නිවන්_මඟ_මෙන්න-(Part 06/20)

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නිවන්_මඟ_මෙන්න-(06/20)

    3.8 ලෝක සමුදය, ලෝක නිරෝධය

    සමහර අය හිතාගන ඉන්නේ ලෝක නිරෝධය කියන්නේ ඇසට රූපයක් ගැටුනම ඇසත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා, රූපයත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා, හිතත් (චක්ඛු විඥ්ඥානයත්) ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා ඔන්න එතකොට ලෝකය නිරුද්ධ වෙනවා කියලයි.

    ඇසට රූපයක් ගැටිලා චක්ඛු විඥ්ඥානය ඇති වෙන එක නවත්තන්න බුදු කෙනෙකුට වත් බෑ... ඒක නැති කරන්න දෙයක් නෑ ඉබේම නැති වෙනවාමයි. එහෙනම් අමුතුවෙන් නිරෝධ කරන්න දෙයක් නැහැ. එහෙම වුනාම ලෝක නිරෝධය වෙනවානම් මේ වෙද්දී අපි හැමෝම නිවන් දකින්න එපැයි.
    ඕක සමුදය-නිරෝධය නෙවෙයි. ඕක උදය-වැය නෙවෙයි. ඕක දැක්කා කියලා නිවන් දකින්නේ නෑ

    එහෙම බැලුවොත් ඇසට රූපයක් ගැටිලා චක්ඛු විඥ්ඥානය ඇති වෙලා නැති වෙලා යන්නේ නැතුව තාමත් තියනවා කියලා හිතාගන ඉන්නවා කියලා හිතන එක අවිද්‍යාව වෙන්න ඕනේ. ඕක නෙවෙයි සමුදය නිරෝධය කියන්නේ

    අවිද්‍යා, තන්හා, ජන්දරාගය (ආශ්වාදය) ඔතනයි අවුල තියෙන්නේ

    එතකොට ලෝක සමුදය කියන්නේ මොකක්ද?

    "මහණෙනි, ලෝකයේ සමුදයත් අත්තංගමයත් දේශනා කරන්නෙමි එය අසවු. මහනෙනි ලෝකයේ සමුදය කවරේද යත්: ඇසත් රූත් නිසා චක්ඛු විඥ්ඥාණය උපදී. තිදෙනාගේම එක්වීම පහසයි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තන්හාව් අවේ. තන්හාව නිසා උපාධාන වේ. උපාධාන නිසා භවය වේ. භවය නිසා ජාති වේ. ජාති නිසා සෝක පරිදේව දුක්ඛ දෝමනස හටගනිත්. මෙය ලෝකයේ සමුදයයි"
    (සංයුත්‌ත නිකාය, ලෝක සමුදය සූත්‍රය)


    ඔය කිව්වේ පටිච්ච සමුප්පාදයමයි. ඇස ඇත-නැත කතාවක් ඔතන නෑ.

    ඇස, රූප චක්ඛු විඥ්ඥානය ස්ඵර්ශයෙන් වේදනාවක් ඇති වෙනවා
    එතනට එනකම් බුදුවරයෙකුට වත් නවත්තන්න බෑ....වේදනාවක් දැනුනම ඔන්න අපි "අවිද්‍යාව නිසා" තන්හාව හදාගන්නවා ඒ නිසා දුක හටගනන්වා. ඔන්න ඕක තමයි "ලෝක සමුදය"

    එතකොට ලෝක නිරෝධය කියන්නේ මොකක්ද?

    "මහණෙනි, ලෝකයේ අස්තංගමය කවරේද යත්: ඇසත් රූත් නිසා චක්ඛු විඥ්ඝ්නානය උපදී. තිදෙනාගේම එක්වීම පහසයි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තන්හාව වේ. ඒ තන්හාවේ ම "නිරවශේෂවිරාග නිරෝධයෙන් උපාධාන නිරෝධ වේ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි මේ ලෝකයේ අස්තංගායයි."
    (සංයුත්‌ත නිකාය, ලෝක සමුදය සූත්‍රය)

    ඔන්න ලෝකය නැති වෙන හැටි

    ලෝකය නැති වුනාම රාගයෙන් ශුන්‍යයි, ද්වේෂයෙන් ශුන්‍යයි, මෝහයෙන් ශූන්‍යයි

    ඔව්වයි ඇත නැත වෙන්නේ.
    සතර මහා භූතයෝ ඇත නැත කියන එක නෙවෙයි. ඒවා දෘෂ්ඨි.
    ඔය වගේ දෘෂ්ඨි වලින් යන්න පුළුවන් සතර අපායට තමයි

    3.9 සක්කාය දිට්ඨිය

    සක්කායදිට්ඨිය කියන්නේ "මම ය මාගේ දෘෂ්ඨිය" කියලයි ගිරවා දාලා හැමෝම කියන්නේ. බලමු ත්‍රිපිටකයේ තියෙන්නේ මොකක්ද කියලා. විශාඛාව ගිහින් ධම්මදින්නා මෙහෙණින්වහන්සේගෙන් අහනවා ඔය ගැන

    "ආර්‍ය්‍යාවෙනි, ‘සත්කාය, සත්කාය’ යි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් කවර දහමෙක් ‘සත්කාය’ යි වදාරන ලද්දේ ද?"
    "ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානයනට ප්‍රත්‍යය වූ ස්කන්‍ධ පස ‘සත්කාය’යි වදාරන ලද්දේය. හෙ කෙසේය යත්: රූපොපාදානස්කන්‍ධය, වෙදනොපාදානස්කන්‍ධය, සංඥොපාදානස්කන්‍ධය, සංස්කාරොපාදානස්කන්‍ධය, විඥානොපාදානස්කන්‍ධයි. ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤෙචාපාදානස්කන්‍ධ ‘සත්කාය’ යි වදාරන ලදී."

    (මජ්ජිමනිකාය, මූල පන්නාසකය, චූල යමක වර්ගය, චූළවෙදල්ල සූත්‍රය)

    ඒ කියන්නේ මොකක්ද? පංචස්කන්ධය රාග, ද්වේෂ මෝහ වලින් අරන් පංචඋපාධානස්කන්ධය හදාගන, ඒ හදාගත්ත “ආශ්වාද කය සත්" කියලා ගන්න දෘෂ්ඨියට කියනවා සක්කායදිට්ඨිය කියලා. මේ සක්කායදිට්ටිය ඇතිවෙන්නේ පංචඋපාධානස්කන්ධය නිසා කියලයි කියන්නේ.

    ඔය ආශ්වාද කය නැති කරගන්නයි සත සතිපට්ඨානය වඩන්නේ. මම නෙවෙයි මගේ නෙවෙයි කිව්වට වැඩක් නෑ...ලෙඩක් හැදුනම මගේ නෙවෙයි මගේ නෙවෙයි කියලා ඉන්නවද? බෙහෙත් ගන්නේ නැද්ද? බඩගිනි වුනාම මගේ නෙවෙයි මම නෙවෙයි කියලා කෑම කන්නේ නැද්ද?

    යමක් කෙරෙහි රාගයෙන්, තන්හාවෙන් පටිච්ච වුන ගමන් හැදෙන්නේ ආශ්වාදයයි. සක්කාය දිට්ඨිය කියන්නේ රාග, ද්වේෂ මෝහ කතාවක් ඔතනත් තියෙන්නේ. සක්කායදිට්ඨිය කියන්නේ මමය මාගේ දෘෂ්ඨිය කියන එක නෙවෙයි, මමය මාගේ දෘෂ්ඨිය කියන්නේ අරිහත්ඵලය පූර්ණය වෙද්දී නැතිවෙන "අස්මිමානයට"යි.

    20 ආකාර සක්කාය දිට්ඨිය කියන්නේ පංචස්කන්ධයේ 5ටම මේ වගේ දිට්ඨි 4 ගානේ තියන එකයි

    මම කියන කෙනා ඉන්නේ රූපයේ යි
    මම කියන කෙනා ඉන්නේ රූපයේ නෙවෙයි
    මම කියන කෙනා ඉන්නේ රූපය ඇතුලෙයි
    මම ඇතුලේ තමයි රූපය තියෙන්නේ……..ඔය දිට්ඨි 4 රූපය, වේදනාව, සංඥා, සංඛාර , විඥ්ඥාන කියන මේ 5 ටම දාපුවහම 4x5 = 20ක් වෙනවා.
    බුදු කෙනෙක් පහල වෙලා පංච උපාධානස්කන්ධය ගැන කියනම් ඔය දිට්ඨි 20 තියනවා

    පොඩි කාලේ තිබුණු රූපය දැන් නෑ. පොඩි කාලේ මම කිව්වේ පොඩි කාලේ තිබුණු රූපයටයි
    ඒ ඒ මොහොතේ තිබුණු රූපයටයි, ඒ මොහොතේ හටගත්ත වේදනාවටයි, ..ඔය වගේ ඒ ඒ මොහොතේ පන්චස්කන්ධයටයි මම කිව්වේ.

    පෙර භවයේ තිබුනේ පෙර භවයේ රූපස්කන්ධය යි, පෙරභවයේ වේදනාස්කන්ධයි,......ඔය වගේ. ඒ එකක් වත් මේ භවයට ආවේ නෑ. මමෙක් ආවෙත් නෑ ගියේත් නෑ හේතු ටිකක් නිසා දුක් විඳිනවා, ඒක නවත්වන්න නම් දුක හදන හේතුව නවත්තන්න ඕනේ.

    එතකොට ඔය සක්කායදිට්ඨිය නැති කරගන්නේ කොහොමද?

    "මහණ, ඇස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. රූ දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ෂුර්විඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වෙදනායෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ"
    (සංයුත්තනිකාය 4 , සක්කායදිට්ඨිප්පහාන සූත්‍රය, 293 පිටුව )

    ඇසට ඔය වගේම තමයි කනට, නාසයට, දිවටත්.....

    එතකොට ඔය කිව්වේ මොකක්ද?
    ඇසේ පහස කියන්නේ ආශ්වාදය. එතකොට ඔය කියන්නේ පංච උපාධානස්ක්නධය ගැනයි.
    පංච උපාධානස්ක්නධය හැදෙන්නේ පංචස්කන්ධය රාග, ද්වේෂ මෝහ වලින් ගත්තමයි

    "සක්කායදිට්ඨිය සියළු මිත්‍යාදෘෂ්ඨියට පදට්ඨාන යැ. සක්කායදිට්ඨිය නාමරූපයට පදට්ඨාන යැ. නාමරූපය සක්කායදිට්ඨියට පන්දට්ඨාන යැ "
    (ඛුද්‌දක නිකාය, පෙටකොපදෙසෙ, 222 පිටුව )


    ඒ කියන්නේ සක්කායදිට්ඨියෙන් මිදුනාම සියළු මිත්‍යාදිට්ඨි වලින් මිදෙනවා
    (පදට්ඨාන කියන්නේ පාදම, මූලික වෙනවා කියන එක)

    3.10 අල්පසාවද්‍ය, මහාසාවද්‍ය පව් හඳුනාගනිමු

    "මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, මේ ධර්‍මයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනක යත්: රාගය, ද්වේෂය, මොහ යි. ඇවැත්නි, මේ ධර්‍මයෝ තුන් දෙනයහ. ඇවැත්නි, මේ ධර්‍මයන් තුන් දෙනාගේ විශේෂය කවරේ යැ, අධිප්‍රාය කවරේ යැ, නනස කවරේ යැ?” යි මෙසේ විචාරන්නාහු නම්, මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරව: ඇවැත්නි, රාගය අල්පසාවාද්‍ය ය, ලැසිව පහවන සුලු ය. ද්වේෂය මහාසාවාද්‍ය ය, වහා පහවන සුලු ය. මෝහය මහාසාවාද්‍ය ය, ලැසිව පහවන සුලුය යි."
    (අංගුත්තරනිකාය-1, මහාවග්ග, අට්ඨම සූත්‍රය (අඤ්‌ඤතිත්‌ථිය සූත්‍රය*))

    ඔය කිව්වේ මොකක්ද?

    රාගය "අල්ප සාවද්‍ය" පාපයක්. ඒත් ඒක නැති කරගන්න එක අමාරුයි
    ද්වේෂය "මහා සාවද්‍ය" පාපයක්. ඒත් ඒක නැති කරගන්න ලේසියි

    ඒ නිසා ඉස්සරලම ද්වේෂයයි නැති කරගන්න ඕනේ. මොකද ඒක මහා සාවද්‍ය පාපයක් නිසා.
    ද්වේෂය දිගින් දිගටම වඩන කෙනෙක් අනිවාර්යෙන්ම සතර අපායේ යන්නේ ඒකයි. රාගය වැඩුවට සතර අපායේ යන්න පුළුවන්, ඒත් මනුෂ්‍ය, දිව්‍ය වෙන්නත් පුළුවන්

    "චන්දා නිදානානි ප්‍රියානි ලෝකේ "
    "ලෝකයෙහි ප්‍රිය වස්තු කාමය නිධානකොට ඇත
    "
    (ඛුද්‌දක නිකාය, පිටකොපදෙසෙ)

    මේ ලෝකේ "ප්‍රිය රූප" කියලා ජාතියක් නෑ. කලින් 2-3න් පාරක් කිව්වා වගේ රූප උපේක්ෂා යි. අපි රාගයෙන් තමයි ඒවා ප්‍රිය කරගන්නේ
    කාමච්චදයෙන් තමයි ප්‍රිය වස්තු හැදෙන්නේ.
    උපේක්ෂා රූප වල ප්‍රිය ස්වාභාවයක් තියනවා කියලා ගත්තොත් ප්‍රිය ස්වභාවයෙන් මිදෙන්න ඇහෙන් රූප බලන්නේ නැතුව ඉන්න වෙනවා

    එතකොට ඔය "ප්‍රිය රූප" කියලා ගන්න ප්‍රිය ස්වාභාවයෙන් මිදෙන්නේ කොහොමද?

    "මහණෙනි, අතීත/වර්තමාන/ අනාගත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේ නම් එය අනිත්‍ය වශයෙන් දුටුහු ද, දුක් වශයෙන් දුටුහු ද, අනාත්ම වශයෙන් දුටුහු ද, රෝග වශයෙන් දුටුහු ද, භය වශයෙන් දුටුහු ද, ඔහු තණ්හාව හළහ. යම් කෙනෙක් තෘෂ්ණාව හළහු ද, ඔහු උපධි හළහ. යම් කෙනෙක් උපධි හළහු ද, ඔහු දුක හළහ. යම් කෙනෙක් දුක හළහු ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදුනහ. (සියලු) දුකෙන් මිදුනහ යි කියමි."
    (සංයුත්තනිකාය 2, සම්මසන සූත්‍රය, 173 පිටුව)

    ඔන්න ඔය විදිහට අනිච්ච්, දුක්ඛ, අනත්ත, දුක් විදිහට දැකලයි අතීත/වර්තමාන/අනාගත තුන් කාලයේම අය ප්‍රිය ස්වභාවයෙන් මිදෙන්නේ. ඒ කියන්නේ දුකින් මිදෙන්නේ ඔන්න ඔය විදිහටයි

    කෙලෙස් නිරෝධයක් තමයි බුද්ධ සාසනේ නැති කරන්නේ. මම නැති කිරිල්ලක් නෙවෙයි
    පටිච්චසමුප්පාදය තේරේන්නේ නැති අය ගන්නවා ප්‍රශ්නය තියෙන්නේ "මම ඉන්න එකයි, ඒ නිසා මම නැති කරන්න ඕනේ” කියලා". මම නැති කරන්න ගිහින් වරද්දගන සතර අපායේ ගියාට පස්සේ ඇත්තටම මම ම තමයි නැති වෙන්නේ

    3.11 උපන්සිත ප්‍රභාෂ්වර බව

    උපන්සිත ප්‍රභාශ්වරයි. මේක බොහෝ දෙනෙක් වැරදියට තේරුම් අරන් තියනවා අලුත උපන් ළමයෙකුගේ හිතේ කෙලෙස් නෑ කියලා

    උපන්සිත ප්‍රභාශ්වරයි කියන්නේ අපි යමක් දැක්ක ගමන්ම හඳුනා ගැනීමක් තියනවා. ඒ චිත්තයේ කෙලෙස් නෑ. . යමක් දකින මොහොතේම අපේ හිතත් රහතන්වහන්සේගේ වගේම ශුද්ධ හිතක්
    අන්න ඒකටයි උපන්සිත ප්‍රභාශ්වරයි කියන්නේ

    ඊට පස්සේ එකත් එක්ක රාග, ද්වේෂ මෝහ වලි බැඳිලා ආශ්වාද හදාගන තමයි කිලිටි අරගන්නේ

    “මහණෙනි, මේ සිත (භවාඞ්ග) ප්‍රභාස්වර ය. එ ද වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වූයෙ ය. ශ්‍රැතරහිත පෘතග්ජන තෙමේ එය තත් වූ පරිද්දෙන් නො දනී. එහෙයින් ‘අශ්‍රැතවත් පෘතග්ජනයාහට චිත්තභාවනායෙක් නැතැ’යි කියමි.”
    (අඞ්‌ගුත්‌තර නිකාය, එකක නිපාතය, ප්‍රභාස්වර වර්ගය (අච්ඡරාසංඝාත වර්ගය), 21 පිටුව)

    පාලි:

    “භික්ඛවෙ, චිත්තං. තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං. තං අස්සුතවා පුථුජ්ජනො යථාභූතං නප්පජානාති. තස්මා ‘අස්සුතවතො පුථුජ්ජනස්ස චිත්තභාවනා නත්ථී’ති වදාමී’’ති. “

    බුදුහාමුදුරුවොත් කිව්වා "රාහුලය ආනාපාසතිය වඩන්න" කියලා. එතකොට අඳුනගන තියනවනේ. හඳුනගත්තට කෙලෙස් නෑ.

    ඔන්න ඔය වෙලේ, ඒ කියනෙන කෙලෙස් හටගන්න කලින් අපේ ක්‍රියාත්මක වෙන්නේ අව්‍යාකෘත පටිච්චසමුප්පාදයයි. ඒ පටිච්ච්සමුපාදයේ කෙලෙස් නෑ

    සංඛාරපච්චයා වලින් පටන්ගන්නේ (අවිද්‍යා පච්චයා වලින් නෙවෙයි )
    ඒ පටිච්චසමුප්පාදයේ සලායතන නෑ, ජට්ඨායතනය තියෙන්නේ. ඒකියනෙන මනායතනය විතරයි තියෙන්නේ. ඒ පටිච්ච්සමුප්පාදයේ තන්හා නෑ, උපාධාන නෑ, අවිද්‍යා නෑ, නාමරූප වල රූප නෑ නාම විතරයි තියෙන්නේ

    අව්‍යාකෘත පටිච්චසමුප්පාදය ගැන වෙනම විස්තරයක් පසුවට තියනවා. උපන්සිත ප්‍රභාෂ්වරයි කියන පසුවට චිතක්ෂන විස්තරයේ තවත් පැහැදිලි කරලා තියනවා.

    භාවනාව කියන්නේ අපිරිසිදු හිතක් පිරිසිදු කරන එකක් නෙවෙයි. පිරිසිදුව හටගන්න හිත ඒ විදිහටම පවත්වගන යන ක්‍රමයයි. දිගටම මේ පටිච්චසමුප්පාදයේ (විපාකයේ) ඉන්න පුළුවන් නම් ඔහු ආර්‍යයෙක්

    ගල් වඩුවෙක් ගලකින් ප්‍රථිමාවක් නෙළුවොත් ඔහු කලේ ප්‍රථිමාවක් හදපු එකද, ගලේ තිබුණු අනවශ්‍ය කොටස් අයින් කරපු එකද?
    අන ඒ වගේ තමයි ප්‍රභාෂ්වර චිත්තයත්. අලුතෙන් හදන්න දෙයක් නෑ අපේ ඇතුලේ තියනවා.

    චුලපන්තක හාමුදුරුවන්ට සුදු රෙදිකඩක් දීලා අතගාන්න කිව්වේ ඒකයි. අතගාද්දී කිලිටි වෙනවා දැකලා රහත් වුණා. ශුද්ධ හිත රාග, ද්වේෂ මෝහ වලින් කිලිටි වෙනවා දැක්කේ

    3.12 පච්චුපන්න මොහොත

    පච්චුපන්න මොහොත කියනෙන වර්තමානය නෙවෙයි
    සෑම වර්තමාන මොහොතකම ප්‍රත්‍යය ඉපදිච්ච මොහොත (අවිද්‍යා පච්චයා, හේතුව එන ප්‍රත්‍යය ගන්න ඕනේ )
    ලෝභ, ද්වේෂ මෝහ වලින් පටිච්ච වුන, ප්‍රත්‍ය වුන මොහොතට කියනවා “පච්චුප්පන්න මොහොත”

    අන්න ඒ මොහොත අරගන විදර්ශනා කරලා නිවන් දකින විදිහයි "භද්දේකරත්ත සූත්‍රයේ" කියන්නේ.

    දැන් හැදෙන කෙලෙස් ගෙදර ගිහින් පහ කරන්න බෑ. ඒ ඒ මොහොතේ පහ කල යුතුයි. බුද්ධසාසනයේ විස්තර කරන්නේ එහෙම ක්‍රමයක්

    "යමෙක් ප්‍රත්‍යුත්පන්න වූ (යම් ධර්මයෙක් ඇද්ද) ඒ ධර්මය ඒ ඒ තැන්හි අනිත්‍යාදි විසින් විදර්ශනා කෙරේ ද විද්වත් තෙමේ අසංහීර වූ අසංකොප්‍ය වූ ඒ විදර්ශනාව වඩන්නේ ය. "
    (මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, විභඞ්‌ග වර්ගය, භද්දේකරත්ත සූත්‍රය)

    පන්චස්කන්ධ වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාන යි, රහතන්වහන්සෙගේ හිතේ ඇතිවෙන අව්‍යාකෘතපටිච්චසමුප්පාදයේ නාම වල වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාන කියන්නෙයි එකම තමා. අභිසංඛාර කරගත්තේ නෑ. ඒකමයි ආවේ. අභිසංඛාර නැති නිසා බාහිර ලෝකයේ මොකක්ද තියෙන්නේ ඒක ඒ විදිහටම පේන්න ගන්නවා.

    අභිසංඛාර කරගත්ත නම් රාගයෙන් පේන්න ගන්නේ, නැත්නම් ද්වේෂයෙන් පේන්නගන්නේ
    රාගසම්ඵස්සජාවේදනා දැනෙන්නේ එහෙම වුනා නම්

    මදුරුවෙක් ගම් ගොඩක ඇලුනම මදුරුවා කරන්න ඕනේ වටේ පිටේ තියන සේරම ගම් අයින් කරන එක නෙවෙයි, උගේ කකුල් ටිකේ තියන ගම් ටික අයින් කරන එකයි.

    නිවනත් ඒ වගේමයි. කරන්න ඕනේ ලෝකම තියන රූප විදර්ශනා කර කර ඉන්න එක නෙවෙයි. තමන්ගේ හිත කිලිටි කරගන්නේ නැතුව (ආශ්වාදය හදාගන්නේ නැතුව) ඒ රූප විදර්ශනා කරන එකයි.


    මේ හා සම්බන්ධ අනෙකුත් ලිපි පහතින් බලන්න

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 02/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 03/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 04/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 05/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 06/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 07/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 08/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 09/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 10/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 11/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 12/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 13/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 14/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 15/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 16/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 17/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 18/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 19/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 20/20)

    ඉහත සියළුම ලිපි එකතුවක් (පොතක් ලෙස) ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්
     
    Last edited:
    • Love
    Reactions: hodakolla