නිවන්_මඟ_මෙන්න-(14/20)

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නිවන්_මඟ_මෙන්න-(14/20)

    8.0 ත්‍රිපිටකයේ වැසී තිබෙන ලෝකෝත්තර අර්ථ

    එක බුදුවරයෙක් ලෝකයට පහල වෙලා ඇවිත් චතුරාර්‍ය දේශනාව කළත් උන්වහන්සේගේ පිරිණිවන්පෑමෙන් පස්සේ ඒ දේශනා කරපු ලෝකෝත්තර අර්ථ වැහිලා උඩින් පේන ලෞකික අර්ථ විතරක් මතුවෙනවා. අද වෙලා තියෙන්නෙත් ඒකයි.

    ***** මරණ සති භාවනා 2යි, මෛත්‍රී භාවනා 2යි, ඉන්ද්‍රිය භාවනා 2යි, අසුබ භාවනා 2යි, අට්ඨිය සංඥා භාවනා 2යි, වගේම ආනාපානාසති භාවනාත් 2කුත් තියෙන්නේ එකයි

    ඔය විදිහට 2ක් තියෙන්න හේතුව තමයි බුදුවරු ඇවිල්ලා ලෝකයට නිවන් යන මඟ කියනවා. මාතෘකා පාලියෙන් කියපු ඒ වාක්‍යපාඨයන් ඒ විදිහටම ලෞකික අර්ථයෙන් ගන්නවා. වචන උඩින් බැලුවම අර්ථයක් තියනවා. ඒක ගන්නවා ගැඹුරු අර්ථය පැත්තක තියලා

    මෙන්න ත්‍රිපිටකයේ තියන එක උදාහරණයක්

    ආරොග්‍යපරමා ලාභා ගාථාව බුදුරජානන්වහන්සේ කිව්වහම මාගන්ධිය බමුණා අත උස්සලා පෙන්නනවා මේ බලන්න මගේ කය නිරෝගියි කියලා. එතකොට බුදුරජානන්වහන්සේ කියනවා පෙර බුදුවරයෙක් ලෝකෝත්තර අර්ථයෙන් කියපු ඔය ගාථාව උඹලා ලෞකික අර්ථයෙනුයි අරන් තියෙන්නේ, ආරෝග්‍ය දන්න කෙනා නිර්වාණය දන්නවා කියලා

    “ආරොග්‍යපරමා ලාභා නිබ්බානං පරමංසුඛං” යි
    මේ ගාථාව කියති. මාගන්‍දිය; පෙර විසූ අර්‍හත් සම්‍යක් සම්බුදුන් විසින් තෙල:
    “ආරොග්‍යපරමා ලාභා නිබ්බානං පරමං සුඛං
    අට්ඨඬ්ගිකො ච මග්ගානං ඛෙමං අමතගාමිනං”

    යන ගාථාව භාෂිත යැ.

    ඒ දැන් අනුක්‍රමයෙන් පෘථග්ජනගත වී. මාගන්‍දිය මෙය වූකලී රෝගයක් වැනි වූයේ ගණ්ඩයක් වැනි වූයේ ශල්‍යයක් වැනි වූයේ අඝ (දුඃඛ) යක් වැනි වූයේ ආබාධයක් වැනි වූයේ වෙයි. තෙපි රොවක් වැනි වූ ගඩක් වැනි වූ හුලක් වැනි වූ දුකක් වැනි වූ ආබාධයක් වැනි වූ මෙ කය (ගෙන): “භවත් ගෞතමයෙනි, මේ ඒ ආරෝග්‍ය යැ, මේ ඒ නිර්‍වාණ යැ’යි කියෙහි. මාගන්‍දිය, තෙපි යම් ආර්‍ය්‍ය වූ ඇසෙකින් ආරෝග්‍යය දන්නෙහි නම් නිර්‍වාණය දක්නෙහි නම් තොපට ඒ ආර්‍ය්‍යචක්ෂුස නැතැ”යි වදාළහ.

    “ලාභයෝ ආරෝග්‍යය පරම කොට ඇත්තාහ, සුවය නිවන පරම කොට ඇත්තේ යැ, නිවනට යන මාර්‍ගයන් අතුරෙනුදු අෂ්ටාඬ්ගිකමාර්‍ගය ක්ෂෙම වේ”යයි.

    (මජ්ජිම නිකාය-2, මාගන්ධිය සූත්‍රය )

    මෙන්න තවත් උදාහරණයක්

    නකුලපිතු කියලා කාන්තාවක් ඇවිත් බුදුරජානන්වහන්සේට කියනවා මම නිරෝගියි කියල. එතකොට බුදුරජානන්වහන්සේ කියනවා නිරෝගී බවක් කියන්නේ බාල (මෝඩ) බවක් කියලා.

    “ගැහැවි, තෙල එසේ මැයැ. ගැහැවි, තෙල එසේ මැයැ. ගැහැවි, මේ කය රෝග ඇත්තෙක් මැයැ (දුබල බැවින්) බිජුවටක් වැන්න, සියුම් සිවියෙන් වැසුණේ යැ. ගැහැවි, යමෙක් මේ කය පරිහරණය කරමින් මොහොතකුදු නිරෝගී බවක් පිළින කරන්නේ නම් ඒ බාලබව හැර අන් කිමෙක්ද? ගැහැවි, එහෙයින් තොප විසින් මෙහිලා මෙසේ හික්මිය යුතු: “ගිලන් කය ඇති මාගේ සිත නොගිලන් වෙති”
    (සංයුක්ත නිකාය- 3, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, නකුලපිතු සූත්‍රය)

    නිරෝගී වෙන්න කියලා "මම ද සියළු සත්ත්වයෝද නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා" කියලා භාවනා කරන්නේ ඔය ලෞකික භාවනාවක්. ඒකට බැනලයි ඔය තියෙන්නේ

    නින්ද යනවා, නපුරු හීන පේන්නේ නෑ වගේ ලෞකික මෛත්‍රී භාවනාවේ ආනිසංස 11ක් තියනවා මෙත්තානිසංස සූත්‍රයේ. ඒත් ඕකෙන් නිවන් දකින්න බෑ

    එහෙනම් බුද්ධ සාසනයේ "නිරෝගී බව" කියන්නේ මොකක්ද බලමු

    "එහි සත්ත්වයන්ට රෝගයෝ දෙදෙනෙකි. අවිද්‍යාව ද භව-තෘෂ්ණාවද යන මේයි. මේ රෝගයන් දෙදෙනාගේ නැසීම පිණිස භාග්‍යවතුන්වහසේ සමථ යැ විපස්සනායැ බෙහෙත් දෙකක් වදාරන ලද යැ. මේ බෙහෙත් දේ සෙවනය කරනුයේ රාගවිරාග චේතෝවිමුක්තියද අවිජ්ජාවිරාගප්‍රඥාවිමුක්තියද යන ආරෝග්‍යතා දෙක ප්‍රත්‍යක්ෂ කෙරෙයි. එහි තෘෂ්නා රෝගයට සමථ බෙහෙතයැ රාගවිරාග චේතෝවිමුක්තිය ආරෝග්‍ය යැ අවිද්‍යා රෝගයට විදර්ශනාව බෙහෙත යැ"
    (ඛුද්‌දක නිකාය, පිටකොපදෙසෙ 160 පිටුව)

    ඔන්න රෝග දෙකයි බෙහෙත් දෙකයි
    රෝග දෙක තමයි අවිද්‍යා තෘෂ්ණා.
    බෙහෙත් තමයි අවිද්‍යාවේ අර්ථකථනය ගන්න.
    ස්ඵර්ශ ආයතන 6යේ ආශ්වාද යට අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරන එක
    සමථ කියන්නේ - සත් තිස් බෝධිපාක්ෂික ධර්ම

    8.1 අට්ඨිය සංඥාවේ ලෝකෝත්තර අර්ථය

    "මහණෙනි, අට්ඨිකසඤ්ඤාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් පහසු විහරණ පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් පහසු විහරණ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙහි මහණ විවෙකනිස්සිත විරාගනිස්සිත නිරොධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට අට්ඨිකසඤ්ඤා සහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි -ප- අට්ඨික සඤ්ඤා සහගත උපෙඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් පහසු විහරණ පිණිස පවතීයි."
    (සංයුත්ත නිකාය 5-1, ජට්ඨ අට්ඨික සූත්‍රය, 243 පිටුව)

    සතිසම්බොජ්ජංගය, උපේක්ෂා සම්බො බොජ්ජ්ංගය,,,,වගේ බොජ්ජංග ටික ට තමයි අට්ඨිකසංඥාව කියන්නේ

    අභිධර්ම පිටකයේ , විභංගප්‍රකරණය-2, බොජ්ඣඞ්ගය බලන්න

    "එහි සප්තබොධ්‍යඞ්ගයෝ කවරහ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍ර‍හාණය පිණිස ප්‍ර‍ථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචය ගාමී වූ ලෝකොත්තරධ්‍යානය වඩා ද කාමයන්ගෙන් වෙන් ව මැ ... දුඃඛප්‍ර‍තිපදා ඇති දන්ධාභිඥ වූ ප්‍ර‍ථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි සප්තබොධ්‍යඞ්ගයෝ වෙති: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ... උපේක්ෂාසම්බොධ්‍යඞ්ග යි."

    සප්ත බොජ්ජංග කියන්නේ සතර දැහැන් වඩන එකටයි.
    එතකොට අට්ඨිකසංඥාව කියන්න්නේ ධ්‍යාන 4 වඩන එකටයි

    8.2 ඉන්ද්‍රිය භාවනාවේ ලෝකෝත්තර අර්ථය

    පරාසරික බ්‍රාහ්මනයා ඇවිත් කියනවා එයා උගන්වන ඉන්ද්‍රිය භාවනාව ගැන
    ඇස් වලින් රූප බලන්නේ නෑ, කන් වලින් ශබ්ධ අහන්නේ නෑ...ඔය වගේ

    "ඇසින් රූ නො දකී ද, කනින් ශබ්ද නො අසා ද, භවත් ගෞතමයන් වහන්ස, මෙපරිද්දෙන් පාරාශරිය බ්‍රාහ්මණ සව්වනට ඉන්ද්‍රියභාවනා දෙසා’ යයි."
    (මජ්ජිම නිකාය-3, ඉන්ද්‍රිය භාවනා සූත්‍රය)

    ඊට පස්සේ ඔන්න බුදුරජානන්වහන්සේ ඉන්ද්‍රිය භාවනාව දේශාන කරනවා මෙහෙම

    "ආනන්දය, කිසෙයින් ආර්‍ය්‍යවිනයෙහි අනුත්තර ඉන්ද්‍රියභාවනා වෙයි යත්: ආනන්දය, මෙසස්නෙහි මහණහට ඇසින් රූ දැක මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී: ‘මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන හෙද සඞ්ඛත යැ, ඔෟදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් උපෙක්ෂාවක් ඇද්ද තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. උපෙක්ෂාව පිහිටා සිටී. ආනන්දය, යම්සේ ඇස් ඇති පුරුෂයෙක් ඇස ඇර පියාලන්නේ හෝ වේ ද ඇස පියා ඇරලන්නේ හෝ වේ ද, එසෙයින් මැ ආනන්දය, යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වේ ද, විදර්ශනොපෙක්ෂාව පිහිටා සිටී ද, ආනන්දය, මේ ආර්‍ය්‍යවිනයෙහි චක්ෂුර්විඥෙය රූප විෂයෙහි අනුත්තර වූ ඉන්ද්‍රියභාවනා යයි කියනු ලැබේ."
    (මජ්ජිම නිකාය-3, ඉන්ද්‍රිය භාවනා සූත්‍රය)

    ඔය කියන්නේ මොකක්ද?
    ඇසින් රූපයක් දැක්කම මනාප අමනාප උපදී කියලා ඔය කියන්නේ ආශ්වාදය ගැනයි.ඒකෙන් දුක්ඛදුක්ඛ, විපරිනාම දුක්ක හදාගන්නා විදිහයි. ඇසින් රූප, කනින් ශබ්ධ...ඔය වගේ

    ඔව්වගෙන් මිදෙන ක්‍රමයයි ඔය කියන්නේ

    (සම්මුති අර්ථ අරගන ඇහැ තිබුනට රූප නොබලා ඉන්න කියන්නේ පරාසරිකගේ ගෝලයො. ඒවගේන් ආශ්වාද හදාගන්නේ නැති විදිහයි තථාගත ශාසනයේ උගන්වන්නේ )

    8.3 මෛත්‍රී භාවනාව වේ ලෝකෝත්තර අර්ථය

    "සප්තබොධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති
    පඤ්චේන්ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියගේ ආසේවනයෝ වෙති.
    පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති,
    සප්තබොධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති
    මාර්ගාඞ්ගයෝ අට දෙන මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති,
    සප්තබොධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති"

    (ඛුද්‌දක නිකාය, පටිසම්භිදාමග්ගප්පකරණ, මෛත්‍රීකථා)

    ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය, පංච බල, ආර්‍යෂ්ඨාංගික මාර්ගය,සප්ත බොජ්ජංග වඩන්න කියනවා කියන්නේ ආර්‍ය මෛත්‍රී භාවනාව වඩනව කියන එකයි
    (සතර සතිපට්ඨානය නොකිව්වත් සත් තිස් බෝධිපාක්ෂිකම වඩන්න කියලයි ඔය කියන්නේ )

    කෙටියෙන්ම කිව්වොත් සත් තිස් බෝධි පාක්ෂික ධර්ම වඩන එකටයි ආර්‍ය මෛත්‍රී භාවනාව කියන්නේ. යමෙක් නිවන් මග වඩනවා නම් ඒකට තමා ආර්‍ය මෛත්‍රී භාවනාව කියන්නේ

    8.4 පිළිකුල් භාවනාවේ ලෝකෝත්තර අර්ථය (පටිකූල සංඥා)

    අට්ඨික සංඥාවට ඇටසැකිලි දිහා බලන් ඉනන්වා වගේ, ඉන්ද්‍රිය භාවනාවට රූප බලන්න එපා වගේ, පටිකූල සංඥා කියන එක පිලිකුල් කරන්න කියලා හිතාගන ඉන්නවාව් වගේ පටිකූල සංඥා කියන්නේ පිළිකුල් සංඥා කියලා අරන් ආහාර කියන්නේ බලු වමනයක් වගේ පිළිකුල් කරන්න කියලා හිතාගන ඉන්නවා

    මෙන්න ප්‍රතිකූල සංඥාව (පාලි වලින් "පටිකූල සංඥා")

    "කිසෙයින් ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වු ද ධර්මයන්හි අප්‍රතිකූලසංඥා වැ වෙසෙයි යත්: (තතියෙ ච නිබ්බානෙ යසෙන ච කිත්තියා ච අප්පටිකූලසඤ්ඤීනො?) එහි ලා ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තතුයේ සම්‍යක්ප්‍රඥායෙන් දන්නාසේක් ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ධර්මය එ දෙක දුරුකොට අප්‍රතිකූල සංඥා ඇති වැ වාසය කරනසේක"
    (ඛුද්‌දක නිකාය, පෙටකොපදෙශ, සප්තම භූමි, 249 පිටුව)

    ආශ්වාදය ආදීනවය නිස්සරනය දැකලයි පටිකූල නොවී අප්පටිකූලව ඉන්නේ

    පිළිකුල් කියන්නේ ද්වේෂ සංඥාව. ඉතින් ද්වේෂ සංඥාවකින් නිවන් යයිද?

    මජ්ජිමනිකාය-3, ඉන්ද්‍රිය භාවනා සූත්‍රය බලන්න.
    ඔය ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල කතාවම තියනවා. අන්තිමට තියෙන්නේ. උපේක්ෂාවෙන් ඉඳලා (මනාප අමනාප අයින් කරලා) සම්මා ඥාන හදාගන්න හැටි.

    "තවද ආනන්දය, මහණහට දිවින් රස විඳ මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී. මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන, හෙද සඞ්ඛත යැ, ඔෟදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් විදර්ශනොපෙක්ෂාවක් ඇද්ද, තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය, උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි, උපේක්ෂා පිහිටා සිටී."
    (මජ්‌ඣිම නිකාය-3, උපරි පන්නාසකය, සළායතන වර්ගය, ඉන්ද්‍රියභාවනා සූත්‍රය)

    8.5 අසුභය වැඩීමේ ලෝකෝත්තර අර්ථය

    මේ ශරීරය දෙතිස් කුණුපයක්. ලෙඩ වෙන ජරා වෙන එකක් කියලා අසුබය වඩනවා
    ආයේ මේ කය නිදුක් වේවා නිරෝගි වේවා කියලත් වඩනවා
    බමුණන්ගේ මේ වැඩිලි දෙක එකිනෙකට පරස්පරයි

    අසුබ සූත්‍රය තියෙන්නේ මෙහෙමයි,

    "ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් විවෙකයෙන් නැඟීසිටි සේක් ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූසේක: “ආනන්ද, කුමක් හෙයින් බික්සඟන තුනී වූවාක් මෙන් වේ දැ”යි. වහන්ස, ඒ එසේම ය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නන් අයුරෙන් අශුභකථා වදාරන සේක, අශුභයෙහි ගුණ වණන සේක, අශුභභාවනාවෙහි ගුණ වණන සේක. වහන්ස, ඒ භික්ෂූහු ද ‘භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් අශුභකථා වදාරන සේක, අශුභයෙහි ගුණ වණන සේක, අශුභභාවනාවෙහි ගුණ වණන සේකැ’යි නොයෙක් කරුණෙන් ගැවසුණු අශුභභාවනාවෙහි යෙදුණාහු වෙසෙත්. ඔහු මෙකයින් පීඩිත වන්නාහු ලජ්ජිත වන්නාහු පිළිකුල උපදවන්නාහු දිවි ගැලවීමෙහි සමත් අවි සොයත්. දස මහණ කෙනෙක් දු එක්දවසින් අවි ගනිත්. විසි මහණ කෙනෙක් දු එක් දවසින් අවි ගනිත්. තිස් මහණ කෙනෙක් දු එක් දවසින් දිවි ගලවත්. වහන්ස, යමසේ මේ භික්‍ෂු සඞ්ඝයා රහත් බැව්හි පිහිටන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු නයක් වදාරන සේක් නම් මැනවි”
    (සංයුත්ත නිකාය 5-1, අසුබ සූත්‍රය, 105 පිටුව)

    ඔය කියන්නේ මොකක්ද?

    බුදුහාමුදුරුවෝ වස් තුන්මාසේ ඉඳලා ආපහු වැඩලා බලද්දී හාමුදුරුවරු අඩු මොකද කියලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහපුවහම කියනවා මේ කය අසුබයි කියලා වඩලා කයෙන් මිදෙන්න අවි අරන් හාමුදුරුවරු දවසට 10, 20, 30 බැගින්සි යදිවි හානිකරගන කියලා. (අද නම් හොඳයි ඇටකට්ටක් දිහා හරි බලන් ඉන්නවා). මේ වගේ වෙන්න හෙතුව තමයි මාතෘකාපාලියෙන් කියපුවා තේරුම් ගන්න බැරිකමයි

    බුදුරජානන්වහන්සේ අසුභය ගැන කියලා තියෙන්නේ මෙහෙමයි

    "මහණෙනි, කයෙහි අශුභාකාරය අනුව දක්නෝ ව වසවු. ආනාපානසතිය ද තොපගේ ගොචරාධ්‍යාත්මයට අභිමුඛ කොට මොනොවට එළැඹ සිටියේ වේවා. සියලු සංස්කාරයන්හි අනිස්ලකුණ අනුව දක්නා සුලු වැ වසවු. මහණෙනි, කයෙහි අශුභය අනුව දක්නා සුලු වැ වසන්නහුට ශුභ අරමුණෙහි යම් කාමරාගානුශයයෙක් වේ නම් එය ප්‍ර‍හීණ වෙයි. ගොචරාධ්‍යාත්මයට අභිමුඛ ව (ආධ්‍යාත්ම අරමුණට යොමු වැ) ආනාපානසතිය මොනොවට එළැඹැ සිටි කල්හි දුඃඛපක්‍ෂයෙහි වූ යම් බාහිර විතර්‍කාශය (අප්‍ර‍හීණ වූ ආශයානුගත වූ කාමවිතර්‍කාදි) කෙනෙක් වෙත් නම්, ඔහු නො වෙත්. සියලු සංස්කාරයන්හි අනිස් ලකුණ අනුව දක්නා සුලු ව වසන්නවුන්හට යම් අවිද්‍යාවෙක් වේ ද, එය පහ වෙයි. යම් විද්‍යාවෙක් (රහත්මඟනුවණෙක්) වේ ද, එය උපදී."
    (ඛුද්දකනිකාය-1, අසුභානුපස්සී සූත්‍රය, 427 පිටුව)

    ඔය කියන්නේ මොකක්ද?

    සියලු සංස්කාරයන්හි අනිස්ලකුණ අනුව දක්නා සුලු වැ කියන්නේ සියළු සංස්කාර අනිච්ච විදිහට දකින්න කියන එකයි.
    ශුභ අරමුණෙහි කියන්නේ මන වඩන රූප ශන්ධ ගන්ධ රස ස්ඵර්ශ
    කයෙහි අශුභය අනුව දක්නා සුලු වැ කියන්නේ මොන කයද? ආශ්වාද කර. (දෙවෙනි කය )

    මෙතන ආනාපානසතිය කියන්නේ හුස්ම ඇදිලි නෙවෙයි
    (ආනාපානාසතිය කියන්නේ හුලං අදින එක නෙවෙයි කියලා විස්තරය 97 පිටුවේ තියනවා )

    විතක්ක නිරෝධයෙන් කියනෙන කාම සංකල්පනා, අවිහිංසාසංකල්පනා, ආව්‍යාආද සංකල්පනා

    ඔය කියනෙන කයේ අශ්වාදයෙන් මිදෙන්න කියලයි. අන්තිමටම රහත් වෙනවා කියනවා

    ශරීරය කුණු වෙනවා, ජරාවක් කියලා මෙනෙහි කලාට ශරීරයෙන් මිදෙන්නත් බෑ, කුණු මාලුකෑල්ලක් කරේ එල්ලගත්ත මනුස්සයෙක් වගේ ජිවත් වෙන්නයි වෙන්නේ.

    8.6 මරණානුස්සතියේ ලෝකෝත්තර අර්ථය

    මරණය කියන්නේ මාර න්‍යාය හෙවත් කාම ලෝකයටයි (මජ් 3, සුනක්කත්ත සූත්‍රය 75 පිටුව , ආනෙඤ්ජසප්පාය සූත්‍රය, 677 පිටුව)
    සම්මුති මරණය නෙවෙයි.

    "මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කටයුතු: “යම් ම අකුශල කෙනෙක් දාවල් කලුරිය කරණ මට අන්තරාය පිණිස වෙත්නම්, මට අප්‍රහීණ වූ එබඳු ලාමක අකුශලයෝ ඇද්දැ?”යි.

    මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවෙක්ෂා කරණුයේ “දාවල් කලුරිය කරණ මට යම් අකුසල් කෙනෙක් අන්තරාය පිණිස වෙත් නම්, එබඳු අප්‍රහීණ ලාමක අකුශලධර්‍මයෝ මට ඇතැයි මෙසේ දන්නේ නම්, මහණෙනි, එ මහණහු විසින් එ ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්දය හා ව්‍යායාමය හා උත්සාහය හා උස්සොළ්හිය හා අප්‍රතිවානිය හා ස්මෘතිය හා සම්ප්‍රඥානය හා කටයුතු. මහණෙනි, ගිනි ඇවිළ ගත් පිළි ඇතියෙක් වේව යි, ගිනි ඇවිළගත් හිසි ඇතියෙක් වේව යි, එ පිළිය හෝ හිස නිවන්නට අධිමාත්‍ර ඡන්ද හා ව්‍යායාම හා උත්සාහය හා උස්සොළ්හිය හා අප්‍රතිවානිය හා ස්මෘතිය හා සම්ප්‍රඥානය හා කරන්නේ ය. මහණෙනි, එ පරිද්දෙන් ම එ මහණහු විසින් එ ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්දයත් ව්‍යායාමත් උත්සාහයත් උස්සොළ්හීයත් අප්‍රතිවානියත් ස්මෘතියත් සම්ප්‍රඥානයත් කටයුතු"

    (අංගුත්තරනිකාය-4, දූතියමරණසති සූත්‍රය )

    ඔය කියන්නේ මොකක්ද?
    මම ඊ ලඟ මොහොතේ මැරෙයි කියලා හිතලා මා තුල ඇති කෙලෙස් හැකි ඉක්මනින් නැති කරගන්න ඕනේ කියලා හිත පිහිටවගන ඉන්නවා නම් ඒකට කියනවා මරණ සතිය කියලා

    දෙවෙනි කයක් හැදෙයි කියලා අස්ශ්වාද නිරෝධය කරගන දෙවෙනි කයේ සතරසතිපට්ඨානය වඩන එකයි ඔය කියන්නේ

    බමුණන්ගේ "මරණ සතිය" භය උපදවන එකක් (භය කියන්නේ ක්ලේශයක්)
    ත්‍රිපිටකයේ "මරණ සතිය" අකුසල නිරෝධ මඟක්

    මරණ සති භාවනා 2යි, මෛත්‍රී භාවනා 2යි, ඉන්ද්‍රිය භාවනා 2යි, අසුබ භාවනා 2යි, අට්ඨිය සංඥා භාවනා 2යි, ඔය වගේම ආනාපානාසති භාවනාත් 2ක් තියනවා

    ඔය විදිහට 2ක් තියෙන්න හේතුව තමයි බුදුවරු ඇවිල්ලා ලෝකයට නිවන් යන මඟ කියනවා. මාතෘකා පාලියෙන් කියපු ඒ වාක්‍යපාඨයන් ඒ විදිහටම ලෞකික අර්ථයෙන් ගන්නවා. වචන උඩින් බැලුවම අර්ථයක් තියනවා. ඒක ගන්නවා ගැඹුරු අර්ථය පැත්තක තියලා.


    මේ හා සම්බන්ධ අනෙකුත් ලිපි පහතින් බලන්න

    නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 02/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 03/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 04/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 05/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 06/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 07/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 08/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 09/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 10/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 11/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 12/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 13/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 14/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 15/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 16/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 17/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 18/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 19/20)
    නිවන්_මඟ_මෙන්න-(Part 20/20)

    ඉහත සියළුම ලිපි එකතුවක් (පොතක් ලෙස) ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්
     
    Last edited: