සමනළුන් ගැන මොනවද දන්නේ. . . .

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
සමනළුන් ගැන මොනවද දන්නේ. . . .

සමනළුන් පිළිබඳව ඇසෙත් ම අපට එක්වර ම මතකයට නැගෙන්නේ මල් පැණි උරා බොන සත්ත්වයකු පිළිබඳ ව ය. එහෙත් සියලූ සමනළයෝ මල් පැණි ආහාරයට නොගනිති.

සමහර සමනළුන් ඉදුණු පළතුරු වැනි දෑවල අඩංගු යුෂ, සත්ත්ව වසුරුවල අඩංගු යුෂ ආහාරයට ගනිති.


10871300.jpg

මීට අමතර ව සමනළුන් තෙත් පසේ ඇති ජලය උරා බීම විශේෂිත චර්යාවකි. මෙයින් සමනළුන් සිදුකරන්නේ පසේ අඩංගු ශරීරයට අවශ්‍ය අයන වර්ග උරා ගැනීම යි. මේ චර්යාව පිරිමි සතුන් ගේ දක්නට ලැබේ. සමහර අවස්ථාවන්හි තෙත් පසේ රංචු වශයෙන් වසා සිටිමින් සමනළයෝ අයන උරා ගනිති. මෙවිට ඔවුන් ගුදයෙන් ජල බිංදු පිට කිරීම දැකගත හැකි ය. මෙසේ පිරිමි සතුන් ශරීරයට ලබා ගන්නා අයන, ප‍්‍රජනන ක‍්‍රියාවලියේ දී ගැහැනු සතුන් හා හුවමාරු කර ගන්නා බව සඳහන් වේ.
සමනළුන් ගේ ප‍්‍රමාණය අනුව උන් යුෂ උරා බොන මල්වල ස්වභාවය ද වෙනස් වේ. මුකුටය දිග පුෂ්පයන්හි පැණි උරා බීමේ බොහෝ විට යෙදෙනුයේ ප‍්‍රමාණයෙන් විශාල සමනළුන් ය. කුඩා සමනළුන් කුඩා මල්වල පැණි උරා බොති. මල්වල වර්ණය අනුව ද සමනළුන් ඒ වෙත පැමිණීම තීරණය වේ.

සමනළුන් ගේ පැවැත්මට පැණි දරන සපුෂ්ප ශාක මෙන් ම ඉතා වැදගත් වන්නේ පෝෂක ශාකයන් ය. පෝෂක ශාක යනු සමනලයකු ගේ ජීවන චක‍්‍රයේ ප‍්‍රධාන අවස්ථාවක් වන දළඹුවාට පෝෂණය සපයන ශාකයන් ය. සමනළ විශේෂය අනුව පෝෂක ශාකයන් ද වෙනස් වේ. සමහර සමනළුන් එක් කුලයක ශාක, පෝෂක ශාක ලෙස භාවිත කරන අතර සමහර සමනළයෝ විශේෂිත ශාකයන් මත පමණක් යැපෙති.


සමනළුන් අති බහුතරයක ගේ දළඹුවෝ ශාක පත‍්‍ර මත යැපෙති. ශාක ඵල මත, පුෂ්ප මත, යැපෙන සමනළ දළඹුවෝ ඉතා සුළු ප‍්‍රමාණයක් සිටිති. මීට අමතර ව මාංශ භක්ෂක එක් සමනළ දළඹු විශේෂයක් ලංකාවේ වාර්තා වේ.


සමනළ දළඹුවන් යැපෙන පෝෂක ශාකය, දළඹුවා ගේ ජීවිතය පමණක් නො ව අනාගතයේ බිහි වන සමනළයා ගේ ජීවන පැවැත්ම ද තීරණය කරයි. සමනළුන් තම දළඹුවා යැපෙන පෝෂක ශාකය සොයා ගන්නේ ගන්ධය උපයෝගී කරගෙන ය. මේ නිසා සංසර්ගයෙන් පසු ව බිත්තර තැන්පත් කිරීමේ තත්ත්වයට පත් වූ ගැහැනු සත්තු ශාක පත‍්‍ර අතරින් පියඹා යමින්, ශාක පත‍්‍ර මත වරින් වර වසමින් තම දළඹුවා ගේ පෝෂක ශාකය සොයා ගනිති. මේ හැසීරීම් ස්වභාවය අනුව බිජු දැමීමට සැරසෙන සමනළුන්, හොඳ සමනළ නිරීක්ෂකයකුට පහසුවෙන් හඳුනාගත හැකි ය. ඒ ඔස්සේ ගොස් සමනළුන් බිජු දමන ස්ථාන හා ශාක හඳුනා ගැනීමේ හැකියාව ද ඇත.


සමනළ විශේෂයක පෝෂක ශාක එක් කුලයකට හෝ කුල කිහිපයකට හෝ එක් ශාකයක් පමණක් හෝ අයත් වෙයි. එක් ශාකයක් පමණක් පෝෂක ශාක ලෙස භාවිත කරන සමනළුන් ඉතා අවදානම් තත්ත්වයක සිටින සමනළයෝ වෙති. ඊට හේතුව ඒ ශාකය යම් ප‍්‍රදේශයකින් වඳ වී ගිය හොත් ඒ මත යැපෙන සමනළයා ද වඳ වී යෑම සිදුවන නිසා ය.


65878743.jpg


Danainae උප කුලයට අයත් සමහර සමනළ දළඹුවන් ක්ෂීරධර ශාක තම පෝෂක ශාක ලෙස භාවිත කරති. වරා, කිරි අඟුණ, පත් අඟුණ, කනේරු ශාක මෙසේ පෝෂක ශාක ලෙස භාවිතා කරති. ඒ ශාකවල ක්ෂීරයේ අඩංගු රසායනික සංයෝග තම ශරීරය තුළ තැන්පත් කර ගන්නා දළඹුවන් කෝෂගත වීමෙන් පසු ව බිහි වන සුහුඹුල් සමනළයා ගේ දේහයේ ද මේ රසායනික සංයෝග අන්තර්ගත වේ. එය කෘමිභක්ෂක විලෝපීන් ගෙන් ආරක්ෂා වීමට මේ දළඹුවන් හා සුහුඹුල් සමනළයෝ භාවිතා කරති. Papilionidae කුලයේ Common Rose, Crimson Rose සමනළුන් සප්සඳ ශාකය මත යැපෙන අතර එහි පත‍්‍රවල අඩංගු වාෂ්පශීලී අමිහිරි ගන්ධයක් සහිත රසායනික ද්‍රව්‍ය දළඹුවන් ගේ දේහ තුළ තැන්පත් කර ගනිති. එබැවින් මේ සත්තු ද කෘමි භක්ෂකයන්ට අමිහිරි බවක් ගෙන දෙයි. එය පෝෂක ශාකයෙන් සමනළුන්ට හිමි වන විශේෂ වාසියකි.

64375979.jpg


මිනිසාට විෂ සහිත කහඹිලියා ශාකය, පෝෂක ශාක ලෙස භාවිත කරන සමනළ දළඹු විශේෂ ද වෙයි. Angled Castor සහ Common Caster මේ ශාක මත යැපෙති. ඌව පතන් බිම් ආශ‍්‍රිත ව වැඩෙන Baronet සමනළ දළඹුවා කුඩුම්බේරිය ශාකය පෝෂක ශාකයක් ලෙස භාවිත කරයි. කුඩුම්බේරියා ශාකයේ පත‍්‍රවලින් බීඩි එතීම සඳහා භාවිත කරන කොළ ලබා ගැනේ. ඌව පතන්බිම් ආශ‍්‍රිත ව පමණක් මේ ශාකය දැකගත හැකි බැවින් Baronet සමනළයා වාර්තා වන්නේ ද ඒ ප‍්‍රදේශවල පමණි.

අඹ, ජම්බු, බෝ, නුග, ශාකවල අර්ධ පරපෝෂිතයකු ලෙස වැඩෙන පිළිල ශාක මත යැපෙන සමනළ දළඹුවෝ වෙති.Common Jezebel, White Southern Royal සහ Peacock Royal ඒ අතර වෙති. කොළඹ නාගරික ප‍්‍රදේශය ආශ‍්‍රිත ගෙවතුවල, කාර්යාල භූමි වැනි ස්ථානවල පිහිටන අඹ හෝ බෝ ගස්වල පිළිල ශාක බහුල ව තිබෙන බැවින් මේ ප‍්‍රදේශවල Common Jezebel සමනළුන් තරමක් සුලබව දැක ගත හැකි ය. සමහර අවස්ථාවල දී කොළඹ ආශ‍්‍රිත දැඩි නාගරික ප‍්‍රදේශයේ මේ සමනළුන් පියඹා යනු දැකගන්නට ලැබී තිබේ.


48240788.jpg

Plain Cupid සමනළ දළඹූවන් ගේ පෝෂක ශාකය මඩු ශාකය යි. මඩු ශාකයේ දළු වර්ධනය වන කාලයට රංචු පිටින් Plain Cupid සමනළුන් පැමිණ මඩු දළුවල බිත්තර දැමීම සිදු කරති. මේ මඩු දළු වියළී ගොස් ඇති ආකාරයට දිස් වන්නේ ඒවා සමනළ දළඹුවන්ගේ ආහාරයට පත්වීම නිසා ය. කොළඹ නාගරික ප‍්‍රදේශයේ වට රවුම් අලංකරණය සඳහා මඩු ශාක භාවිත කරන අතර, ඒ ශාකවල දළු වර්ධනය වන කාලයට මේ සමනළුන් පැමිණ බිත්තර දමනු නිරීක්ෂණය කළ හැකි ය. බොහෝ නාගරික ගෙවතු අලංකරණය සඳහා මඩු ශාක භාවිත කරන අතර, ඒවායේ දළු වර්ධනය වන කාලයට මේ සමනළුන් පැමිණ බිත්තර දැමීමට පෙලැඹීම සුලබ දසුනකි.

තෘණ ශාක බොහෝ සමනළුන් තම පෝෂක ශාකය ලෙස භාවිත කරති. Satyrinae උප කුලයට හා Hesperridae කුලයට අයත් බොහෝ සමනළයෝ තෘණ ශාක තම දළඹුවන් ගේ පෝෂක ශාක ලෙස භාවිත කරති. Satyrinae උප කුලයට අයත් Gladeya Bushbrown, White Forering, Nigger, Evening Browns, වැනි සමනළුන් සහ Hesperridae කුලයට අයත් Bush Hopper, Common Dart, Smallest Swift, Small Branded Swift වැනි විශේෂ වල දළඹුවෝ තෘණ ශාක මත වර්ධනය වෙති.


64174576.jpg


බට ශාක සිය දළඹුවන් ගේ පෝෂක ශාක ලෙස යොදා ගන්නා සමනළ විශේෂ කිහිපයක් Satyrinae උප කුලයට හා Hesperridae කුලයට අයත් වෙයි. Satyrinae උප කුලයට අයත් Cingalese Bushbrown, Ceylon Treebrown, Tamil Treebrown, Ceylon Forester, Southern Duffer සහ Hesperridae කුලයට අයත් Chestnut Bob, Ceylon Ace, Paint Brush Swift, Redeye, Dark Palm dart, Black Swift වැනි සමනළ දළඹුවෝ බට ශාක පත‍්‍ර මත යැපෙති.

පොල්, පුවක්, කිතුල් වැනි තාල වර්ගයේ ශාක මත යැපෙන සමනළ විශේෂ කිහිපයක් සිටියි.Common Palmfly, Ceylon Palmfly, Giant Redeye, Banded Redeye වැනි සමනළයෝ මේ තාල වර්ගයේ ශාක මත යැපෙන්නෝ ය. නාගරික ගෙවතුවල අලංකරණයට සිටුවන තාල වර්ගයේ ශාක මත Common Palmfly සමනළ දළඹුවන් සුලබ ව වර්ධනය වනු නිරීක්ෂණය කිරීමට ලැබී තිබේ.


ගෙවතුවල ඖෂධීය ශාක ලෙස, පලා වර්ග ලෙස හා ව්‍යංජන රසකාරක ලෙස සිටුවන ශාක වන රණවරා, කතුරු මුරුංගා හා කරපිංචා ශාක, පෝෂක ශාක ලෙස භාවිත කරන සමනළ දළඹු විශේෂයෝ තුනක් වෙති. බොහෝ විට මේ ශාකවල පණුවන් ඇතැ යි කියනුයේ මේ සමනළ දළඹුවන්ට ය. රණවරා ශාකයේ Three Spotless Grass Yellow සමනළ දළඹුවා යැපෙන අතර, කතුරු මුරුංගා ශාකයේ Common Grass Yellow සමනළ දළඹුවෝ යැපෙති. කරපිංචා ශාකය මත Common Mormon සමනළ දළඹුවෝ යැපෙති. පැණිතෝර ශාකයේ යැපෙන සමනළ දළඹු විශේෂ කිහිපයක් ම වෙයි. එනම් Mottled Emigrant, Spotless Grass Yellow, Common Grass Yellow වැනි විශේෂයන් ය. ඇහැළ ශාකය මත Lemon Emigrant සමනළ දළඹුවෝ යැපෙති.


32558128.jpg


බුරුත ශාකය මත යැපෙන සමනළ විශේෂයක් ද සිටියි. ලංකාවේ ඉතා අලංකාරවත් ම සමනළයා ලෙස හැඳින්වෙන Common Banded Peacock සමනළයා ගේ දළඹුවන් යැපෙන්නේ බුරුත ශාක පත‍්‍ර මත ය. මේ සමනළුන් බුරුත ශාකයේ ඉතා ඉහළ මට්ටමේ ඇති පත‍්‍රවල බිත්තර තැන්පත් කරන අතර, දළඹුවන් ජීවත් වන්නේ ද ඉහළ මට්ටමේ ය. මේ නිසා බිත්තර, දළඹුවා හා කෝෂ නිරීක්ෂණය කිරීමට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.

දෙහි ශාක මත යැපෙන සමනළ දළඹු විශේෂ කිහිපයක් ම වෙයි. එනම් Lime Butterfly හා Common Mormon සමනළ දළඹුවන් ය.


41690847.jpg


බෝ ශාකය මත යැපෙන සමනළ දළඹුවෝ ද සිටිති. එනම් Common Indian Craw, Silver Streak Blue සමනළ දළඹුවන් ය. ගෙවතුවල පමණක් දැක ගත හැකි විදේශීය ශාකයක් වන කොට්ටම්බා ශාකයේ Large Oakblue සමනළ දළඹුවා යැපෙයි. කාණු සහ කණ්ඩි ආශ‍්‍රිත ව වැඩෙන ඉතා කුඩා පැළෑටියක් වන වල් අඹ ශාකයේ Psyche සමනළ දළඹුවා වර්ධනය වේ.
ශාක ඵල ආහාරයට ගන්නා සමනළ දළඹු විශේෂ කිහිපයක් ද සිටියි.

11433523.jpg


කුකුරුමුවන් ශාකයේ ඵලය තුළ පිහිටන බීජ හා පටක ආහාරයට ගැනීමෙන් Large Guava Blue සමනළ දළඹුවා වර්ධනය වේ. දිවුල්, දෙළුම් ශාකයේ ඵල තුළ ඇති බීජ හා පටක ආහාරයට ගැනීමෙන් Common Guava Blue සමනළ දළඹුවන් වර්ධනය වන අතර Cornelian සමනළ දළඹුවා ද දෙළුම් ඵලය මත යැපෙයි. Plane සමනළ දළඹුවන් කොතලහිඹුටු ශාකයේ ඵලය තුළ පටක ආහාරයට ගෙන වර්ධනය වේ.

ශාක පුෂ්ප ආහාරයට ගෙන වර්ධනය වන සමනළ දළඹු විශේෂ ද වෙයි. එනම් Metalie Cerulean සහ Monkey Puzzle ය. Metalie Cerulean සමනළ දළඹුවා එනසාල් මල් ආහාරයට ගෙන වර්ධනය වේ. මොවුන් මල් පමණක් නො ව එනසාල් ගෙඩි ද ආහාරයට ගන්නා බව වාර්තා වේ. Monkey Puzzle ලංකාවේ සමහර විශේෂවල දළඹුවා යැපෙන පෝෂක ශාක පිළිබඳ ව මෙතෙක් වාර්තා වී නොමැත. තවත් සමහර සමනළුන් තෙත් හා වියළි කලාපයේ වෙනස් පෝෂක ශාක මත යැපුණ ද ඒ පිළිබඳ ව නිවැරැදි තොරතුරු මේ වන විටත් වාර්තා වී නොමැත.සමනළ දළඹුවා රත් මල් ශාකයේ පුෂ්ප ආහාරයට ගන්නා අතර ළපටි දළු ද ආහාරයට ගනී.


56453881.jpg


ලංකාවේ එක ම මාංශ භක්ෂක සමනළ දළඹුවා වන්නේ Apefly සමනළ දළඹුවා ය. මේ දළඹුවා ශාක පත‍්‍ර මත සිටින පිටි මකුණන් මත යැපෙති.

ඉහළ කඳුකර ප‍්‍රදේශවල ජීවත් වන Ceylon Tiger සමනළයා කුමන ශාකයේ බිත්තර දමයි ද යන්න පිළිබඳව පවා තවම නිවැරැදි තොරතුරු ලැබී නැත. එපමණක් නො ව බොහෝ දුර්ලභ සමනළ විශේෂයන්හි පෝෂක ශාක පිළිබඳ ව තතු අප තවමත් දන්නේ ඉතා අල්ප වශයෙනි.


සමහර ඉතා දුර්ලභ සමනළ විශේෂයන්ට අයත් දළඹුවන් යැපෙන පෝෂක ශාක ඉතා සුලබ පෝෂක ශාක වන නමුත්, ඒ සමනළ විශේෂ ඉතා දුර්ලභ වීමට හේතු තවමත් ගැටළු සහගත ය.


75249838.jpg


ඔබේ ගෙවත්තේ, පාසැල් වත්තේ, කාර්යාල භූමියේ සමනළුන් ගේ පෝෂක ශාක සිටුවා ගැනීමට හැකි නම් සමනළුන් වඳවී යාමට ඉඩ නොදී ආරක්ෂා කර ගත හැකි ය.


the-common-jezebel-Delias-eucharis-500x333.jpg
ගෙවත්තේ සුලබ සමනළුන්ගේ පෝෂක ශාක නාමාවලිය
සමනළ විශේෂය - පෝෂක ශාකය

Glassy Tiger - වරා
Blue Tiger - පත් අඟුණ
Common Indian Crow - නුග, කනේරු, බෝ
Plain Tiger - වරා
Common Tiger - කිරි අඟුණ
Baron - අඹ, කජු
Peacock Pansy - හීන් බෝවිටියා
Danaid Eggfly - නාබිරිත්තා
Rustic - උඟුරැස්ස
Angled Castor - තෙල් එඬරු
Common Castor - තෙල් එඬරු
Common Banded Awl - තෙල් එඬරු
Red Pierrot - අක්කපාන
Common Pierrot - එරමිනියා
Angled Pierrot - එරමිනියා
Plains Cupid - මඩු
Large Oakblue - කොට්ටම්බා
Monkey Puzzle - රත්මල්
Psyche - වල් අබ
Common Albatrass - වීර
Tailed Jay - වැලි අනෝදා, සීනි අනෝදා
Common Jay - දවුල් කුරුඳු

සජීව චාමිකර

පරිසර සංරක්ෂණ භාරය

http://mirror.lk/sinhala/features-home/3365-grow-trees-to-safeguard-butterflies




මගේ කලින් පොස්ට් ටිකක්.....

ඉබි මස් කනවද? කාලා තියෙනවද? එහෙනම් කියවන්න. .
http://www.elakiri.com/forum/showthread.php?t=1514333


රතු දත්ත වාර්ථාව . . . . . . .
http://www.elakiri.com/forum/showthread.php?t=1521961


 

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නියමයි බන්ඩෝ post එක ... මේ දවස් වල අපේ පැත්තේ නම් සමනලයින් පෝලිමේ "සිරීපාදේ" යනවා (එහෙම තමයි කියන්නේ) රංචු පිටින්. උදේට හරියට අර මෙරු ඇවිස්සුනා වගේ. බලන්න ලස්සනයි. බලන්න ඕනිනම් රත්නපුරේ පැත්තට එන්න...:)