නේ

    එතකොට මේ ආහාරය කියන්නේ මොනවද?
    ස්ඵර්ශ ආහාර, මනෝ සංචේතනා ආහාර, විඥ්ඥාන ආහාර, කබලින්කාආහාර

    සත්ත්වයන්ට ඉපදීම පිණිසත්, උපන් සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසත් මෙන්න මේ ආහාර 4ම ඕනේ (බත් පාං, කවුපි මුං ඇට විතරක් නෙවෙයි)

    තෘෂ්නාව හටගැනීමෙන් තමයි මේ ආහාර හටගන්නේ

    ඇයි තෘෂ්නාව හටගන්නේ? අවිද්‍යාව නිසයි
    ඇයි අවිද්‍යාව හටගන්නේ? මේ ආහාර පිළිබඳව නිච්චයි සුඛයි අත්තයි සුබයි කියලා හිතනනිසා (ඒ කියන්නේ අනිච්ච දුක්ක අනත්ත නොදන්නා කම නිසා )

    තන්හා නිරෝධ කෙනා මේ ටික දැනගන සම්මා දිට්ඨියට එනවා

    11.2.4 ප්‍රත්‍යවේක්ෂාව

    රූප පල බල සන්තෝස වෙන එක අයින් කළාට ස්වාමින්වහන්සේලාට සිව් පසය අයින් කරන්න බෑ (ආහාර, ඇඳුම් , බෙහෙත් ටික, සේනාසනය ). අන්න ඒකයි ඔය ටික ප්‍රත්‍යවේක්ෂා කරලා (රාගයෙන් තොරව ) පරිහරනය කරන්න කියන්නේ

    කන ආහාරයේ ගන්ධයට, වර්ණයට, රසයට ජන්දරගයක් ඇති කරාත්තා නම් නැවත භවයක ආහාර ගන්න නැවතත් මේ වගේ කයක් ලැබෙනවා. ආහාරයට තිබෙන ජන්ද රාගයෙන් මිදුනා නම් කාම ලෝකයේන් මිදෙනවා

    ප්‍රත්යවේක්ෂාවෙන් දුරුකල යුතු ආශ්‍රව ගැන සබ්බාසව සූත්‍ර‍යේ "පටිසේවනා පහාතබ්බා" කියනෙන ඕකයි.

    11.2.5 සීලබ්බතපරාමාස

    සක්කාය කියන්නේ මේ කය "සත්" කියලා ගන්න එක. සක්කාය එකක්. සක්කාය දිට්ඨි කියන්නේ තව එකක්. සක්කායදිට්ඨිය කියන්නේ "මම" කියන එකත් එක්ක

    සක්කායදිට්ඨිය කියන එක බමුණෝ ගත්තේ ආත්ම දෘෂ්ඨිය කියලයි (අත්තානු දෘෂ්ඨිය)
    බමුණන්ගේ ඒ කාලේ තිබුණු ආත්ම දෘෂ්ඨිය 6 ආකාරයි

    1) ධ්‍යාන වලින් පෙර භවය දැකපු අය හිතනවා ශරීරය මාරු කර කර යන ආත්මයක් තියනවා කියලා. යන්නේ, එන්නේ, කන්නේ, බොන්නේ, කතා කරන්නේ ඒ ආත්මය තමා
    ඒක තමයි මේ ඉන්න "මම" කියලා හිතනවා. ඒකට කියනවා “සාස්වත දෘෂ්ඨිය” කියලා

    2) ආත්මයක් නෑ කියලා හිතනවා. ඒ නිසා මැරුනට පස්සේ විඳවන්න කෙනෙක් නෑ කියලත් හිතනවා. ඒ නිසා පව් කරනවා. අද කාලේ ඉන්න භෞතික වාදීන් ඉන්නේ ඔය දෘෂ්ඨියේ. ඒකට කියනවා "උද්ජේද දෘෂ්ඨිය" කියලා. බමුණෝ "අනත්ත" කිව්වේ ඕකටයි

    3) ආත්මයේ ඉඳන් ආත්මය හඳුනනවා
    4) මැරෙනකම් විතරක් මේ ආත්මය තියනවා. ඊට පස්සේ ආත්මයක් නෑ
    5) මැරුනට පස්සෙයි මේ ආත්මය තියෙන්නේ
    6) ආත්මය කියන්නේ ස්ථිර, නිච්ච එකක්, ඒක සදාතනිකයි. කවදාවත් ඒ ආත්මය මරණයට පත් වෙන්නේ නෑ… කන්නේ බොන්නේ, රස විඳින්නේ යන්නේ එන්නේ ආත්මයයි

    බුදුහාමුදුරුවෝ කිව්වේ "මම" කියන තැන තියෙන්නේ පංචඋපාධානස්කන්ධයක් කියලයි
    උපාධානස්කන්ධය කිව්වම රාග, ද්වේෂ මෝහ එතනට ගෑවෙනවා කියලා කලින් විස්තරයේ තේරෙන්න ඇතිනේ.

    බමුණන්ගේ විචිකිච්ජාව 16 ආකාරයි (අතීතය ගැන 5යි, අනාගත ගැන 5යි වර්තමානය ගැන 6යි)
    පෙර මම හිටියද/නැද්ද/කෙසේද? (කවුරු වාගේද?)/කොහේ ඉඳන්ද පෙර මම එතනට ආවේ
    මතු භවයේ මම ඇද්ද?/නැද්ද?/කොහොමද?/මතු හවයේ මම කොහොම එතනයට යයිද
    දැන් මම ඉන්නවද?/නැද්ද?/කවුරු වාගෙද?/කෙසේද?/කොහේ ඉඳන් ද මෙතනට ආවේ/ කොහේට යයිද

    කවදා හරි බුදු කෙනෙක් පහල වෙලා පටිච්චසමුපාදයෙන් "මම" කියන කෙනා හැදෙන හැටි දැනගන්නකම් ඔය ආත්ම දෘෂ්ඨි 6යි විචිකිච්ජා 16යි තියනවා. ඔය ආත්ම දෘෂ්ඨි 6යි විචිකිච්ජා 16යි තියනකම් එයා එක එක ගුරුවරු ලඟට ගිහින් වෘත සමාදම් වෙනවා.

    ඒකට කියනවා සීලබ්බත පරාමාස කියලා. බලු වෘත රකිනවා, වතුරේ බැහැලා ඉන්නවා.

    සීලබ්බතපරාමාසය දෙපරිදි වෙයි : සිල් ඇත්තහුගේ හෝ ශුද්ධි ඇත්තහුගේ හෝ යැ.

    එහි සිල්ඇත්තහුගේ සීලබ්බතපරාමාසය කවරැ : මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දෙවාන්‍යතරයෙකිම් වෙමි, එහි පරෙවිපා ඇති අප්සරාවන් සමග ක්‍රීඩා කෙරෙමි, රමණය කෙරෙමි, සිත් අලවා වෙසෙමි එබඳු වූවහුගේ යම් කැමැත්තක් රුචියක් ඇලීමක් රාගයෙක් රාගපරිවර්තක දෘෂ්ටියක් දැක්වීමක් වේ ද මේ සිල් ඇත්තහුගේ ශීලව්‍රතපරාමර්ශ යි.

    එහි ශුද්ධිඇත්තහුගේ සීලබ්බතපරාමාස කවරැ: මෙලොවැ කිසිවෙක් ශීලය පරාමර්ශ කෙරෙයි : ශිලයෙන් ශුද්ධවෙයි, ශීලයෙන් (සුවයට) පමුණුවයි, ශීලයෙන් මිදෙයි, සුව ඉක්මවයි, දුක් ඉක්මවයි, සුවදුක් ඉක්මවයි, උපරිමභාවයට පැමිණෙයි. ඒ ශීලව්‍රත දෙක පරාමාර්ශ කෙරෙයි: ඒ ශීලව්‍රත දෙකින් ශුද්ධ වෙති, මිදෙති, පමුණුවති, සුව ඉක්මවති, දුක් ඉක්මවති, සුවදුක් ඉක්මවති, (නිවනට) පැමිණෙත් යයි. (අවිසුචිකරං ... මෙහි සිට වාක්‍ය ය ව්‍යාකල යි.) එබඳු වූවහුගේ යම් කැමැත්තක් රුචියක් මුක්තියක් ප්‍රෙක්ෂණයෙක් ආකාරපරිවතර්කයෙක් දෘෂ්ටිය සිතීමෙක් දැකීමෙක් වේ ද, මේ විශුද්ධි ඇත්තහුගේ සීලබ්බතපරාමාස යි.

    (ඛුද්‌දක නිකාය පෙටකොපදෙශ ෂෂ්ඨ භූමි)

    11.3 කෙලෙස් පහ කරන ක්‍රම

    කෙලෙස් පහ කරන ක්‍රම 5ක් තියනවා
    තදංග, විශ්කම්භන, සමුච්චේද, පටිපස්සද්දි, නිස්සරණ

    අනිච්ච දුක්ක විදිහට හිතුවම තදංග විදිහට ප්‍රහානය වෙනවා
    ඒ වෙලේ රූපරාග, අරූප රාග, මාන උද්දච්ච, අවිද්‍යා කෙලෙස් තියනවා

    ධ්‍යානයකට ගිහින් ගොඩක් වෙලා හිටියම විශ්කම්භන විදිහට ප්‍රහානය වෙනවා
    උණ ගහකට ඇදය අරින්න ටික දවසක් ගල් පටවලා තිබුනම ටිකක් ඇදෙය කෙලින් වෙනවා, ගොඩක් දවසක් ගල් පටවපුවහම ගොඩක් කෙලින් වෙනව වගේ

    සෝවාන් කෙනා ධ්‍යානයකට සම වැදිලා සමුච්චේද වශයෙන් කෙලෙස් ටිකක් ප්‍රහානය වුනාට පස්සෙ සකෘදාගාමී වෙන්න පුළුවන්
    (පටිපස්සද්දි නිස්සරන වෙලා නැති නිසා අනාගාමී නෑ. සංයෝජන ධර්ම නැති වෙන්න ඕනේ ඒකට)

    සමුච්චේද වශයෙන් ප්‍රහානය වුනාට පස්සේ ආයේ කෙලෙස් එන්නේ නෑ
    දවස් 7ක් සතර සතිපට්ඨානය වඩන්න කියන්නේ ඒකයි

    සෝවාන් කෙනා ධ්‍යානයකට සම වැදිලා සමුච්චේද වශයෙන් කෙලෙස් ටිකක් ප්‍රහානය වුනාට පස්සෙ සකෘදාගාමී වෙන්න පුළුවන් (පටිපස්සද්දි නිස්සරන වෙලා නැති නිසා අනාගාමී නෑ. සංයෝජන ධර්ම නැති වෙන්න ඕනේ ඒකට )

    11.4 සබ්බාසව සූත්‍රයේ ආස්‍රව නැසීම

    1 මහණෙනි සෝවාන් මඟ නුවනින් පහ කළයුතු ආශ්‍රව ඇත (දස්සනා පහාතබ්බා)-

    අනිච්ච දුක්ඛ, අනත්ත මෙනෙහි කරලා සෝවාන් වීමෙන් (දර්ශනයෙන්) නැති වෙන කෙලෙස් (සක්කායදිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස නැති වෙන්නේ දර්ශනයෙන්.

    2. ස්මෘති සංඛ්‍යාත සංවරයෙන් පහ කළයුතු ආශ්‍රව ඇත. (සංවරා පහාතබ්බා)
    - සිහියෙන්, සතියෙන්, මතක තියාගන ඉඳලා පහ කරන ආශ්‍රව. හැම සෙනසුරාදම බොන්න යනව නම් සිහියෙන් මතක තියාගන ඉඳලා නොයා ඉන්න එක වගේ.

    3. ඥාන සංවර සංඛ්‍යාත ප්‍රත්‍යවේක්ෂා ප්‍රතිසේවනායෙන් පහ කල යුතු ආශ්‍රව ඇත (පටිසේවනා පහාතබ්බා)
    - තමන්ගේ බුද්ධියෙන් ආහාර ප්‍රත්‍යවේක්ෂාව, චීවර ප්‍රත්‍යවේක්ෂාව වගේ තමන් පරිහරනය කරන දේවල් ප්‍රත්‍යවේක්ෂාව කරලා පහ කරන කෙලෙස්

    4. ක්ෂාන්ති සංවර සංඛ්‍යාත අධිවාසනායෙන් පහ කලයුතු ආශ්‍රව ඇත (අධිසේවනා පහාතබ්බා) - ධ්‍යාන වඩලා ඒවගේ තියන චිත්ත ක්ෂාන්තිය මෙනෙහි කරලා නැති කරන ආශ්‍රව

    5. සීල සංවර සංඛ්‍යාත අධිවාසනායෙන් පහ කල යුතු ආශ්‍රව ඇත (පරිවජ්ජනා පහාතබ්බා)
    - සිල් වතක් සමාදම් වෙලා සීල සංවරයෙන් පහ කරන කෙලෙස් (ඒකට ලෝකෝත්තර සම්මාදිට්ඨිට තියෙන්න ඕනේ )

    6. වීර්‍ය සංවර සංඛ්‍යාත විනොදනයෙන් පහ කල යුතු ආශ්‍රව ඇත (විනොදනා පහාතබ්බා)
    - වීර්‍ය වඩලා මම ඒකට නොගිහින් ඉන්නවා කියලා උත්සාහයක් අරන් නැති කරන ආශ්‍රව

    7. උපරිමාර්ගත්‍රය හා සම්ප්‍රයුක්ත බොජ්ජංගයන්ගේ භාවනාවෙන් පහ කල යුතු ආශ්‍රව ඇත (භාවනා පහාතබ්බා)
    - සප්ත බොජ්ජංග වැඩීමෙන් භාවනාවෙන් නැතිවන කෙලෙස්

    11.5 උපේක්ෂාවේ අනිච්ච දකින හැටි

    වේදන චෛතසිකයට අයිති සුඛ වේදනා, දුක් වේදනා අධුක්කම සුඛ වේදනා තියනවා.

    ඔතන අධුක්කම සුඛ වේදනා කියන්නේ (අධුක්ක + අසුඛ කියන එක )

    ඒ උපේක්ෂාවත් ආකාර 3ක් ගන්නවා
    සාමිස උපේක්ෂා
    නිරාමිස උපේක්ෂා
    නිරාමිස තර උපේක්ෂා

    සාමිස උපේක්ෂා කියන්නේ වේදනා චෛතසිකයේ තියන සැප දුක් උපේක්ෂා වල උපේක්ෂාව
    ඇසට, කනට රූපයක් ගැටුනම සැපත් නැති දුකත් නැති අවස්ථාවක තියෙන්නේ සාමිස උපේක්ෂාවයි

    කිසිම සද්දයක් නැතුව භාවනා කරගන ඉද්දී එක්කනෙක් මැෂින් එකක් ඔන් කරනවා. ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නේත් නැතුව ඉද්දී දුක වේදනාවක් ආවා. උපේක්ෂාව වෙනස් වුනා දුක්ඛ වේදනාවට. ඒ උපේක්ෂා වේදනාවට කැමැත්තෙන් හිටියා. ඒක වෙනස් වුන ගමන් ගැටුනා.

    එක පාරම ෆෑන් ඒක් සද්දය්ක් නැති වෙලා නිශ්ශබ්ධතාවයක් ආවම ඒකට ඇලෙනවා. අවිද්‍යාව නිසයි එහෙම වුනේ
    ඒක අනිච්චයි දුක්කයි කියල හිතන්න ඕනේ. එතකොට ඇලීමට ගැටීමට යන්නේ නෑ. ඒ කියන්නේ උපේක්ෂ තර උපේක්ෂාවේ ඉන්නේ (කම ලෝකයෙන් ලෝකෝත්තර උපේක්ෂාවට යනවා )

    ඇසට කාම ලෝකයේ (සතර අපාය දිව්‍ය ලෝක 6 මනුස්ස ලෝක) සත්ත්වයෙකුගේ ඇසට යමක් ගැටුනා නම් යම් සැපක් දුකක් උපදින ඒවා සාමිසයි
    එහෙම උපදින උපේක්ෂාව සාමිස උපේක්ෂාව

    නිරාමිස උපේක්ෂාව කියන්නේ 4 වන ධ්‍යානයට ගිහාම තියන උපේක්ෂාව
    ඇහැට, කනට මොකුත් ගැටිලා ලබපු එකක් නෙවෙයි
    එතන සැපත් නෑ, දුකත් නෑ
    4 වන ධ්‍යානයේ උපේක්ෂාවට ඇලිලා හිටියොත් භව නිරෝධ නෑ. බ්‍රහ්මලෝකයේ

    ඒක “නිරාමිස තර” නෑ. මොකද අවිද්‍යාවෙන්

    ඒ උපේක්ෂාවත් අනිච්චයි දුකයි අනත්තයි කියලා නිවන නිච්චයි සුඛයි අත්තයි කියලා හිතුවම "නිරාමිස තර උපේක්ෂා"වට යානවා

    තව උපේක්ෂාවක් තියනවා. මෙත්තා, කරුනා, මුදිතා උපේක්ෂා වල තියන උපේක්ෂාව
    ඒක වේදනාවක ගැන කියන ස්වභාවයක් නෙවෙයි
    මනසේ ස්වභාවයක් (මනසේ ගුනයක් මිසක් වේදනාවක් නෙවෙයි )

    උපේක්ෂාව විදර්ශනා කරන්නේ ඔන්න ඔහොමයි

    මේ හා සම්බන්ධ අනෙකුත් ලිපි පහතින් බලන්න

    නිවන්_මඟ_මෙන්න-(Part 19/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 20/20)

    ඉහත සියළුම ලිපි එකතුවක් (පොතක් ලෙස) ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්
     
    Last edited:
    • Love
    Reactions: hodakolla