සෝතාපන්න ඵලයට පත්වීමට අවශ්‍ය මූලික කරුණු

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සෝතාපන්න ඵලයට පත්වීමට අවශ්‍ය මූලික කරුණු

    සෝතාපන්න ඵලයට පත්වීමට අවශ්‍ය මූලික කරුණු විග්‍රහය




    ”චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා වඞ්ඩංති, සෝතාපත්ති අංගේ පරිපූරෙන්ති කතමේ චත්තාරෝ ධම්මා”
    1. සප්පුරිස සංසේවෝ
    2. සද්ධම්ම සවණං
    3. යෝනිසෝමණසිකාරෝ
    4. ධම්මානු ධම්ම පටිපත්ති
    ඉමේ ඛෝ භික්ඛවේ චත්තාරෝ ධම්මා වඞ්ඩති සෝතාපත්ති අංගේ පරිපූරෙන්ති, තින්නං සංයෝජනානං පහීයන්ති, සෝතාපත්ති ඵලං සචිජිංකරෝති”

    මෙහි සඳහන් කරන ලද්දේ සෝතාපත්ති ඵලයට පත්වීමට නම් යමෙකු විසින් සම්පූර්ණ කරගත යුතු සෝතාපත්ති අංග හතර පිළිබඳවයි. මේ ඉහත සඳහන් කරන ලද සෝතාපත්ති අංග හතරම සම්පූර්ණ කර ගැනීමෙන් මිස වෙනත් කිසිම ආකාරයකින් සෝතාපත්ති මාර්ගය සම්පූර්ණ කරගෙන සෝතාපත්ති ඵලයට පත්විය නොහැකිය.

    සක්කාය දිට්ඨි, විචිකිච්චිතා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන ප‍්‍රහාණය කිරීමද දිට්ඨි අනුසය, විචිකිච්චා අනුසය ප‍්‍රහාණය කිරීමද, දිට්ඨාසව ප‍්‍රහාණය කිරීමද, දස්සනේන සම්පන්න තත්ත්වයට පත්වීමද සිදුවන්නේ මේ සෝතාපත්ති අංගයන් හතරම සම්පූර්ණ කර ගැනීමෙනි.

    සෝතාපත්ති අංගයන් අතරින් පළමුවැන්න වන සප්පුරිස සංසේවනය, කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබා ගත හැකි වන්නේ අරිය උත්තමයෙකුගෙන්ම පමණි. ඒ අරිය ධර්මය අසා දැනගැනීමෙන් පරතෝඝෝෂක ප‍්‍රත්‍යයය ලබා ගැනීමෙනි.

    අරිය උත්තමයෙකු දේශණා කරනු ලබන අරිය ධර්මය ශ‍්‍රවණය කිරීමෙන් දෙවන පියවරද සම්පූර්ණ වෙයි. අරිය උත්තමයෙකු දේශණා කරන පටිච්චසමුප්පාද ධර්මය අසා දැන ගෙන ”සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥාණය” ලැබීමෙන්ම මෙම සෝතාපත්ති අංගයද සම්පූර්ණ වෙයි.

    සෝතාපත්ති ඵලයට පත්වීමේදී වඩාත්ම වැදගත් හා මූලිකම අවශ්‍යතාවය වන්නේ යෝනිසෝමනසිකරණීය ශක්තියයි. මෙය බාහිර පුද්ගලයෙකුගෙන් ලබාගත හැකි ආකාරයේ එකක් නොවේ. තමා තුළින්ම තමන්ම උපද්දවා ලබාගත යුතු තමන්ටම ලබාගත හැකි ශක්තියකි. කොතරම් බණ ඇසුුවත් කොතරම් කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලැබුණත් තමන් යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන්නට නොදන්නේ නම් සෝතාපත්ති අංගයන් කිසිවක්ම සම්පූර්ණ නොවන බවද මතක තබාගත යුතුය. මිනිසෙකු ලෙසින් උපත ලබා මිනිස් ගුණධර්ම දියුණු කර ගැනීමම යෝනිසෝමනසිකරණ ශක්තිය වඩා වර්ධනය කර ගැනීමයි. මෙය ඉෂ්ඨ සිද්ධ කරගත හැකි වන්නේද මනුස්ස ප‍්‍රතිලාභයක් ලද මේ අවස්ථාවේදීමය. ඒ යෝනිසෝමනසිකාරයෙන් ම ක‍්‍රියා කිරීමෙනි. හතරවැනි අංගය වූ ධම්මානු ධම්ම පටිපදාවෙහි යෙදීමට නම් කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන් අසා දැනගත් සද්ධර්ම මාර්ගය යෝනිසෝමනසිකාරයෙන් යුක්තවම අනුගමනය කළ යුතුය. යෝනිසෝමනසිකාරය නැති කෙනෙකුට ධම්මානු ධම්ම පටිපදාව අනුගමනය කිරීමද කළ නොහැකිය. මේ නිසා යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කිරීම සෝතාපත්ති අංග හතර අතරින් ඉතාමත්ම වැදගත් අංගයද වන්නේය.

    ලොව්තුරා බුදුවරයෙකු ලොව පහළවන්නේද බුද්ධත්වයට පත්වී බුද්ධ ධර්මය ලෝකයාට දේශණා කරන්නේද දෙව් මිනිසුන්ට යෝනිසෝමණසිකරණය පිළිබඳව කරුණු පහදා මනසීකරණ ශක්තිය දියුණු කරගන්නට මඟ කියාදීම සඳහාමය. යෝනිසෝමනසිකාරය නොදන්නා මිනිසුන්ට යෝනිසෝමනසිකරණයෙන් යුක්තව ක‍්‍රියාකිරීමෙන් තමා තුළින්ම ලබාගත හැකි යහපත් ප‍්‍රතිඵල, ආදීනව ආනිසංස පෙන්වාදී ඔවුන් යහපත් මාර්ගයට යොමු කරවන්නටමය. අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකිරීමේ අයහපත් ඵලවිපාක පෙන්වා දී යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකිරීමෙන් ලබන යහපත් ඵල විපාක මිනිසුන්ට පෙන්වා දීමටය.

    මේ අනුව බුදුන්වහන්සේ කෙනෙකුන් බුද්ධත්වයට පත්වීමෙන් පෘථග්ජන බොහෝ මිනිසුන්ටද යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කරන්නට අවශ්‍ය දැනුම හා නිවැරදි පිරිසිදු මාර්ගය අසා දැන තේරුම් ගන්නටත්, ඒ මාර්ගය අනුගමනය කර ධම්මානු ධම්ම පටිපදාව සම්පූර්ණ කරගන්නටත් සෝතාපන්න ඵලයට පත් වී පෘථග්ජන තත්ත්වයෙන් මිදෙන්නටත් හැකිවන්නේය. මේ අනුව බුද්ධ ධර්මය අවශ්‍ය වන්නේත් අසාදැන ගත යුතුවන්නේත්, තෙරුම් ගෙන අනුගමනය කිරීම කළයුතු වන්නේත් අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකිරීම අත්හැර යෝනිසෝමනසිකරණයෙන් ක‍්‍රියාකරන්නට පුරුදු පුහුණු වන්නටමය.

    යෝනිසෝමනසිකරණයෙන් ක‍්‍රියා නොකරන්නා අයෝනිසෝමනසිකරණයෙන් ක‍්‍රියාකරන්නෙකි. මේ අනුව අයෝනිසෝමනසිකරණයෙන් ක‍්‍රියා කිරීම හෙවත් අමනසිකාරය යන්නෙහි අර්ථයද විග‍්‍රහ කර දැනගැනීම ඉතාමත්ම වැදගත්ය. අසතියෙන් කටයුතු කිරීම අමනසිකාරයෙන් ක‍්‍රියා කිරීම අභාවිත සිතකින් ක‍්‍රියා කිරීමද අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කරන කෙනෙකුගේ ලක්ෂණයන්මය. තම චිත්තසංථානයේ කෙළෙස් ගති, කිළිටි ගති, අඥාණ ගති ගබඩා වී පවතින කෙනෙකුට අයෝනිසෝමනසිකරණයෙන් මිස යෝනිසෝමනසිකරණයෙන් ක‍්‍රියාකළ නොහැකිය. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය තම සිත තුළ මුල් බැසගෙන පවතින නිසාම කෙළෙස්, ආසව, අනුසය සිත තුළින්ම ක‍්‍රියාත්මක වී මනස මුවහ වී චිත්තසංථානය කිළිිටි වීම නිසාම මනසීකරණ ශක්තියද වැසී මුවහ වී යයි. ආගන්තුක වශයෙන් බාහිර ලෝකයෙන් චිත්තසංථානය ඇතුළට වද්ද ගන්නා කෙළෙස් ගති නිතර නිතර පරිහරණය කරන්නට පුරුදු වූ කෙනෙකුට යෝනිසෝමනසීකරණ ශක්තියද නැති වී යයි. පව්කම්, දස අකුසලයන් ආදී ළාමක ධර්ම යම්කිසි කෙනෙක් අතින් ක‍්‍රියාත්මක වන්නේම හිතට වහල් වී, හැඟීමට වහල් වී අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කිරීමෙන්ය.

    මෙම සංසාර රිය ගමන දිගින් දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම කරුණු තමන්ම සාදා සකස් කර ගන්නා හා අතීතයේදී සකස් කරගත් ඒවාමය. සංසාර ගැටළුව පිළිබඳව යථාපරිදි තේරුම් නොගත් පෘථග්ජන පුද්ගලයින්, අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන විට සංසාර ගැටළුවට තාවකාලිකව පිළියම් කරන්නේද, සංසාර ගැටළුව තුළින්ම තාවකාලික වෙනසක් ඇති කර ගැනීමෙනි.

    දෙවි දේවතා පිහිට පැතීම, පුද පූජා පැවැත්වීම, බලි බිලි දීම, ශාන්ති කර්ම කිරීම, ආශිර්වාද පූජා පැවැත්වීම මෙන්ම යාග හෝම, යන්ත‍්‍ර මන්ත‍්‍ර කටයුතු කිරීම කරන්නේද මේ ලෞකිකත්වය තුළින්ම යම් කිසි වෙනසක්, සහනයක්, සුවයක් තාවකාලිකව ලබා ගැනීමේ ඒකායන අපේක්ෂාවෙනි. මේ ලබන ලෞකික සුවය තාවකාලික බවත්, ඒ තාවකාලික සුවය ලැබූ පසුව යළි යළිත් ඊටත් වඩා බලවත් සංසාර ගැටළුවකට තමන්ම මැදිවන බවත් තේරුම් නොගැනීම අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කිරීමකි. අවිද්‍යාව හා තණ්හාව යන ගති දෙකම යමෙකු තුළ පවතින්නේද යළි යළිත් ඒ ගතිම සිත තුළ උපත ලබන්නේද, යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන්නට නොදන්නා නිසාමය.

    සංසාර ගැටළුව නිර්මාණය කරගන්නේත්, සංසාර රිය ගමන ඉදිරියටත් දිගින් දිගටම පවත්වා ගෙන යන්නෙත් තමන්ම අවිද්‍යා සංඛාර ක‍්‍රියාත්මක කරන නිසාමය. අවිද්‍යා සංඛාර කිරීම හේතු කොටගෙන ලෝකය තුළ තමාම අතරමං වෙයි. මංමුළා වෙයි. නිවනට මඟ වැසී යයි. අවිද්‍යා සංඛාර කිරීමේ නියත ප‍්‍රතිඵලය තම සිත තුළ සමුදය බිහිවීමට සුගති ලෝකයක උපත ලබන්නට හේතුවන පුණ්‍යාභි සංඛාර හෝ නිරයේ, දුගතියේ උපත ලබන්නට උපකාර වන අපුණ්‍යාභි සංඛාර හෝ අසඤ්ඤ තලයන්හි උපත ලබන්නට හේතුවන, උපකාර වන අනෙජ්ඣාභි සංඛාර හෝ යන සංඛාර තුන් කොටසම අවිද්‍යා මූල සංඛාර ලෙසින් ධර්මයේ විග‍්‍රහ කර පෙන්වා දෙයි.

    කාම ලෝක, දිව්‍ය ලෝක, මිනිස් ලෝකය යනාදී සියලු සුගති ලෝක වලද ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සියලුම දුක් පවතී. දුගතියේ, අපායේ ඇති දුක ගැන කිව යුතු නොවේ. අසඤ්ඤ තලයන්හිදී ඇත්තේද තාවකාලික සුවයකි. නැවත අපාගත වීමේ අවදානම, භය මේ සියලුම තලයන්හි පවතී. අපාගත වීමේ අවදානමෙන් සතර අපා බියෙන් සදහටම මිදෙන්නේ සෝතාපත්ති ඵලයට පත්වී මෙන්ම පමණි.

    ”ධම්මෝ සංදිට්ඨිකෝ” තත්ත්වයට පත් වූ පුද්ගලයාම සංසාර භය දකී. සංසාර ගැටළුවද දකී. ”සං”උපත ලබන ආකාරය දැක නොගත්, ”සං” යන්න යථාපරිදි තේරුම් නොගත්, ”සං” නිසා තම චිත්තසංථානය කිළිටි වන බව නොදත් පුද්ගලයා ”ධම්මෝ සංදිට්ඨිකෝ” නොවූ අසංදිඨික, අසම්පඤ්ඤ, අමනසිකාරී, අසම්පජානකාරී, මොට්ටස්ස පුද්ගලයෙකි. එසේනම් ධම්මෝ සංදිට්ඨිකෝ තත්ත්වයට පත් වූ පුද්ගලයා යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන්නට සමත් පුද්ගලයෙකි.

    පරම පවිත‍්‍ර සිරි සද්ධර්මය අරිය උත්තමයෙකුගෙන්ම අසා දැන පටිච්ච සමුප්පාද ධර්මය, හේතුඵල ධර්මය තමා තුළින්ම යෝනිසෝමනසිකරණීය ශක්තියෙන්ම අවබෝධ කරගෙන, එයම අනුගමනය කිරීම ධම්මානු ධම්ම පටිපදාවෙහි හැසිරීමයි. ඇස, කන, නාසය, දිව, කය, මනස යන තමාගේම ඉන්ද්‍රියයන් රූප, ශබ්ද, ගඳ සුවඳ, රසය, සුව පහස හා ධම්ම යන බාහිර දේට පටිච්ච වීමේ නියත ප‍්‍රතිඵලය වන්නේ සමුදය ධර්ම බිහිවී (සංභව) විඤ්ඤාණ ශක්තියක් බිහිවී සංසාර රිය ගමන යන්නට අවශ්‍ය ශක්තිය දිගටම උත්පාදනය කර දීමයි. හැම පුද්ගලයෙක්ම පෘථග්ජනයෙකු යැයි කියන්නේ හිතට වහල් වී, හැඟීමට වහල් වී, ඇස, කන, නාසය, දිව, කය, මන ආදී තමන්ගේම ඉන්ද්‍රියයන් පිනවීමේ කැමැත්තෙන්, ආශාවෙන්, තණ්හාවෙන් කටයුතු කිරීමේ පුරුද්දක් ඇතිකරගත් හෙයිනි. මෙසේ සිතට වහල්වී, හැඟීීමට වහල් වී ඉන්ද්‍රියයන් පිනවීමේ ක‍්‍රියාව නිසා තමන්ගේම චිත්තසංථානය කිළිිටි වී මනස මොට්ට වී මෝහයෙන් මුළා වී අමනසිකරණයෙන් ක‍්‍රියාත්මක වන්නෙකු බවට තමන්ම පත්වෙන බව නොදන්නාකම අවිද්‍යාවයි. ධම්මෝ සංදිට්ඨිකෝ තත්ත්වයට පත් වූ පුද්ගලයාම එසේ පත්වීමෙන්ම සමුදය උපත ලැබීමෙන් තම මනස මොට්ට වී, මුවහ වී, අමනසිකරණ තත්ත්වයට තමන්ම පත්වන බවද තේරුම්ගත යුතුය.

    ආමිස සුවයක්, සැපතක් සඳහා ඇස, කන, නාසය, දිව, කය, මන, යන තමන්ගේම ඉන්ද්‍රියයන් පිනවීමේ නොතිත් ආශාවෙන් ක‍්‍රියා කරන පුද්ගලයා සංසාර දෘෂ්ඨියෙන්ම ක‍්‍රියා කරන්නෙකි. ඔහු සම්මා දිට්ඨිය යනු කුමක්දැයි නොදන්නා කෙනෙකි. ”ධම්මෝ සංදිට්ඨිකෝ” තත්ත්වය අවබෝධ කර නොගත් සං දැක නොගත් කෙනෙකි.

    ”අනිච්ච දේ නිච්ච”සේ දැකීම අයෝනිසෝමනසිකාරය නිසාම සිදුවෙයි. දුක්ඛ දේ, දුක බව නොදැක සුඛ සේ සැප සේ දකින්නේද අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන්නාය. අනත්ථ දේ අනත්ථ ලෙස දැක ගැනීමට නොහැකිව අත්ථ සේ දැක ගන්නේද අයෝනිසෝ මනසිිකරණයෙන් ක‍්‍රියා කරන්නාමය. මේ සංසාර ගැටළුව යළි යළිත් තමන්ම ප‍්‍රතිනිර්මාණය කර ගන්නේම යථා පරිදි ත‍්‍රිලක්ඛණය අවබෝධ කර නොගැනීමෙනි. අද නිවන් මඟ සොයමින් භාවනා කරන ගිහි පැවිදි බොහෝමයක් දෙනා ත‍්‍රිලක්ඛණය භාවනා කරන්නේ යථා අවබෝධයකින් තොරවය. ධර්මය නොදැනය. මෙයද අයෝනිසෝමනසිකරණය නිසාම සිදුවන විශාල හානියකි.

    පෘථග්ජන පුද්ගලයා නිරතුරුවම ප‍්‍රිය මනාප දේ සමඟ ඇලෙයි. අප‍්‍රිය, අමනාප දේ් සමඟ ගැටෙයි. ප‍්‍රිය යැයි මනාප යැයි තමන් තීරණය කළ දේ අල්ලා උපාදානය කරගනී. අප‍්‍රිය, අමනාප යැයි තීරණය කළදේ සමඟ වෛර කරයි. ක්‍රෝධ කරයි. මෙසේ ප‍්‍රිය දේට ඇලෙන්නේ හා අප‍්‍රිය දේවල් සමඟ ගැටෙන්නේ තමන්ම හුරු පුරුදු කරගත් ගති නිසා බව ඔහු නොදනී. අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන එවන් පුද්ගලයා සිතන්නේම මේ පි‍්‍රය මනාප බව (ගතිය) ඇත්තේ බාහිර ලෝකයේ බවයි. අප‍්‍රිය, අමනාප, තරහා, වෛර ගති ඇත්තේද බාහිර පුද්ගලයන් ලඟ බවයි. තමන් ලඟ තමන් තුළ ඇති මේ කෙළෙස් ගති යථාපරිදි දැකගන්නට අසමත් පුද්ගලයා අයෝනිසෝමනසිකාරයෙන්ම ක‍්‍රියා කරන්නෙකි. ඔහු සිතන්නේම මේ ගති ඇත්තේ බාහිර ලෝකයේම බවයි. තමා ලඟ නොවන බවයි.

    ප‍්‍රිය දේ සමඟ බැඳෙන, සම්බන්ධ වන හැම අවස්ථාවකදීමත් අප‍්‍රිය අමනාප දේ සමඟ ගැටෙන, වෛර කරන හැම අවස්ථාවකදීමත් ඒ පුද්ගලයාම සංසාරයට බැඳෙන බැම්මක් යළි තමන්ම සකස් කරගන්නා බව ඔහු නොදනී. මේ අවිද්‍යාව, මෝහය, නොදන්නාකම නිසාම තමන් තමන්ටම කරගන්නා හානියකි. මේ ප‍්‍රිය මනාප දේ කොතරම් ප‍්‍රිය මනාප දෙයක් වුවද, මේ ප‍්‍රිය මනාප ගති ස්වභාවය මතු වූයේ තමන්ගේම සිතේ බවත්, මේ ප‍්‍රිය මනාප ගති ස්වභාවය බාහිර ලෝකයේ පවතින දෙයක් නොවන බවත් යථාපරිදි දැක ගැනීමට නොහැකි පුද්ගලයා අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකර, ප‍්‍රිය මනාප දේ උපාදානය කරගෙන සංසාර බැම්මට බැඳෙයි. ඒවාගේම අප‍්‍රිය අමිහිරි දේ සමඟ ගැටී අමනාප වන පුද්ගලයා සිතන්නේම මේ අප‍්‍රිය අමනාප ස්වභාවය ඇත්තේ තමාගේ සිත තුළ නොව බාහිර පුද්ගලයා සත්ත්වයා හෝ ධර්මතාවය තුළ බවයි. තම සිතේම හටගත් මේ වෛරී ස්වභාවය දැක ගැනීමට නොහැකි වූ අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයාද සංසාර බැම්මට යළි යළිත් බැඳෙයි.

    මෙවන් කෙළෙස් ගති පවතින්නේත් උපත ලබන්නේත් තම චිත්තසංථානයේම බව යථාපරිදි තේරුම් ගැනීමට නොහැකි වූ මෙවන් කෙළෙස් ගති වල ”අනිච්ච බව, දුක්ඛ බව අනත්ථ බව” යථාපරිදි තේරුම්ගෙන ඒ ගති තම සිතින්ම ප‍්‍රහාණය කර දමන්නට නොදත් පුද්ගලයා අයෝනිසෝමනසිකාරයෙන්ම ක‍්‍රියා කරන්නෙකි. ඔහු සංසාර ගැටළුව නොකඩවාම යළි යළිත් තමන්ම නිර්මාණය කර ගන්නා කෙනෙකි. ”යායං තණ්හා පොනොභවිකා” යනුවෙන් ධම්මචක්කපවත්වන සූත‍්‍රයේ දේශණා කර පෙන්වූ ධර්මතාවය මෙයයි.

    එසේ නම් දස සංයෝජනයන්ම සකස් කරගෙන සංසාර ගමනට නිරන්තරවම බැඳෙන්නේ, තමන්ගේම නොදැනුවත්කම (අවිද්‍යාව) හා තණ්හාව නිසාම බව තේරුම් ගත යුතුය. මේ අවිද්‍යාව හා තණ්හාව යන ගති මෙන්ම මානය, මිත්‍යා දෘෂ්්ඨිය යන ගතිද ඇත්තේ තමන්ගේම චිත්තසංථානයේ බව සිතන්නට හෝ මෙනෙහි කරන්නට හෝ නොදත් පුද්ගලයා අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කරන්නා ලෙසින් ධර්මයේ හඳුන්වා දෙයි.

    චතු අරිය සත්‍යයන්ම අවබෝධ කර ගැනීමට හැකිවන්නේද යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමෙනි. චතු අරිය සත්‍යයන් අවබෝධ කර නොගත්, අස්සුතවත් පෘථග්ජන පුද්ගලයා දුප්පඤ්ඤස්ස, අඥාණ පුද්ගලයෙකි. මෙහි අදහස එවන් පුද්ගලයා යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කිරීම යනු කුමක් දැයි පවා නොසිතන, නොදන්නා කෙනෙකු වීමයි.

    සතියෙහි පිහිටා, සතියෙන් යුතුව කටයුතු කරන පුද්ගලයා හේතුඵල දහමට බහා ගළපා බලා ක‍්‍රියා කරන කෙනෙකි. විනයට සසඳා බලා ක‍්‍රියා කරන්නෙකි. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයාට මෙවන් ගතිගුණ දක්ෂතා ඇත. අරිය පර්යේෂණයන් කරන පුද්ගලයා නිතරම හේතුඵල බහා ගළපා බලා කරන කියන, හිතන සියලු දේ කරයි. කියයි. හිතයි, ඔහු අරිය මාර්ගය දනී. අනරිය මාර්ගයද දනී. අරිය මාර්ගය අනුගමනය කරයි. අනරිය මාර්ගය අත්හරියි.

    මෙනෙහි කළ යුතු දේ යථාපරිදි දැන මෙනෙහි කරයි. මෙනෙහි නොකළ යුතු දේ යථා පරිදි දැන මෙනෙහි නොකරයි. මෙවන් පුද්ගලයා ”ද්වතා අනුස්සතියෙන්” යුතුව ක‍්‍රියාකරන යෝනිසෝමනසිකාරයෙන්ම කටයුතු කරන මග්ගේමග්ග ඥාණ දර්ශනය ලැබූ පුද්ගලයෙකි.

    අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන පෘථග්ජන පුද්ගලයා කාම විතක්ක විචාර වලට ඇලෙයි, බැඳෙයි, ඒවාට මුළාවෙයි. ව්‍යාපාද විතක්ක වලට ගැටෙයි. ඒවා නිසා තරහ, වෛරය තම සිත තුළම බිහි කර ගනී. විහිංසා විතක්ක විචාර පවත්වා තමන් පිළිබඳවම මානයක් ඇති කර ගනී. මෙසේ කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර පවත්වන්නට පුරුදු වූ, පුහුණු වූ පුද්ගලයාගේ සිතෙහි පවතින්නේ අකුසල් සිතිවිලිමය. ඔහු අතින් සිදු වන්නේම පාප කර්මයන්මය. මේ අනුව චිත්තසංථානය කිළිටි කරගෙන, මනස මොට්ට කරගෙන යළි යළිත් අයෝනිසෝමනසිකාරයෙන්ම ක‍්‍රියා කරන්නෙකු බවට පත්වෙයි. මෙය ගති පුරුද්දක් බවටද පත්වෙයි. ඔහු අතින් සීලය නොරැකෙයි.

    යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන සුතවත් අරිය ශ‍්‍රාවකයා මීට හාත්පසින්ම වෙනස්ය. තම සිතට අරමුණු වන සියලුම අරමුණු කෙරෙහි මනා අවධානයෙන් සිට (”පරිමුඛං සතිං උපට්ඨපෙත්වා”) සිතා බලා හේතුඵල ධර්මයට බහා ගළපා බලා අයහපත් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වෙන්කොට තෝරා බේරාගෙන, ඒවා සිතින් ප‍්‍රහාණය කර, ඉවත් කර දමන්නටත් (සතෝව පස්ස සති) ඒවාගේම යහපත් අරමුණු වීතරාගී, වීතද්වේෂී, වීතමෝහී අරමුණු භාවිතා කරන්නටත් (සතෝව අස්ස සති) දන්නා පුද්ගලයෙකි. මේ ආනාපාන සතියෙහි පිහිටා ක‍්‍රියා කිරීමේ මුල්ම පියවරයි. මේ ආකාරයට ක‍්‍රියා කරන ඔහුගේ සිතෙහි කෙළෙස් ප‍්‍රහාණය වී සිත පිරිසිදු වෙයි. මනසීකරණ ශක්තිය වැඩි දියුණු වෙයි.

    යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන්නට දැනගත් මෙවන් අරිය ශ‍්‍රාවකයා ”සංදිට්ඨිකෝ” තත්ත්වයට පත් වූවෙකි. ”සං” දැනගත් කෙනෙකි. සංදිට්ඨිකෝ තත්ත්වයට පත් වූ පුද්ගලයා හිතට වහල් වී, හැඟීමට වහල් වී කටයුතු කිරීමෙන් ඉවත් වෙයි. ඒ නිසා ”සම්මා දිට්ඨියට ”පත් වුවෙක් ද වෙයි.

    මේ අනුව තමන් අතින් සියලු පව්කම් හා අකුසල කර්මයන් සිදුවන්නේ යෝනිසෝ මනසිකාරයෙන් තොරව ක‍්‍රියා කිරීම නිසා බව ඔහු තේරුම් ගනී. මෙම දැක්ම සම්මා දිට්ඨියයි. කෙළෙස් වලින් අකුසලයෙන් මිදී නිදහස් විය යුතුය යන පිරිසිදු දැක්මයි.

    යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන අරිය ශ‍්‍රාවකයා ස්වාර්ථය මෙන්ම පරාර්ථයද සළකා බලා ක‍්‍රියා කරයි. තමා කරන කියන, හිතන දෙයෙහි ඵලවිපාක ලෙසින් තමාට සිදුවන යහපත හෝ අයහපත වාගේම අනුන්ට සිදුවන යහපත හෝ අයහපත ගැනද සළකා බලයි. තමන්ම සංසාරයේ අතරමං වන, මංමුළා වන අපාගත වන ක‍්‍රියා කිරීමෙන් වැළකී සිටින ඔහු අනුන්ව සංසාරයේ අතරමං කරවන, මංමුළා කරවන, අපාගත කරවන ක‍්‍රියාකරකම් වලින් ද තමටන්ටත්, අනුන්ටත් සංසාර බැමි වලින් මිදී නිදහස් විය හැකි දේම ක‍්‍රියාත්මක කරයි. තමනුත් මිදී අනෙකාවත් මුදවාලයි. දේව ආගම් සංකල්පවලට අනුව පුද පූජා පවත්වමින්, ආශිර්වාද පූජා පවත්වමින් මේ පැවැත්ම, ලෞකික ජිවිතය, තාවකාලිකව සුවපත් කරන්නට, යහපත් කරන්නට, ලෞකික සැප සම්පත් උපාදානය කරගන්නට මිනිසුන් පොළඹවන ආකාරයේ ආගමික සංකල්පවලට මිනිසුන්ව බැඳ තබන්නට උපදෙස් දී මිනිසුන්ව සංසාරයේ අතරමං කරන්නාද අයෝනිසෝ මනසිකාරයෙන්ම ක‍්‍රියා කරන්නෙකි. මිනිසුන්ට තමන්ගේම මනස මෙහෙයවා මේ පැවැත්ම, ජීවත්වීම පිළිබඳව සත්‍යය ස්වභාවය හෙළි කරදී ඇති තතු යථා පරිදි අවබෝධ කරගන්නට සත්‍යය කියාදීම අරිය උත්තමයෙකුගේ වගකීමයි. මේ ලෞකික පැවැත්ම මොනයම් ආකාරයෙන් හෝ යහපත් එකක් ලෙසින් දිගටම පවත්වා ගන්නට දරණ සියලු උත්සාහයන් ”අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව” පෙන්වා දීම, යෝනිසෝ මනසිකාරයෙන් ක‍්‍රියාකරන බුද්ධ ශ‍්‍රාවකයෙකුගේ යුතුකමයි.

    යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන පුද්ගලයා කුසලය, කුසලය ලෙසින් යථාපරිදි දැන හඳුනාගත් කෙනෙකි. අකුසලය, අකුසලය ලෙසින්ද යථාපරිදි හඳුනාගත් ඔහු කුසල හා අකුසලය අතර ඇති වෙනස මෙන්ම කුසලය හා පින අතර ඇති වෙනසත් හඳුනා ගනී. යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා නොකරන පුද්ගලයා පින්කමක් කරගැනීමේදී එයද සංසාර ගමන දික් කරගන්නා ආකාරයේ අකුසලයක් ලෙසින්ම උපාදානය කරගන්නටම ක‍්‍රියා කරයි. දෙව්, මිනිස් සැප සම්පත් පතමින් කැමැත්තෙන්ම කාම ලෝක වල අතරමං වන්නට පින්කම් කරන බොහෝ පින්වතුන් අදටත් අප අතරම දැක ගත හැකිය. ඒ අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කිරීමකි. යළි යළිත් සසර දුක්ම උරුම කර ගැනීම එහි නියත ප‍්‍රතිඵලය බව ඔහු කල්පනා නොකරයි.

    තමන්ගේම මනීන්ද්‍රිය පිරිසිදු කරගෙන නුවණින් මෙනෙහි කර සිතට අරමුණු වන සියලු අරමුණු මැන බලා, පෙරා බලා පිරිසිදු කර, තෝරා බේරාගෙන, යහපත් අරමුණු පමණක්ම භාවිතා කිරීමත් අයහපත් කෙළෙස් සහිත අරමුණු භාවිතයට නොගෙන බැහැර කර, ප‍්‍රහාණය කිරීමත් (අස්ස පස්ස) යන දෙයාකාර වූ ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක කරන්නට පුරුදු වූ පුද්ගලයා සතර සතිපට්ඨානයෙන්ම ක‍්‍රියාකරන පුද්ගලයෙකි. මෙම ද්වතා අනුස්සතිය තෝරා බේරා ගන්නට නොහැකිව ප‍්‍රාණ යාම යෝගී ක‍්‍රම අනුගමනය කරන්නාද අයෝනිසෝමනසිකාරයෙන්ම භාවනාවන්හි යෙදෙන්නෙකි. මේ අනුව භාවනාවද දෙයාකාරයකි. යෝනිසෝමනසිකාරයෙන් කරන අරිය භාවනාව හා අයෝනිසෝමනසිකාරයෙන් කරන අනරිය භාවනාව යනුවෙනි.

    යෝනිසෝමනසිකාරය යන්න සාපේක්ෂ වශයෙන් ද සළකා බැලිය යුතුය. පෘථග්ජන පුද්ගලයෙක් හොඳ, යහපත්, නිවැරදි දිවිපෙවෙතක් පවත්වා ගැනීමට අවශ්‍ය සම්මතයෙන් යහපත් සමාජ සුචරිතයෙහි යෙදෙන්නේද යම් කිසි ආකාරයිකින් යෝනිසෝමනසිකාරයෙන්ම ක‍්‍රියා කිරීම නිසාමය. එය ලෞකික පැවැත්ම යහපත් දේ දිගින් දිගටම පවත්වාගෙන යාමටත් අපායෙන් බේරී සුගතියට පවත්වන්නටත් උපකාරවන යෝනිසෝමනසිකරණය ශක්තියයි.

    මාර්ග ඵලයන් ලබාගෙන නිවන් අවබෝධ කරගෙන ලෞකිකත්වයෙන් සදහටම මිදී ඉන් එතෙරවන්නට උපකාර වන්නා වූ ලෝකෝත්තර යෝනිසෝමනසිකාරය මීට
    වෙනස් එකකි. මෙහිදී කෙළෙස් මුල් සමුජ්චේදප්ප‍්‍රහාණයෙන්ම ගළවා ඉවත් කර දමා, චිත්තසංථානය පිරිසිදු කර ගන්නට උපකාරවන ලෝකෝත්තර මනසිකාරය වඩාත් බලවත් එකකි. මෙහිදී යෝනිසෝමනසිකාරය යන්න ”සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා” යන දෙයාකාරයෙන්ම තේරුම් ගෙන කරණීය ධර්ම, අකරණීය ධර්ම යන දෙකම ක‍්‍රියාත්මක කරන්නටත් උපකාරවන්නකි. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම සම්පූර්ණ කරගත හැකි වන්නේත් මෙවන් වූ ලෝකෝත්තර යෝනිසෝමනසිකරණ ශක්තියකින් ක‍්‍රියා කිරීමෙනි. සීල, සමාධි, ප‍්‍රඥා යන ත‍්‍රිශික්ෂාවම සම්පූර්ණ වන්නේත් ලෝකෝත්තර යෝනිසෝමනසිකාරයෙන් යුතුව ක‍්‍රියා කරන්නෙකු තුළ පමණි.

    අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන පුද්ගලයා තුළ ලෝභ, ද්වේෂ, මෝහ ගති මෙන්ම මාන, දිට්ඨි, අවිද්‍යා යන ප‍්‍රපංච ධර්මයන්ද ක‍්‍රියාත්මක වන නිසා එවන් පුද්ගලයා ලෞකික දුකෙන් මිදී නිදහස් වන්නට තාවකාලිකව ක‍්‍රියාත්මක කරන බොහෝ කි‍්‍රයාකාරකම් වලින්ද සිදුවන්නේ තව තවත් පංචස්කන්ධයම උපාදානය කරගෙන සංසාරයට තව තවත් බැඳී ණය වී මාරයාට නැවත නැවත ණය වීමයි.

    ලෞකිකත්වය තුළින්ම තාවකාලික සහනයක්, සුවයක්, විමුක්තියක් සොයන මෙවන් පෘථග්ජන පුද්ගලයා පුණ්‍යාභි සංඛාර කරමින් එයද උපාදානය කරගෙන කාම ලෝකවල අතරමං වෙයි. තවත් බොහෝ අය අනරිය භාවනාවන් වල යෙදීමෙන් අනෙජ්ඣාභි සංඛාර කරමින්, අනරිය ධ්‍යානයන් ලබාගෙන අසඤ්ඤ තලයන්හි අතරමං වෙයි. මේ කොටස් දෙකම අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන පුද්ගලයන්ය. ඔවුන් සත්‍යය දැනගෙන ක‍්‍රියාකරන්නන් යයි සිතාගෙන ක‍්‍රියාකරන නමුත් තම තමන්ගේම නොදැනුවත් බව නොදන්නා අය වෙති. එවන් අය තම නොදැනුවත් කම නිසා තමන් සංසාරයේ අතරමං වීමට අමතරව තවත් බොහෝමයක් අනුගාමිකයින්වද සංසාරයේ කල්ප කාලාන්තරයක් අතරමං කරවීමට ක‍්‍රියා කරති. මෙයද අයෝනිසෝමනිසිකාරයෙන් ක‍්‍රියා කිරීමේ ප‍්‍රතිඵලයන්මය.

    පුණ්‍යාභි සංඛාර, අපුණ්‍යාභි සංඛාර හා අනෙජ්ඣාභි සංඛාර යන අවිද්‍යා මූල සංඛාරයන් මෙන්ම කුසලාභි සංඛාරයන් ගැනද දැන තේරුම් ගත් පුද්ගලයා කළයුතු දේ හා නොකළ යුතු දේ ගැනද තේරුම් ගත් කෙනෙකි. ඔහු නිතරම කුසලාභි සංඛාර කරමින් සසර ගමන නිමා කරන්නට උත්සාහ දරණ යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කරන්නෙකි. එවන් උත්තමයාම බාහිර ලෝකයාටද කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබා දෙන්නටත් පරතෝඝෝෂක ප‍්‍රත්‍ය ලබාදෙන්නටත් සමත් කෙනෙකුම වෙයි.

    කෙළෙස් නසා දමා මාර්ගඵල ලබාගත යුතු බව දේශණා කර පෙන්වා දුන්නත් ප‍්‍රායෝගිකවම කුසලාභි සංඛාරයන් පැවැත්වීම මගින් කෙළෙස් ප‍්‍රහාණය කරන ප‍්‍රායෝගික වැඩපිළිවෙළ ලෝකයාට ආදර්ශවත් ලෙසින්ම පෙන්වා දෙන්නට අසමත් නම් එතැනද යෝනිසෝමනසිකාරයෙන් යුක්තව ධර්මයෙහි හැසිරීමක් (චරේථ ධම්මෝ) නැත.

    ලෞකිකත්වය තුළම තමන්ද අතරමං වන බාහිර ලෝකයාවද අතරමං කරවන පින්කම් කරන්නටම පමණක් ලෝකයාට උපදෙස් දීම පවිත‍්‍ර බුද්ධ ධර්මය නම් නොවේ. ලෞකිකත්වයෙන් එතෙරවන්නට උපකාරවන කෙළෙස් මුල් ගළවා දමන්නට උපකාර වන බුද්ධ ධර්මයම ලෝකයාට දේශණා කර පහදා දිය යුතුයි. එය පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයයි.

    මේ අනුව සෝතාපත්ති අංගයන් හතරම සම්පූර්ණ කරන්නට නම් ධම්මානු ධම්ම පටිපදාවෙහි යෙදී ක‍්‍රියාකරන්නට නම් යෝනිසෝමනසිකාරයෙන්ම කටයුතු කරන්නෙකු වීම අනිවාර්යම සාධකයකි.

    සම්මස්සන ඥාණයන්, සතර සම්මප්පධානයන්, සතර ඍද්ධිපාදයන් සම්පූර්ණ කරගෙන සතර සතිපට්ඨානයෙහි යෙදී සතර මඟ සතර ඵලයන් ලබා ගත හැකි වන්නේ යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන මිනිසෙකු බවට පත්වීමෙන්ම පමණි.

    තමන් කොතරම් දුරට යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙක්ද? එසේ නැති නම් තමන් කටයුතු කරන්නේ අයෝනිසෝමනසිකාරයෙන්ද යන්න දැන් ඔබටම තීරණය කර ගන්නට මෙහි සඳහන් කරන ලද කරුණු සාවධානව සළකා සිතා බලන්න. දැන් ඔබේම යහපත සඳහා ඔබ ගැනම ඔබ කල්පනා කර මේ කරුණු එකින් එක සළකා බලා තීරණයක් ගත යුතුයි.

    උපන් හැම සත්ත්වයාම සසර දුක් විඳීමට හා සංසාර දුක නිර්මාණය කරගන්නට මුලිකම හේතුව ඒ ඒ සත්ත්වයාම, පුද්ගලයාම අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන්නට පුරුදු වීමයි.

    මිනිසෙකු ලෙසින් උපත ලැබූ ඔබට යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකර මනස පාවිච්චිකර සසර දුකෙන් සඳහටම මිදී නිදහස් වන්නට උතුම් අවස්ථාවක් අද උදාවී ඇති බව සිතන්න. වෙන කාටවත්ම ඔබේ චිත්තසංථානය හෝ මනස කිළිටි කර කෙළෙස් වලින් පුරවා නිවන ආවරණය කරන්නට නොහැකිය. ඔබේ චිත්තසංථානය කිළිටි කර ගන්නේද, මනස මොට්ට කරගන්නේද ඔබමය. ඔබේ චිත්තසංථානය පිරිසිදු කරගෙන, මනස මුවහත් කරගෙන, කෙළෙස් බැමි කපා දමන්නට හැකි වන්නේද ඔබටමය.

    මිනිසෙකු ලෙසින් මනුස්සයෙකු ලෙසින් උපත ලැබූ ඔබට දැන් ලැබී තිබෙන උරුමයෙන්ම ලැබුණු උසස්ම දේ මනීන්ද්‍රියයි. ඔබේ මනීන්ද්‍රිය පිරිසිදු කරගෙන මානසික ශක්තිය යෝනිසෝමනසීකරණ ශක්තිය බවට උපදවා ගත හැකි උතුම්ම ශක්තියයි. එය බුද්ධ ශක්තිය ලබන්නට උපකාර වන එකම ධර්මතාවයයි.

    ඒ නිසා පිරිසිදු බුද්ධ ධර්මයම අසා දැන ධර්මයෙහි හැසිරෙන්න. සංසාරයේ අතරමං වන බොහෝමයක් දේව ආගමික සංකල්ප වලින් බැහැර වන්න. එවිට ඔබටත් යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන්නට සුදුසු වාතාවරණයද සකස් කර ගත හැකි වෙනු ඇත.

    ”අයෝනිසෝ භික්ඛවේ, මනසිකරෝතෝ අනුප්පන්නා චේච ආසවා උප්පජ්ජති, උප්පන්නාච ආසවා පවඞ්ඩන්ති යෝනිසෝ ඛෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නා චේච ආසවා න උප්පජ්ජති, උප්පන්නාච ආසවා පහීයන්තී”

    මේ සබ්බාසව සංවර පරියාය සඳහා කළ දේශණාවයි.



    http://panhinda.sirisaddharmaya.net/
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    මේක මම ලියපු නව කතාවක කොටසක්. මේකෙ සෝවාන් ඵලය ලබන්න ඕන කරන කරුණු ගැන කෙටියෙන් කියල තියෙනවා. මේ නූලෙ ඒක ධර්මානුකූලව විස්තර කරල තියෙනවා.
    ___________________________________________________________________________________________________

    එකිනෙකාගේ අත් අල්ලා ගත් දෙදෙනා සෙමින් සෙමින් මුහුදු වෙරළ වෙත ගමන් කලෝය. හෝටලයේ ප්‍රවේශ ශාලාවේදී ඔවුන් දන්නා හඳුනන කිහිප දෙනෙකු හමු විය. දෙදෙනා ඔවුනට සිනහවකින් සංග්‍රහ කොට වෙරළට පැමිණ වැලිතලාවේ නිසල ස්ථානයක හිඳ ගත්තෝය. සමාධි තාරකට තුරුලුවී ඔහුගේ උරහිසට වාරු වූවාය. බැස යන හිරු ඈත ක්ෂිතිජයට ආසන්න වී තිබුනේය. මුහුදු රළ ඉතා සෙමින් පෙරළීම නිසා මහ මුහුද ඉතා ශාන්ත ස්වරූපයක් ගත්තේය. සැඳෑ අහස රන්වන් පැහැයෙන් බැබැළෙමින් තිබුනේය. සහන් එළියෙන් ආලෝකමත්වූ මුහුද පලසක් මෙන් දිස් වූයේය.

    “හරිම ලස්සනයි නේද තාරක...” සමාධි සෙමින් මිමිනුවාය.

    “ඔව් සමාධි... කලබලයක් නැති හැමදේකම අමුතු ලස්සනක් තියෙනවා... ඔයත් එහෙමනෙ...ම්...” තාරක ඇයට කෙටි චුම්බනයක් දෙමින් කීය. සමාධිට සිහින් කිතියක් දැනුනේය.

    “තාරක... මට ඔයා නැති ජීවිතයක් නෑ...” ඇය සෙනෙහස මුසු හඬින් කීවාය.

    “අපි දෙන්නටම එහෙමයි සමාධි... මේ ඉර බැහැල යන විදිය දැක්කම ඔයාට මොනවද හිතෙන්නෙ?...ම්...”

    “ම්ම්ම්... දවසක අවසානය කියල තමයි මට හිතෙන්නෙ... ඒ වුනත් ඒක හරිම ලස්සනට පේනවනෙ...” සමාධි කීවාය.

    “ඔව් සමාධි... දවසක අවසානය ලස්සන වෙන්නෙ ඒ දවස කලබලයක් නැතුව ශාන්ත විදියට තිබුනොත් තමයි... දැන් බලන්න අද ලොකු කුණාටුවක් හමල මුහුද රළු වුනානම් මේ වගේ ලස්සනක් නෑ නේද...ම්..”

    “ඔව් තාරක... ඒක හරියට හරි...”

    “අපේ ජීවිතයත් ඒ වගේ තමයි සමාධි.. උදේට ඉර පායනවා වගේ අපේ ජීවිතේ පටන් ගන්නවා... හැන්දෑවට ඉර බහිනව වගේ ඒ ජීවිතේ අවසාන වෙනවා... මේ ඉපදීමයි අවසානයයි අතරේ නොයෙකුත් දේවල් සිද්ද වෙනවා…හරියට දවස ඇතුලත සිද්ද වෙන දේවල් වගේ... ඒ දේවල් කලබල නම්…කිසිම පිළිවෙලක් නැත්නම් අපිට ඒකෙන් සැනසීම ලබන්න බෑ... එහෙම කලබල විදියට...ඒ වගේම වැරදි විදියට දේවල් සිද්ද වුනොත් අපේ ජීවිතේ අවසාන කාලෙ එනකොට අපිට හිතේ සැනසීමෙන්...ශාන්ත විදියට ජීවත් වෙන්න හම්බ වෙන්නෙ නෑ... හරියට වැහි කුණාටු දවසක අවසානය වගේ තමයි...”

    “ස්ස්ස්…අනේ ඔව් තාරක...ස්ස්...” මදක් සංවේදී වූ සමාධි කීවාය.


    “එහෙම බැලුවම සමාධි...අපි දෙන්නගෙ ජීවිතයත් අද මේ ලස්සනට තියෙන හැන්දෑවේ අහස වගේ... අපි හරි විදියට මේ ලෝකෙ ජීවත් වුනා සමාධි... අපි අපේ හෘද සාක්කියට විරුද්ධව කිසිම දෙයක් කරල නෑ... ඒ හින්ද අපිට දැන් සැනසීම තියෙනවා... බලන්න.. ජීවිතේදි වැරදි වැඩ කරන මිනිස්සුන්ට... සල්ලි පස්සෙ දුවල මිනිස්කම් අමතක කරන උදවියට ඒ ගොල්ලන්ගෙ ජීවිතේ අන්තිම කාලෙ මේ වගේ සැනසීමක් තියෙනවද කියල... අර ලූෂන්...අයිවන් වගේ ඇමති ගොල්ලො කොච්චර බලයක් ඇතුව ජීවත් වුනත් දැන් ඒ ගොල්ලන්ට කිසිම සැනසීමක් නෑ… කරපු වැරදි වැඩ වලට විපාක මේ ජීවිතේදිම ලැබුනා... ජීවත් වෙන්න සල්ලි ඕන තමයි... ඒත් ඒකෙ සීමාවක් තියෙන්න ඕන… බුදු බණේ කියන්නෙත් එහෙම තමයි... සිගාලෝවාද සූත්‍රයෙ ඒක ලස්සනට කියල තියෙනවා... අපි අපේ දැනුම පාවිච්චි කරල රටට ලෝකෙට සේවයක් කරා... අපිට ඒකට හරියන්න සම්පත් ලැබුනා.. අපි ඒව වලින් හරි විදියට ජීවත් වුනා... අපිට මේ සැනසීම දැන් තියෙන්නෙ ඒ හින්ද තමයි...”

    අනේ තාරක... ඔය විදියට මේ ලෝකෙ මිනිස්සු හිතනව නම් ලෝකෙ කොයි තරම් ලස්සන වෙයිද?...ම්...” සමාධි සෙමින් කීවාය.

    ඒකනම් ඇත්ත සමාධි... මිනිස්සු සතුට… සැප අර ගන්න නොයෙකුත් දේවල් කරනවා... වැරදි වැඩ කරල හරි ඒ සතුට ගන්න හදනවා... ඒත් ගොඩක් දෙනා හිතන්නෙ නෑ එහෙම ගන්න සතුටෙ කාලය බොහොම කෙටියි කියල... මේවට බුදු බණේ කියන්නෙ ලෞකික සතුට කියල... අපි රස කෑමක් බිමක් අරගෙන ගන්න සතුට කෙටි සතුටක්... ටිකක් වෙලා ගියාම ඒ සතුට නැති වෙලා යනවා... ඒ වගේම හිතල බලන්න කෙනෙක් ප්‍රොස්ටිටියුට් කෙනෙක්ගෙන්…ඒ වගේම නියම ආදරයක් නැතුව කෙනෙක්ගෙන් අර ගන්න ලිංගික සතුට කොච්චර කල් තියෙනවද කියලා... ඒක හරිම කෙටි කාලීන සතුටක්... එහෙම නේද?...”

    ඔව් තාරක... ස්ස්ස්... ඔයාට බුදු බණ ගැන ලොකු දැනුමක් තියෙනව නේද...” සමාධි සොම්නස මුසු හඬින් කීවාය.

    “මම ඔයාට කියල තියෙනවනෙ සමාධි... මම හිරේ ඉන්න කාලෙ මේ වගේ හරවත් දේවල් තියෙන පොත් කියෙව්වා කියල... දැන් ලෞකික සතුටට වඩා බලවත් සතුටකට කියන්නෙ ලෝකෝත්තර සතුට... එහෙම නැත්නම් ආධ්‍යාත්මික සතුට කියල... ආදරයෙන් ඉන්න දෙන්නෙක් ලිංගික සතුටක් ලැබුවම ඒකෙන් එක්තරා විදියට ආධ්‍යාත්මික සතුටක් ලැබෙනවා...මොකද එහෙම දෙන්නෙක් එකතු වුනාම ඒක දෙන්නගෙ බැඳීම වැඩි කරන හින්දා... අපි දෙන්නා ගැන හිතුවම ඔයාට මේක තේරුම් ගන්න පුලුවන්නෙ...ම්... ඒ වගේම කණට මිහිරි සංගීතයකට ඇහුම් කන් දුන්නම ඒකෙනුත් යම් විදියක ආධ්‍යාත්මික සතුටක්...සැනසීමක් ලැබෙනවා...”

    “එතකොට තාරක... සම්පූර්ණ ලෝකෝත්තර සතුටක් ලබන්න පුලුවන් වෙන්නෙ කොහොමද?...” සමාධි ඇසුවාය.

    “ම්ම්... මම හිතන්නෙ සමාධි... ඔයා දැනටමත් ඒ වගේ ලෝකෝත්තර සතුට ලබන දේවල් කරල තියෙනවා... අපි කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව හදවතින්ම එන හැඟීමෙන් කෙනෙකුට උදව්වක් උපකාරයක් කරාම ලැබෙන සතුට ලෝකෝත්තර සතුටක් වෙනවා... ඒක කවදාවත් නැති වෙන්නෙ නෑ... දැන් ඔයා මේ වගේ උදව් උපකාර කොච්චර කරල තියෙනවද... ඔයාට ඒවවලින් එන සතුට හැමදාම තියෙනවනෙ... ම්...” තාරක සමාධිට සිහින් චුම්බනයක් දෙමින් කීය.

    “ස්ස්ස්... අනේ ඔව් තාරක... ඒ වගේම ඔයාටත් ඒ ලෝකෝත්තර සතුට තියෙනවා...” සමාධි පහන් සිතින් කීවාය.

    “සමාධි... ලෞකික සතුට හරියට මේ මූදේ උඩින් තියෙන රැළිවල තත්වය වගේ තමයි... ඒක ඉක්මනට වෙනස් වෙනවා... ඉක්මනට නැති වෙලා යනවා... ඒ සතුට හින්දා කුණාටු වගේ කැළඹිලි ඇති වෙන්නත් පුලුවන්... ආධ්‍යාත්මික සතුට හරියට මේ ගැඹුරු මුහුද වගේ... මොන කුණාටුවක්... කැළඹිල්ලක් ආවත් ගැඹුරු මුහුද හෙලවෙන්නෙ නැතුව ශාන්ත විදියට හැමදාටම තියෙනවා... ඒක හරිම ශාන්තයි... ලොකු සැනසීමක් දෙනවා... දැන් ආධ්‍යාත්මික සතුට හින්දා අපේ හිත්වලට දැනෙන හැඟීමත් ඒ වගේ නේද…ම්... ඒක අපි ළඟ වෙනස් වෙන්නෙ නැතුව හැමදාටම තියෙනවා... එහෙම වෙන්නෙ සමාධි... අපි පුලුවන් විදියට අනුන්ට උදව් උපකාර කරගෙන මේ ලෝකෙ හරි විදියට ජීවත් වුන හින්දා...” තාරක උපේක්ෂාවෙන් කීය.

    අනේ තාරක..ස්ස්ස්..අහ්..ඔයා කියන එක හරියට හරි... ඔයා වගේ කෙනෙක් ලැබෙන්න මම ගොඩක් වාසනාවන්තයි තාරක....”

    “ඒ වගේම ඔයා වගේ කෙනෙක් ලබන්න මමත් වාසනාවන්තයි සමාධි... දැන් මේ බැහැල යන ඉර වගේ අපේ ජීවිත වලත් හැන්දෑ කාලෙ ඇවිත් තියෙන්නෙ... අපිට තව මේ ලෝකෙ ජීවත් වෙන්න තියෙන්නෙ ජීවත් වුනාට වඩා අඩු කාලයක්... අපේ මේ ජීවිත කාලෙ දැන් ටිකෙන් ටික අවසානෙට ළං වෙනවා...” තාරක සෙමින් කීය.

    “අනේ තාරක...ස්ස්…අනේ මට ඔයා නැතුව මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ...” සමාධි ශෝකී හඬින් කීවාය.

    “සමාධි... අපි යථාර්තයට මූණ දෙන්න ඕන.. අපි දෙන්නට එකම දවසෙ මේ ලෝකෙන් සමු ගන්න ලැබෙන එකක් නෑ... ඒ කොහොම වුනත් අපි එන විදියට ඒකට මූණ දෙන්න ඕන... ඔයා ඒ ගැන හිතලා දුක් වෙන්න එපා... ඒ එක්කම මම ඔයාට තවත් දෙයක් කියන්නද?....”

    “ඒ මොකද්ද තාරක?...” සමාධි ඇසුවාය.

    “උදේට ඉර පායලා හවසට බැහැල යන එක ජීවිතයක් ඇති වෙලා නැති වෙලා යනව වගේ... ඒ වුනත් සමාධි... ඉර ආපහු පායනවා... ආයිත් බැහැල යනවා... මේක දිගටම සිද්ද වෙනවා... දවසක් ඇති වීම නැතිවීම වගේ ජීවිතයක් ඇති වීමත් නැති වීමත් පුනරාගමනයක් වෙනවා... මේ විදියට පුනරාගමනය සිද්ද වුනත් ඉර හැමදාම එකම විදියට තියෙනවා… අන්න ඒ වගේ තමයි අපේ නොසැලෙන සෙනෙහසත්... අපේ ජීවිතවල කොයි තරම් පුනරාගමනයක් සිද්ද වුනත්…අපි තව ආත්ම ගණනාවක් මේ සංසාරෙ ගමන් කලත්... අපේ නොසැලෙන සෙනෙහස කවදාවත් වෙනස් වෙන්නෙ නෑ... ඒක ආත්මයක් ආත්මයක් ගානෙ අපි දෙන්න නිවන් දකින ආත්මය වෙනකන්ම තියෙනවා...” සමාධි තදින් තුරුලු කොට ගත් තාරක කීය.

    “අනේ මගේ තාරක.අ.අ.අ.අ.ආ..ඉහ්..ස්ස්.ඉහ්..ඉහ්.ඉහ්.. ස්ස්ස් ස්ස්ස්…ඉහීඊඊඊ...”

    තාරක සහ ඇයගේ නොසැලෙන සෙනෙහසින් උද්දාමයට සහ ප්‍රීති සංවේගයට පත් සමාධි සතුටු කඳුලු හෙලන්නට වූවාය.

    “දුක් වෙන්න එපා සමාධි..අපි සන්තෝස වෙමු... මිනිස් කම් නැතිවෙලා යන මේ ලෝකෙ අපි දෙන්නා ගැන ...අපේ පවුල ගැන... අපේ යාලුවො ගැන අපි සතුටු වෙමු... ඔයා දන්නවද සමාධි... මරණයට ළං වෙලා ඉන්න කෙනෙක්ගෙ හිතට එයාට තිබුන සල්ලි… වස්තුව... ඉගෙන ගත්ත උපාධි... මේ වගේ කිසි දෙයක් මතක් වෙන්නෙ නෑ... එයාට මතක් වෙන්න එයාට ආදරේ කලේ කවුද කියල විතරයි... ගොඩක් දෙනෙක් එයාට ජීවිත කාලෙදි ආදරේ කරා නම් එයා සන්තෝස වෙනවා... එහෙම වෙලා නැත්නම් එයා මැරෙන්නෙ දුකක් හිතේ තියාගෙන...”

    “අනේ තාරක... එහෙම බැලුවම මේ ලෝකෙ ඔක්කොම ඔයාට ආදරේ කරා කියන්න පුලුවන්... ඔයා එක්ක තරහ කට්ටිය හිටියනම් ඒ එක්කෙනයි දෙන්නයි...”

    “ඔයාටත් ඒ වගේ සමාධි... ඔයා හැමෝටම කරුණාවෙන් දේවල් කරා... අන්න ඒ හින්ද අපි දෙන්නට අපේ ජීවිතේ මේ හැන්දෑ කාලෙදි ගොඩක් සතුටු වෙන්න පුලුවන්... ඒක ලෝකෝත්තර සතුටක්...” තාරක සමාධිගේ හිස පිරිමදිමින් කීය.

    “ඔව් තාරක..ස්ස්ස්....ඉහ්..ස්ස්...”

    “අපි අපේ ජීවිතවල ඉතුරු කාලේ ආගම ධර්මෙට හුරු වෙලා ඉඳිමු සමාධි... සමාධි ඔයා දන්නවද සෝවාන් ඵලය ලබා ගන්න මූලික වෙන කරුණු හතර මොනවද කියල?...”

    ඔව් තාරක... මම බණ දේසනා වලදි ඉගෙන ගෙන තියෙනවා... ඒ හතර තමයි... කළ්‍යාණ මිත්‍ර ඇසුර... සද්ධර්ම ශ්‍රවණය... යෝනිසෝමනසිකාරය... ධම්මානුධම්ම පටිපදාව... මේව නේද තාරක..."

    “ඔව් සමාධි හරියට හරි... දැන් බලන්න... අපි හැමදාම ආශ්‍රය කරේ කළ්‍යාණ මිත්‍රයො...ඒ ගොල්ලො කවදාවත් අපිව වැරදි පාරෙ යවන්න වැඩකරල නෑ... හොඳ දේවල්මයි දුන්නෙ... ඒ හින්දා කළ්‍යාණ මිත්‍ර ඇසුර අපිට තියෙනවා... ඔයා නිතරම පන්සලට යන හින්ද… බණ භාවනා කරන හින්දා ඔයාට සද්ධර්ම ශ්‍රවණයත් තියෙනවා... මම හිතන්නෙ නෑ අපි කවුරුත් තවම යෝනිසෝමනසිකාරයත්… ධම්මානුධම්ම පටිපදාවත් පුරුදු පුහුණු කරල තියෙනව කියල... යෝනිසෝමනසිකාරය කියන්නෙ සද්ධර්ම ශ්‍රවණයෙන් ලබා ගත්ත දැනුම…ඒ වගේම කරුණු නුවණින් මෙනෙහි කරලා ඤාණය වඩවා ගන්න එක... ධම්මානුධම්ම පටිපදාව කියන්නෙ මේ ඤාණය පාවිච්චි කරල දහම් පිළිවෙත් වඩලා නිවැරදි සිහි කල්පනාව නැත්නම් mindfulness ඇතිකර ගන්න එක... අපි ඒක පොඩ්ඩක් හරි ඇති කර ගන්න ඉස්සරහට උත්සාහ කරමු... ඒ කොහොම වුනත් අපි දෙන්නම ඉස්සරහට පන්සලට සම්බන්ධ වෙලා ආධ්‍යාත්මික පැත්තට වැඩ කරමු... ඔයා දැනටමත් ගොඩක් පන්සලත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා... සිල් ගන්නවා... භාවනා කරනවා... දන් දෙනවා... දුප්පත් අසරණ අයට උදව් කරනවා... පිළිකා සරණ සේවය... මත් ද්‍රව්‍ය පිළිලය නැති කරමු වගේ සමාජ සේවා වැඩ කරනවා... අපි දෙන්නම එකතු වෙලා ඉස්සරහට මේ විදියට වැඩ කරමු... ළඟදිම අපි දෙන්නා ආච්චියි සීයයි වෙනවා...ඉතින් අපිට ඉස්සරහට ඒ පැටව් ටිකත් එක්ක සන්තෝසෙන් සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්...”

    “අනේ ඔව් තාරක... අපි දෙන්නම එකතු වෙලා ඒ විදියට වැඩ කරමු... මට හරිම සන්තෝසයක් දැනෙනවා...”
    සමාධි තාරකගේ කම්මුල සිප ගනිමින් කීවාය.

    “අක්..ක්.හ්.ක්.හ්..ආක්..අක්.අක්..ස්...”

    තාරකට එක්වරම සුලු කැස්සක් ඇති විය. සමාධි ඔහුගේ ළය පෙදෙස සෙමින් පිරි මැද්දාය.

    “ස්ස්... හුළඟ ටිකක් හීතලයි තාරක... ඔයාට කැස්ස ආවෙ ඒකයි... අපි යමු රූම් එකට... ඔයාට බඩගිනිද?...

    “අක්..ස්.. අපෝ නෑ සමාධි... නංගි සෑහෙන්න කෑම ගෙනත් තිබුනා.. ඒවා කාලා දැන් නම් ඩිනර් ඕනත් නෑ... අපි යමු හොටෙල් එකට....” තාරක නැගිටිමින් කීය.

    දෙදෙනා හෝටලයේ ඔවුන්ගේ කාමරයට පැමිණියෝය.
     
    • Like
    Reactions: sgrdk1
    Jul 5, 2012
    1,773
    265
    0
    සෝවාන් වෙන්නත් නිර්මාංශ වෙන්ඩ ඕනෙ කියලද මීවනපලානේ හිමි කියන්නේ?:D:D


    බුදුහාමුදුරුවෝ නම් ඇල් හාලේ බතුයි වටු මසුයි වලඳා දේශනා කලා ආම ගන්ධ සුත්‍රය, මීවනපලානේ අනුගාමිකයන්ට කට උත්තර නැති වුනා නේද?


    http://www.elakiri.com/forum/showpost.php?p=20337644&postcount=203
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark


    පින්වත් Skylark,

    ඔබේ ඔය "මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!" ලැයිස්තුවේ තියෙන ඒවා අපි එක එක විසදමුද?

    ඔබ මට ඒ කටයුත්ත ඉටු කරන්න උදවු දෙනවාද?

    මට හිතෙන්නේ එකෙන් ඔබට ලොකු සැහල්ලුවක් දැනෙවි.