අසිරිමත්_පසේබුදු_පෙළහර

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අසිරිමත්_පසේබුදු_පෙළහර

    a0912025.jpg



    අපගේ ශාස්තෘන් වහන්සේ අතීතයේ වැඩ සිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගැන මෙන්ම පසේ බුදුරජාණන් වහන්සේලා ගැන අපට හෙළිදරවු කොට වදාළා. අතීතය, වර්තමානය හා අනාගතය යන තුන් කාලය පිළිබඳව කිසිවෙකුට වසාලිය නොහැකි ඥාණයක් අපගේ ශාස්තෘන්වහන්සේ තුළ තිබුණා. එය ‘ අනාවරණ ඥාණය ‘ නමින් හඳුන්වයි.

    ඒ අනාවරණ ඥාාණයෙන් යුතු භාග්‍යවතුන් වහන්සේගේ පුබ්බේනිවාසානුස්සති ඤාණය උන්වහන්සේගේ පුද්ගලික ජීවිතයේ සසර පෙළ ගැස්ම දැකීමට පමණක් සීමා වෙලා තිබුණේ නැහැ. උන්වහන්සේට ඕනෑම කෙනෙකුගේ ගෙවුණු අතීතය දැක ගැනීමේ හැකියාව තිබුණා. පසේ බුදුවරයන් වහන්සේලා පිළිබඳවත් අපට විස්තර කොට දෙන්නේ ඒ අසිරිමත් බුදුනුවණ මනාව හැසිරවීමෙනුයි.

    සුත්ත නිපාතයේ චග්ගවිසාණ සුත්‍රයට අයත් උතුම් ගාථාවන්වලින් පසේබුදුවරුන් පිළිබඳව අපට ඉගෙන ගැනීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම ඔබ දැනගත යුතුයි බුදුවරයන් වහන්සේලා , පසේ බුදුවරයන් වහන්සේලා , මෙන් ම මහබෝසතාණන් වහන්සේලා ද පහළ වන්නේ දඹදිව තලයේ පමණක් බව ජම්බුද්වීපය යනු බුදුවරුන්ගේ භූමියයි. කෙලෙස් තවන උතුමන්ගේ භූමියයි.

    එයිනුත් මධ්‍ය මණ්ඩලය ඉතා වැදගත්. හිමාල පර්වතයෙන් මෙපිට ඊසාන දිගට නැඹුරුව පහළ මැද කොටස තෙක් භූමිය මධ්‍ය මණ්ඩලයයි. බරණැස් නගරය පවා පිහිටා තිබෙන්නේ එම මධ්‍ය මණ්ඩලයේ ම යි. මිනිසුන්ගේ ආයුෂ අසූ දහසක් වූ කල්හි අද බරණැස් නුවර නමින් හඳුන්වන නගරය එකලට ‘ කේතුමතී ‘ නාමයෙන් හැඳින්වේ. එම කේතුමතී නගරයේ තමයි මෛත්‍රී බුදුරජුන් පහළ වන්නේ.

    මෙම කථාවේ සඳහන් වන පසේ බුදුරජාණන් වහන්සේ උපත ලැබුවේ බරණැස් නුවරයි. මුන්වහන්සේ ගිහිකළ බරණැස් නුවර රජතුමා වශයෙනුයි කල් ගෙවා තිබුණේ. ලෝකයේ වෙන රටවල රජවරුන්ට වඩා දඹදිව රජවරුන්ගේ ප්‍රධාන වෙනසක් තිබෙනවා. එනම්, ඒ රජවරුන් තුළ පවා සංසාර විමුක්තිය පිළිබඳව කිසියම් උද්වේගකර හැඟීම් තිබීමයි. ඇතැම් විට ඒ රජවරු ශ්‍රමණ බ්‍රාහ්මණවරු ගෙන්වාගෙන ධර්මය අසනවා. ඇතැම් රජවරු තමන්ගේ රාජකීය උද්‍යාන පවා ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට පුදනවා.

    ඇතැම් රජවරු සියල්ල දන් දී තම රාජ්‍ය පවා අන් අයට පවරා වනගතව තපස්ස රකිනවා. රජවරුන්ගේ ඉතිහාසයේ විමුක්ති සාධනය පිණිස අභිනික්මන් කළ තොරතුරු සඳහන් වන්නේ දඹදිව් තලයේ පමණි. පසේ බුදුවරුන් පිළිබඳව සඳහන් වන තොරතුරු වලදී පැහැදිලි වන්නේ බොහෝ පසේබුදුවරු රජමාලිගාවල රජකමට උරුම කියමින් ඉපදී ඇති බවයි. එමෙන්ම රජකම් කරමින් සිටියදී නිකෙළෙස් වී ඇති බවයි.

    මෙම පසේබුදුවරයන් වහන්සේ ද බරණැස් නගරයේ රජු බවට පත්ව සිටියා. මොහු රජ කරමින් සිටිය දී නොයෙකුත් උත්සව, සම්භාෂණ සහ පුදපූජාවන්ට සහභාගී වුණා. නමුත් ක්‍රමක්‍රමයෙන් මේ රජුගේ සිත භාවනාවට යොමු වුණා.

    සිත එකඟ වුණා. රජතුමා නොසිතූ ආකාරයට ප්‍රථම ධ්‍යානය උපදවා ගැනීමට හැකි වූවා. ධ්‍යානයට සමවැදී එයින් නැඟී සිටි රජතුමා තමා ගත කරමින් සිටින ලෞකික ජීවිතයේත්, පංචනීවරණ යටපත් කොට ඇතිකරගත් චිත්ත සමාධියේත්, වෙනස පැහැදිලිව වටහා ගත්තා. රජතුමා කල්පනා කරන්නට පටන් ගත්තා.

    ඔව් .... ! මම කුමාර අවධියේ කෙළිසෙල්ලමෙන් කල් ගෙවුවා. එකලත් මට සිතට පී‍්‍රතිය දැනුණා. හැබැයි මෙම ධ්‍යාන සුවයෙන් ලබන නිරාමිස සුවය හා සසඳා බලද්දී කෙළිසෙල්ලමෙන් ලද පී‍්‍රතිය නම් ලාමක දෙයක්ම යි.

    ඔව් ...... ! මං උද්‍යාන ක්‍රීඩාවෙන් පී‍්‍රතිමති වුණා. මල්ගොමු සියාරා ඇවිද ගියා. අශ්වරේස් ගියා. සොබාදහමේ රස වින්ඳා. ඒ සියලු පී‍්‍රතිය ඒ සැණෙකින් ම අවසන් වුණා. නමුත් ධාන්‍ය සුවයෙන් මා ලැබූ පී‍්‍රතිය අභියස ඒ සියලුම දේ ලාමක දෙයක්මය.

    ඔව් .... ! මම රාජකෘත්‍යය නිසා යම්කිසි සතුටක් ලැබුවා. මාගේ බල පරාක්‍රමය පතුරවමින් සතුටක් වින්ඳා. අධිපතිභාවය නිසා මම සතුටක් ලැබුවා. ඒ සියලු දේ මොනතරම් ලාමක ද කියා මට වැටහෙන්නේ මේ දැහැන් සුවය හා සසඳා බලන විටයි.

    ‘ දැන් මේ රාජකීය ජීවිතය තුළ කිසි සැපතක් පෙනෙන්න නැහැ. නමුත් රජකම එකවරම අත්හැරියොත් රට අවුල් වෙන්න පුලුවනි. නමුත් මා ලද විරාගී මානසික සුවය තරම් මගේ ජීවිතය සුවපත් කළ වෙන දෙයක් නැහැ. කෙසේ හෝ බණ භාවනා කළ යුතුයි. දැන් කළ යුත්තේ ඇමැතිවරුන් සතර දෙනෙකුට රජය පවරා මා වරින් වර සොයා බැලීමයි ... “

    ඉතින් ඒ රජතුමා විශ්වාසනීය ඇමැතිවරු හතර දෙනෙක් කැඳෙව්වා. රාජ්‍ය පාලනය දැහැමිව කරගෙන යාමේ වටිනාකම පවසා සිටියා.

    “ ඇමැතිවරුනි, රජකම් කිරීම නැණවතුන් විසින්ම කළයුතු දෙයක්. මේ සඳහා විශේෂයෙන්ම හිතවත්කම අවශ්‍යයි. එකිනෙකා කෙරෙහි මිත්‍රභාවය, වගේම කිසි දිනෙක රාජ්‍ය ලෝභය උදෙසා එකිනෙකා කෙටවීම කළයුතු නැහැ.

    අල්ලස් ගනුදෙනු , වංචා කළයුතු නැහැ. ඒ මිත්‍රත්වය තිබිය යුත්තේ පොදු ජනයාගේ යහපත උදෙසායි. නමුත් ඔබලා මිතුරු වී ජනතාව පෙළන්නට ගියහොත් රාජ්‍ය කෘත්‍යය අසාර්ථක වෙනවා. ‘ ඇමැතිවරුනි, මම ටික කලක් විවේක ගන්නවා. ඔබලාට අවශ්‍ය උපදෙස් දෙනවා. මා පරිදි ඔබත් දැහැමින් සෙමෙන් රාජ්‍යය කරන්න “.

    ඇමැතිවරු කැමැති වූවා. රජතුමා සතුටට පත් වී රජකම ඇමැතිවරු සතර දෙනාට පැවැරුවා. ඔවුන් ටික කලක් ඉතාමත් භක්තියෙන් ගෞරවයෙන් රජකම කළා. ටික කලකදී මොවුන් බලයෙන්, ඉසුරුබවෙන් මත් වුණා. අධිපතිබවෙන් මුළා වුණා. තම තමන්ගේ හිත මිතුරන්ට විශේෂ ලෙන්ගතුකම් දක්වන්නට පටන් ගත්තා. සාධාරණ දැහැමි බව වෙනස් වූවා. අල්ලස් ගත්තා. හිමිකරුවා අහිමිකරුවා කලා. අහිමිකරුවා හිමිකරුවා කළා. කොතරම් උපදෙස් දුන්නත් ඔවුන්ගේ ක්‍රියාව අදැහැමි වූ නිසා රජය පිරිහෙන්නට පටන් ගත්තා.

    එක්තරා දවසක් රජුගේ හිතෛෂි කෙනෙකු රජුට ආහාර සපයන පිරිස සමඟ රජ මාලිගාවට ගියා. සියලු දූෂණ, වංචා පිළිබඳව රජතුමාට හෙළිකළා.

    මහත් සංවේගයට පත් රජු, ඇමැතිවරුන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව කණස්සල්ලට පත්වුණා. රජුගේ බණ භාවනා කටයුතු අඩාල වුණා. සිත විසිරෙන්නට පටන් ගත්තා.

    දිනක් රජතුමා නඩු විසඳන අධිකරණ සමථ ශාලාවට පැමිණියා. එහිදී රජතුමා දුටු මහජනයා මහ හඬින් ඝෝෂා කළා.

    ‘ නුඹවහන්සේ දැහැමිව පාලනය කළ රාජ්‍යය මේ ඇමැතිවරු වනසනවා. ඔවුන් අල්ලස් ගන්නවා. හිමිකරුවන් අහිමිකරුවන් කරනවා. අහිමිකරුවන් හිමිකරුවන් කරනවා. ඔවුන් රාජ්‍ය බලය තුළින් ධනවතුන් වෙනවා. මෙයින් ඔබ වහන්සේ අපව මුදා ගනු මැන ... “

    රජතුමා බලවත් කණගාටුවට පත්වුණා. දයා විරහිත ඇමැතිවරු යහපත වනසා ඇති අයුරු වැටහුණා. රජු වෙනදාමෙන් භාවනා කරන්න පටන් ගත්තා. එය නොහැකි වුණා. චිත්ත සමාධිය නැතිවුණා. ධ්‍යානය පිරිහුණා.

    රජතුමා කල්පනා කළා. මම බණ භාවනා අතහැර රජකම කළයුතුයි. නැත්නම් රාජ්‍ය පාලනය අතහැර දමා දිගටම භාවනා කළයුතුයි. මේ බරණැස නගරයේ පහළ වූ පළමු වැනි රජු මම නොවේ. අවසාන රජුත් මම නොවේ.

    කෙලෙස් සහිත ලෝකයේ තුළ අවංක රාජ්‍ය පාලනයක් නම් කිසිසේත් බලාපොරොත්තු වෙන්න බැහැ. රජකමට ආසා කිරීමෙන් ඇති ඵලය කුමක්ද? මම රජකම අත් හරිනවා ..... “

    රජු, රජකමට ඇති ආශාව අත් හැරියා. මහජනයාට සිදු වූ විපත ගැන හටගත් චිත්ත පීඩාව අත හැරියා. නැවතත් භාවනා කළා. සිත එකඟ වූවා. ධ්‍යානගත වුණා. රජු නැවතත් සිතන්න පටන් ගත්තා.

    රජතුමා ටිකෙන් ටික ඉපදීමට හේතුව සොයන්න පටන් ගත්තා. ජීවිතයේ කිසි දිනෙක නොඇසු අද්භූත වැටහීමත් ඇති වුණා. උපතට හේතුව භවයයි. භවයට හේතුව උපාදානය බව වැටහුණා. උපාදානයට හේතුව තණ්හාවයි. තණ්හාවට හේතුව විඳීමයි. වින්දනයට හේතුව ස්පර්ශයයි. ස්පර්ශයට හේතුව ආයතන හයයි . ආයතන හයට හේතුව නාමරූපයි. නාමරූපයට හේතුව විඤ්ඤාණයයි. විඤ්ඤාණයට හේතුව සංස්කාරයි. සංස්කාරයට හේතුව අවිද්‍යාව බව වැටහුණා. රජු තුළ තිබූ අවිද්‍යාව ක්‍රම ක්‍රමයෙන් දුරු වී ගොස් සත්‍යාවබෝධ නම් වූ විද්‍යාව පහළ වුණා. ආසවක්ඛ්‍ය ඤාණය ඇතිවුණා. නිකෙළෙස් වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වුණා.

    පසේබුදුරජුන් උඩුමහලෙන් පහතට වැඩියා. රාජ්‍යකරණයට අනුශාසනා කරන ලෙස ඇමැතිවරු ඉල්ලුවා.

    “ මම දැන් රජ කෙනෙක් නොවේ. මගේ සිතේ යම්කිසි විරාගී සතුටක් තිබෙනවා. ලොව කිසිවෙකුට නො ඇලුණ කිසියම් අද්භූත චමත්කාරයක් මට දැනෙනවා. මා රාජකීය ජීවිතයට අයත් නැහැ කියලයි මට සිතෙන්නේ. මා තුළ කුමක්දෝ අසිරියක් වී තිබෙන බවයි මට වැටහෙන්නේ.’

    ‘ දේවයන්වහන්ස ඔබවහන්සේ කිසියම් ජීවිතාවබෝධයක් ලැබුවාද ? අප අසා තිබෙන්නේ විරාගි සතුටක් ලබන්නේ පච්චේකබුද්ධ නම් වූ ශ්‍රමණයන් වහන්සේලා බවයි. ඔබවහන්සේ එවැනි කෙනෙක් නොවේ. ඒ පසේබුදුවරුන් කෙස් රැවුල් බාලා, සිවුරු පාත්‍රා දරනවා. පිඬුසිඟා යැපෙනවා.”

    එවිට මෙතුමා හිස අතගෑවා. එසැණින් කෙසර රැවුල් නොපෙනී ගියා. රාජකීය වස්ත්‍ර නොපෙනී ගියා. ඉර්ධියෙන් සිවුරු පිරිකර පෙරවී ගියා. පාත්‍රය ලැබුණා. ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත්වුණා. ඇමැතිවරු උන්වහන්සේ පාමුල වැඳ වැටුණා.

    ‘ අනේ පින්වතාණන් වහන්ස, ඔබවහන්සේ මේ රාජ්‍යය හැර වඩින්න එපා. අපට අනුකම්පා කර, ඔබවහන්සේගේ කරුණා, මෛත්‍රියෙන් යුතු පාලනය අප හැමටම යහපතක් සැපයක්.

    එවිට ඒ පසේබුදුරජාණන් වහන්සේ මෙම උදානය පහළ කොට අහසට පැන නැංගා.

    මිත්තේ සුහජ්ජේ අනුකම්පමානෝ
    භාජෙ අත්ථං පටිබද්ධ චිත්තෝ
    ඒතං භයං සන්ථවේ පෙක්ඛමානෝ
    ඒකෝ චරේ ඛග්ගවිසාණ කජපෝ


    “ මිතුරන් සමඟ සුහදවෙලා පමණක් අනුකම්පා කරන්නට ගියොත්, ඔවුන් කෙරෙහි දැඩිලෙස ඇල්ම ඇතිව බැඳී ගියොත්, ලොවට සිදුවිය යුතු පොදු යහපත දුරුවෙලා යනවා.

    මිතුරන් සමඟ එක්ව වාසය කිරීමේ ඇති ඔය අනතුර මට පේනවා. දැන් මං නිදහස් ! ඇත්තටම මම හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තිබෙන තනි අඟක් වගෙයි. “

    මේ ආකාරයෙන් හුදෙකලාවේම චතුරාර්ය සත්‍ය අවබෝධකරගත් පසේබුදුරජාණන් වහන්සේලා පන්සිය නමක් දඹදිව ඉසිගිලි පරිවතයෙහි වැඩ සිටින බව ඉසිගිලි සුත්‍ර දේශනාවේදී අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාලා. උන්වහන්සේලාගේ නම්ගොත් පවා වදාලා. සම්බුදු පෙළහර සැබැවින්ම අසිරිමත් !




     
    • Like
    Reactions: maheshsenadheera

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයිට පෙර කොටස් කිහිපයක් තිබුණා කියලා මට මතකයි..ඔයා මැදක ඉඳන් පටන්ගෙන තියෙන්නෙ.. මුල ඉදන් දැම්මා නම් වටිනවා..
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඔයිට පෙර කොටස් කිහිපයක් තිබුණා කියලා මට මතකයි..ඔයා මැදක ඉඳන් පටන්ගෙන තියෙන්නෙ.. මුල ඉදන් දැම්මා නම් වටිනවා..



    අසිරිමත්_පසේබුදු_පෙළහර II
    http://www.elakiri.com/forum/showthread.php?t=1466337

    අසිරිමත්_පසේබුදු_පෙළහර III
    http://www.elakiri.com/forum/showthread.php?t=1466663