PABD: නිවන් දැකීම යනු කුමක්ද?
මතු සම්බන්ධයි...
PABD: නිවන් දැකීම යනු කුමක්ද?
--
ගෙන ඒම
පරම අං බාන ධර්මායතනය
http://www.elakiri.com/forum/showthread.php?t=1805589
--
--
ගෙන ඒම
පරම අං බාන ධර්මායතනය
http://www.elakiri.com/forum/showthread.php?t=1805589
--
නිවන් දැකීම යනු යථාවබෝධයයි
මුළු බුද්ධ දේශණාවම, පරම පවිත‍්‍ර සිරි සද්ධර්මයම දේශණා කළේ ලෝකයාට නිවන් අවබෝධ කර ගැනීමට මඟ පෙන්වන එකම පරමාර්ථයෙනි. “නිවන” යන අකුරු තුනෙහි නිවනක් නැත. නිවන් දකිත්වා යැයි ලක්‍ෂ වාරයක් කීවද එහිද නිවනක් නැත. “මම නිවන් දකිම්වා, සියල්ලෝ නිවන් දකිත්වා” යන පදවල ද නිවනක් නැත.
මේ පවතින ලෝකය තුළද ලෞකිකත්වය මිස නිවනක් නැත. නිවන් අවබෝධ කර ගැනීමට උපකාර කර ගත හැකි එකම තැනත් මේ මිනිස් ලෝකයමයි. ලෝකයෙහි මිනිසෙකු ලෙස ජීවත් වන කාලය තුළදීම මේ සඳහා සියලු වීර්යය, ධෛර්යය කළ යුතුය. මේ ලෝකය ප‍්‍රයෝජනයට ගෙන, ලෝකය තේරුම් ගෙන, ඒ උපකාර කර ගත් ලෝකයෙන්ද මිදී නිදහස් වීම නිවන් දැකීමයි. මරණයෙන් පසු නිවන් දැකීමට කිසිවෙකු සිතතොත් එය ලොකුම මෝහයයි.
නිවන් අවබෝධ කර ගැනීම යනු මෝහයෙන් මිදී යථාවබෝධය ලැබීමයි. යථාවබෝධයක් ලබා ගත යුත්තේ, උපතට මරණයට නියත ලෙසම හේතු පාදක වන හේතුඵල පරම්පරාවේ ක‍්‍රියාත්මක වීම පිළිබඳව සත්‍යය අවබෝධ කර ගැනීමටයි. මේ ධර්මතාවය පිළිබඳව සත්‍යය වටහා ගත් පසු ධර්මාවබෝධයක් ලැබූ මිනිසෙකුට, තමා සිතන, කරන, කියන සෑම දෙයක්ම ධර්මයට බහා බලා කටයුතු කිරීමේ ශක්තියක් ලැබෙයි. මෙය පුරුදු පුහුණු කරගත් කළ තමා හිතන, කරන, කියන දේ තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ සසර ගමන දික් කිරීමට, නිවන ප‍්‍රමාද කිරීමට හේතු වේ නම්, එය ප‍්‍රහාණය කර, ඒ සිතිවිල්ල, ක‍්‍රියාව, කථාව, අතහැර, ඉන් මිදී නිදහස් විය හැක. එවැනි යම් සිතුවිල්ලක්, ක‍්‍රියාවක්, කථාවක් තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ හෝ නිවනට උපකාර වේ නම්, නිවන් මඟ විවෘත කර දෙයි නම්, නිවන් මඟට ඇති බාධක, කෙළෙස් දවා හැර මඟ ශුද්ධ කර දෙයි නම්, එවැනි දේ සිතීම, කථා කිරීම වැඩි වැඩියෙන් පුහුණු කළ යුතුය. මේ සතර සතිපට්ඨානය වැඞීමයි.
යම් සිතුවිල්ලක්, කථාවක්, ක‍්‍රියාවක් නිසා සංසාරයට බැඳීම, ලෝකයාට සම්බන්ධ වීම, ලෝකය කෙරේ වූ බලාපොරොත්තු ඇති කිරීම වර්ධනය කරන එකක් බව දැක්කොත්, එය නිවනට බාධා බව දැක, ඉන් මිදී නිදහස් වීමට හැකි වන්නේ හේතුඵල දහම දැකීමෙන්ම පමණි.
පහකළ යුතු දේ ප‍්‍රහාණය කිරීමත්, ආශ‍්‍රය කළ යුතු දේ ආශ‍්‍රය කිරීමත් කළ යුත්තේ තම සිතින් තමාමය. වෙන කවුරු හෝ අම්මා, තාත්තා හෝ බුදුපියාණන් හෝ මහා සංඝරත්නය හෝ ඔබ වෙනුවෙන් මෙය කර දීමට ඉදිරිපත් විය නොහැකි බව සහතික කොට වටහා ගත යුතුය.
තමා ඉපදුනේ වෙන කාගේවත් වරදකින් හෝ වෙන කාටවත් අවශ්‍ය නිසා හෝ නොවේ. මරණ මොහොතේත් නොතිත් ආශා බලාපොරොත්තු සිත තුළ පැවති නිසා, තව කලක් මතුත් ජීවත් වන්නට කැමැත්තක් තිබූ නිසාම තමා නැවත උපතක් ලබා ගති. තැනක හා විය.
එවන් සියලු බලාපොරොත්තු අතහැර නිදහස් වීම නිවනයි. සිතෙහි උපදින සියලු කෙළෙස්, කුණු පහකර ශුද්ධ පවිත‍්‍ර කර ගත යුතුවාක් මෙන්ම, මතු පළදිය හැකි යහපත් පින් කුසල් ආදී සියලු දේමත් අතහැර, ඒවායින් ද නිදහස් විය යුතුය. කර්මජ කෝෂය හොඳ නරක, පින් පව් සියල්ලෙන් හිස් විය යුතුය. එවිට ඵල විපාක දීමට යමක් එහි ඉතිරිව නැති නිසා මතු උපතක් සිදු නොවේ. මේ අනුව නිවන් අවබෝධ කර ගන්නවා, නිවන් දකිනවා යනු කුමක් දැයි බුද්ධිගෝචරව දැන, ඒ සඳහා ක‍්‍රියා කළ යුතු ආකාරය, මඟ පෙන්වීම ලබා දීම, ධර්ම දේශකයින්ගේ හා පොත පතෙහි ධර්මය ලියා පළ කරන්නන්ගේ වගකීමයි. යුතුකමයි. මිනිසත් බවක් ලැබ උපත ලැබූ මේ අවස්ථාවේදීම, තමාම මේ කටයුත්ත කර ගත යුතු බව නැවත මතක් කරමි.
නිවන පිළිබඳ අනුමාන ඥාණය ලබා ගත හැක්කේ කෙසේද?
බුදුන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම අවබෝධ කරගත් විමුක්ති මාර්ගය, භව නසන මාර්ගය (බණ) තම මුළු ජීවිත කාලය තුළම අනන්ත අප‍්‍රමාණ දෙව් මිනිසුන්ට නිවනට මඟ පෙන්වා දීම සඳහාම දේශණා කළහ. බුදුපියාණන්ගේ පරිනිර්වාණයෙන් පසුව මඟඵල ලැබූ ආර්ය උත්තමයින් වහන්සේලාද මේ නිවන් මාර්ගය දේශණා කර පරම්පරා ගණනාවක් නොනැසෙන ලෙස නිවන් මඟ ආරක්‍ෂාකර දේශණා කරමින් පවත්වාගෙන ආහ. ආර්ය උත්තමයන් වහන්සේලාගේ විශේෂයෙන්ම සිවුපිළිසිඹියාපත් ලැබූ අරහතුන් වහන්සේලාගේ පහළවීම නැවතීමත් සමඟම මේ භව නසන, භව නිරෝධ කරන මඟ කියා පැහැදිළි කර දීමට සමත් කෙනෙකු නැති විය. ඒ ධර්මයම ඒ වචනම යොදා ගෙන පසු කාලයේ භව හදන ජීවන මාර්ගයක් සකස් කර ගන්නට උපකාර වන ආගමක් ලෙස බුද්ධ ධර්මය තේරුම් කර දීමට යාම නිසා නිවන් මඟ වැසී යටපත් විය.
නිවන් දැකීම යනු කුමක්දැයි තවත් කෙනෙකුට නිවැරදිව ප‍්‍රකාශ කළ හැක්කේ, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මඟඵල අවබෝධ කරගත් අරිය උත්තමයකුට පමණි. මෙවැනි මඟඵල ලැබූ අරිය උත්තමයෙකුගේ කටහඬ, දේශණා කරන ධර්මය තවත් කෙනෙකුට සෝතාපන්න වීමට පිහිට වේ. සෝතාපන්න යන වචනයෙහිම මේ අරුත ඇත. ”සෝත” යනු ශ‍්‍රවණයයි. ”ආපන්න” යනු මඟට පිවිසීමට උපකාරක බවයි. එසේ නම් සෝතාපන්න යන පදයෙහි තේරුම කඩහඬ අසා ධර්මය ශ‍්‍රවණය කර, නිවන් මඟට පත්වීම යනුයි. සුතමයේ ඥාණය ලැබීමයි.
මෙය ”පරතෝඝෝෂක ප‍්‍රත්‍යය” යනුවෙන් හඳුන්වයි. ශ‍්‍රවණය හා ඇසීම යනු එකක්ම නොවේ. ශබ්දය ඇසීම, කියන වචන, කටහඬ ඇසීම එකකි. යමක් අසන්නේ හෝ ඇසෙන්නේ උත්සාහයක් නැතිවමය. ශ‍්‍රවණය යනු අවධානයෙන් යුතුව කියන වචන, කියන දේ, කියන විලාසය, අර්ථය, සුන්දර බව නිවැරදිව අවබෝධ කරගෙන ධාරණය කර ගැනීමයි. පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලැබෙන්නේ ධර්මය ශ‍්‍රවණය කිරීමෙනි. බුදුපියාණන් වහන්සේ සිරි මුඛයෙන් දේශණා කළ ධර්මය ශ‍්‍රවණය කිරීමෙන්ම සියලු ශ‍්‍රාවකයින් වහන්සේලාටද මඟඵල ලැබිණි. සෝතාපන්න විය. ඒ අරහතුන් වහන්සේලාද තම ශ‍්‍රාවකයින්ට දේශණා කළ ධර්මය ශ‍්‍රවණය කිරීමෙන් පරපුරෙන් පරපුරට මේ සෝතාපන්න වූ බව පවත්වා ගෙන ආහ. ක‍්‍රමයෙන් මඟ ඵල ලැබූ උත්තමයින් වහන්සේලාගෙන් ලෝකය හිස්වෙත්ම මෙසේ මේ සෝතාපන්න වීමට උපකාරක කටහඬ, ධර්මය ශ‍්‍රවණය කරන්නට නොලැබීම නිසා මඟඵල ලැබූ උත්තමයින්ගේ පරම්පරාව අවසාන විය.
සෝතාපන්නයෙකු වීමට අවශ්‍ය පළමුවැනිම සාධකය පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලබා ගැනීමයි. තවත් පෘථග්ජන මිනිසෙකුට මේ ලබා දීම කළ හැක්කේ අඩුම වශයෙන් සෝතාපන්න තත්ත්වයට හෝ පත් වූ ආර්ය උත්තමයකුට පමණි. බුදුපියාණන් වැඩසිටි කාලයේදී, අරහතුන් වැඩසිටි කාලවලදී, ඒ අරහතුන් වහන්සේලාගේ කටහඬින් දේශණා කළ ධර්මය ශ‍්‍රවණය කර, පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලැබ, සෝතාපන්න වූ උත්තමයින් නැවත මිනිස් ජාතියක උපන්නොත්, ඒ උත්තමයින් ”ජාත සෝතාපන්න” යනුවෙන් හඳුන්වති. මෙවැනි උත්තමයින් අදද අප අතරම සිටිති. අප අතරම ජීවත් වූවත් ඒ අය වෙන්කර හඳුනා ගැනීම නම් තරමක් අපහසුය.
කෙසේ වුවත් එවැනි උතුමන් අවබෝධ කරගත් නිවන් මාර්ගඵල හා ධර්ම ඥාණයත් දියුණු කරගෙන තවත් අයටද ධර්මය පැහැදිළි කර දීමට හැකියාව, ශක්තිය ඇත්නම් ඒ කටහඬ අසා, ධර්මය අසා අදද පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලබා, සෝතාපන්න විය හැකිය. මෙය අනුමාණ ඥාණයෙන් නිවන් දැකීමයි.
ස්වඋත්සාහයෙන්ම, ස්වයංභූ ඥාණයෙන්ම බාහිර කෙනෙකුගේ උපකාරයෙන් තොරව මඟඵල ලබා නිවන් අවබෝධ කර ගත හැක්කේ, බුදුවීමට පෙරුම් පුරණ බෝසත් උත්තමයෙකුට බුදුවන ආත්ම භවයේදී හා පසේ බුදුවරයෙකුට පසේ බුදුවන ආත්මයේදීම පමණි. වෙනත් දෙවියකුට, මිනිසෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට පරතෝඝෝෂක ප‍්‍රත්‍යය නොලබා ස්වඋත්සාහයෙන්ම නිවන් මඟඵල ලැබිය නොහැකිය.
කවුරුන් කෙසේ විස්තර කළත් සත්‍යය මෙයයි. ”භාවනා කර විදර්ශනා වඩා උත්සාහයෙන් වීර්යයෙන් නිවන් දකිමියි” කියා වසර සියයක් උත්සාහ කළත් ආත්ම ගණනක් උත්සාහ කළත්, මඟඵල ලැබූ උත්තමයකු හමු වී, ඒ කට හඬින් බණ ඇසීමෙන් ලැබූ පරතෝඝෝෂක ප‍්‍රත්‍යයෙන්, කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියෙන් මිස වෙන අයුරකින් මඟඵල ලැබිය නොහැකිමය. අනාර්ය ධ්‍යාන නම් ලැබිය හැකිමය. මෙසේ වීර්යයෙන් උත්සාහ කර, භාවනා කර, සිල් රැක කරන පිං දහම් අපතේ යන දෙයක් නොවේ. භාවනා කිරීම නිසා සමාධියත් ධ්‍යානයත් ලැබෙන නිසා මතු සුගතියකම උපත ලැබීමට වාසනාව ලැබෙයි. කවදා හෝ අරිය උත්තමයකුගේ කට හඬෙන් බණ (බව නසන මඟ) අසන්නට ලැබෙන මොහොතේම ඒ අය මඟඵල ලබන්නට හේතු සම්පත් ලබන්නේය.
මාර්ග ඵලයට පත්වූ කෙනෙකු මතු කිසි කලෙක නිවන් දක්නා ජාති දක්වා සතර අපායක උප්පත්තියක් නොලබයි. සසර දුකින් මිදුනා වෙයි. සෝවාන් මඟඵල ලාභියෙකු දෙව් ලොව, මිනිස් ලොව හෝ උපත ලබා කෙත් සතක් පසුකර නිවන් දකී. කොතරම් ඉහළ අනාර්ය ධ්‍යානයක් හෝ ලැබුවකු වූවත් මඟඵල නොලැබූයේ නම් දෙව් ලොව, බ‍්‍රහ්ම ලෝක වල උපත ලබා, කළ පිං වල ශක්තිය අවසානයේ යළි සතර අපායක වුවද මතු ඉපදීමට ඉඩ ඇත.
කළ පින් නිසා සැපම විඳින්නට ගියහොත් සැපට ලොබ වුවොත් රාග, ද්වේෂ, මෝහ වලට යළිත් බැඳෙන නිසා, දුගතියට පත්වීම වැළැක්විය නොහැකිය. මේ කරුණු අනුව පැහැදිළි වන්නේ, මඟඵල ලබා සසර දුකින් සඳහටම මිදෙන්නට නම් “පරතෝඝෝෂක ප‍්‍රත්‍යය” ලබා ගැනීම පළමුවන අවශ්‍යතාවය බවයි.
අනුමාන ඥාණයෙන් නිවන් දැකීමට අවශ්‍යයෙන්ම පූර්ණ කළයුතු දෙවන කාරණය නම් කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලැබීමයි. කළ්‍යාණ මිත‍්‍රයකු යනු කිසිදු ලාභයක්, ප‍්‍රයෝජනයක්, කීර්තියක්, ප‍්‍රශංසාවක් හෝ ප‍්‍රතිලාභයක් කිසිම අයුරකින් බලාපොරොත්තු නොවී, තම කාලයත්, ශ‍්‍රමයත්, සම්පතුත් අනුන් වෙනුවෙන්ම වැය කරමින් හුදෙක් පරෝපකාරයම, පරාර්ථය සඳහා දුකෙන් තැවෙන හුදී ජනයා කෙරෙහි ඇති වූ අනුකම්පාවෙන් ම තමන් අවබෝධ කරගත් ධර්මය, කළු ධර්මයන් නසන මඟ, නිවන් මඟ වෙනත් කෙනෙකුට පැහැදිළි කර දෙන උත්තමයාය. කරුණාව, මෙත්තාව මුල් කර ගෙන, අවංකව පරම පවිත‍්‍ර චේතනාවෙන්, කෙළෙස් නසන මඟ (බණ) දේශණා කරන උත්තමයා අඩු තරමින් සෝවාන් මාර්ග ඵලයවත් ලබා සිටිය යුතුය.
මෙයින් පැහැදිළි වන්නේ පෙර කළ පින් ඇත්නම්, උත්සාහය වීර්යය නොඅඩුව පවත්වන්නේ නම්, නිවන් දැකීමට, මඟඵල ලැබීමට අදද කිසි බාධකයක් නැති බවයි. ගිහි වුවත් පැවිදි වුවත් අරිය නොවූ පෘථග්ජන පුද්ගලයකුට, කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියත්, පරතෝඝෝෂක ප‍්‍රත්‍යයත් ලැබෙන තුරාවට මඟඵල ලැබිය නොහැකිය. දෙවිවූවන්ටත්, බ‍්‍රහ්මවූවන්ටත්, මිනිසුන්ටත් කවදා හෝ අරිය උත්තමයෙකුගෙන් බණ අසන්නට ලැබී, ඒ කට හඬින් පරතෝඝෝෂක ප‍්‍රත්‍යයත්, කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියත්, සම්මා දිට්ඨියත් ලැබුණහොත්, ඒ හේතුකොට ගෙන අනුමාන ඥාණයෙන් නිවන් දැකිය හැකිය. පූර්ව භාග නුවණ පහළ වේ. ගඟක් මුහුද කරාම ගලාගෙන යන්නා සේ එතැන් පටන් නිවන පූර්ණය වන තුරු ධර්මතාවයෙන් ධර්මතාවයෙහිම පිහිටා කටයුතු කිරීම එවැනි උත්තමයින්ගේ නියත ලක්ෂණයකි.
බුදුපියාණන්වහන්සේ දේශණා කළ පරිදි සබ්බාසව සූත‍්‍රයේ “දස්සනේන පහාතබ්බං”, “භාවනාය පහාතබ්බං”, “සංවරේන පහාතබ්බං” යැයි අවස්ථා හතකදී නිවන පූර්ණය වන බව පෙන්වා දී ඇත. මෙහි විස්තර කළ “දස්සනේන පහාතබ්බං” යනු අනුමාණ ඥාණයෙන් නිවන් දැකීම හෙවත් පූර්ව භාග නුවණ පහළ වීමයි. සෝවාන් මඟ ඵල ලැබීම දක්වා ගමනයි. “සං” දැක, “සං” වලින් මිදී නිදහස් වන හැටි දැකීමයි.
අද නිවන් දැකිය නොහැකිය. නිවන් මඟ වැසී ඇත. මතු බුදුවන මෛත‍්‍රී බුදුන් බුදුවන තුරු ඒ සඳහා බලා සිටිය යුතු යැයි වැරදි අදහස් දරන්නේ අනවබෝධය නිසාමය. මිනිසෙකුව උපන් සියලු දෙනාටම මේ අවස්ථාව සහ ආයු, සැප, බල, වර්ණ, ප‍්‍රඥා ආදී සියලු සම්පත්ද ලැබී ඇති බව නුවණින් දැන, මේ බුද්ධෝත්පාද කාලයක් බවද සිහිපත් කර, පරතෝඝෝෂක ප‍්‍රත්‍යය හා කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියද ලබාගෙන, “බව” නසන මඟද (බණ) අසා දැන ගත හැකි අරිය උත්තමයින් දැන හඳුනා ගෙන, නිවන් දැක ගැනීමට මඟ පාදා ගනිත්වා.
මතු සම්බන්ධයි...
